“අගත අනගත“ කියන්නට පෙර – උදිත අලහකෝන්
- Sujeewa Senerath
- October 24, 2025
- විලාසිතා සහ සිදුවීම්
- 0 Comments
ආගම යනු ධර්මය නම් පාදම මත ඉදිවුණු සංස්ථාපිතයකි. එහෙත් පසුකාලීනව ආගම්වල ආධ්‍යාත්මික සාරය ආගමික සංස්ථාවේ ප්‍රබලත්වය ඉදිරියේ වියැකී යාම පොදුවේ ලොව සෑම ආගමකටම උරුම වූ ඉරණමක් වී තිබේ. මේ නිසා අත්හැරීමේ ප්‍රතිපදාව පරයා අයිති කරගැනීමේ ප්‍රතිපදාව පෙරට පැමිණ තිබේ. ධර්මයේ ආධ්‍යාත්මික සුවය වෙනුවට එකිනෙකාට අභියෝග කරන තරගකාරිත්වයේ මාවතකට ආගම් ප්‍රවේශ වී තිබීම එහි අනිවාර්ය ප්‍රතිඵලය වේ.
ආගම් නිසා හටගත් යුද්ධවලින් මියගිය මිනිසුන්ගේ සංඛ්‍යාව මිනිය නොහැකිය. ඒවා ලෝක ඉතිහාසය කිළිටි කළ සිදුවීම්ය. ලාංකීය සමාජය තුළ ද මෙවන් අවපැහැ ගැන්වීම් පිළිබඳ ඈත මෑත සාක්ෂි අඩුවක් නැත. එය හුදෙක් ආගමික ආතතිය ඉක්මවා යන ආර්ථික , සමාජීය , දේශපාලනික සහ සංස්කෘතික ආතතියක් දක්වා වර්ධනය වී තිබේ. ලසන්ත ද සිල්වා විසින් රචිත ‘අගත අනගත’ නවකතාව ආගමේ ආධ්‍යාත්මික සාරය සහ භෞතික සංවර්ධන උන්මාදය අතර පවත්නා ප්‍රතිවිරෝධය ගැන නැවත සිතා බැලීමට පාඨකයා යොමු කරන කෘතියකි.
මෙහි කතාපුවත අතීතය සහ වර්තමානය යන කාල ද්විත්වයම නියෝජනය වන පරිදි ගොඩනංවා ඇත. නවකතාවේ කේන්ද්‍රීය චරිත වන්නේ ෂෙයික් අල් කදීර්, ධම්මගුප්ත හිමි, ඉසාක්, විමලබුද්ධි හිමි සහ ඇඹුල්ගල හිමි ය. කදීර් යනු අරාබි දේශයේ සිට සෙරන්ඩිබයේ ආදම්ගේ කන්ද තරණය කිරීමේ අපේක්ෂාවෙන් ගමනේ යෙදෙන්නෙකි. ධම්මගුප්ත හිමියෝ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් අතහැරීම ප්‍රගුණ කරන යතිවරයෙකි. ඉසාක් , සෙරන්ඩිබ් දිවයිනේදී කදීර්ට මුණගැසෙන ස්ත්‍රියකගේ පුත්‍රයාය. ඉසාක් සහ කිහිපදෙනෙකු සමඟ කදීර් සමනල ගිර තරණයෙහි යෙදේ. ඒ අතීත කතාවය. කතුවරයා වර්තමාන කතාව ගොඩනංවනුයේ බෞද්ධ හා ඉස්ලාමීය ජනතාව අතර එක්තරා ස්ථානයක් සම්බන්ධයෙන් හටගන්නා ගැටුම්කාරී තත්ත්වයක් පසුබිම් කරගෙනය. විමලබුද්ධි හිමියෝ ද ඇඹුල්ගල හිමියෝ ද වත්මන් කතාවේ චරිත වෙති. එහෙත් ආගම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ දැක්ම සහ භාවිතය සපුරා වෙනස්ය. විමලබුද්ධි හිමි කිසිවකටත් ඇලී නොසිටීමට තැත් කරන සරල, චාම් පැවැත්මක් සහිත අයෙකි. ඇඹුල්ගල හිමි භෞතික සංවර්ධනය හරහා ආගම රැකගැනීමට උත්සාහ කරන අයෙකි. අගත අනගත කතාපුවත සැරිසරන්නේ මෙම චරිත සහ ඊට අනුබද්ධ අවශේෂ චරිත වටාය.
මෙහිදී කතුවරයා පාඨකයාට එක් පසෙකින් සොබාදහම සමඟ මුසුවන ආගමික පැවැත්මක සැහැල්ලුව ද නිහඬ බව සහ සන්සුන් බව සමඟ ගොඩනැඟෙන සමාධිය ද ආගමික අනෙකත්වයට ගරු කිරීමෙන් ලැබෙන මානසික සුවය ද අතහැරීම ප්‍රගුණ කිරීමේ සහ මමත්වය හීන කිරීමේ ආස්වාදය ද විඳ ගැනීමට ඉඩ සලසයි. අනෙක් අතට භූමිය සහ විවිධ සංකේත තමන්ගේ අයිතියට පවරා ගැනීමට දරන වෙහෙස ද ආරාමික සංවර්ධනයේ නාමයෙන් සොබාදහම ආක්‍රමණය කිරීමේ උත්සාහය ද දේශපාලන සහ ව්‍යාපාරික ලෝකය සමඟ ආගමික සංස්ථාවේ පවත්නා ජුගුප්සාජනක සම්බන්ධය ද පෙන්වා දෙයි. මෙය මෑතකාලීන සමාජ කතිකාව තුළ නිරන්තරයෙන් වර නැඟුණු තේමාත්මකයකි. ආගම ආධ්‍යාත්මික සාරයෙන් විතැන් වී වෙනත් අරමුණු පසුපස හඹා යාම නිසා ආගමික අනෙකා කෙරෙහි සැක ඉපදෙන අයුරු මතු කිරීමට ද කතුවරයා නොපැකිලෙයි.
මෙම කතිකාව අපට වැදගත් වන්නේ ආවා වූ ද නොආවා වූ ද (අගත අනගත ) සැමට විවෘත ස්ථානයක් එකම ආගමේ වෙනත් නිකායක පැවිද්දෙකුට පවා විවර නොවන කාලයක අප ජීවත් වන බැවිනි.
මෙම කතාපුවත ප්‍රබන්ධගත කිරීමේදී ලසන්ත ස්වකීය භාෂා රිද්මය දෙආකාරයකට හසුරුවයි. කදීර් , ධම්මගුප්ත හිමි සහ විමලබුද්ධි හිමි සම්බන්ධ සිදුවීම්වලදී අතිශය නිවුණු රිද්මයක් ද ඇඹුල්ගල හිමි හා බැඳුණු විස්තරවලදී තරමක රළු රිද්මයක් ද යොදා ගනී. විශේෂයෙන් කදීර්ගේ සමන්තකූට චාරිකාව (ඔහුගේ විශ්වාසයට අනුව ආදම්ගේ කන්ද ) මනරම් සංචාරක ආඛ්‍යානයක් ලෙස ඉදිරිපත් කෙරේ.මෙම චාරිකාවේදී සාගරය , වනාන්තරය , කඳු මුදුන මෙන්ම කදීර්ට විටින් විට දර්ශනය වන රන් මාළුවා ද අතිශයින් ප්‍රබල රූපක ලෙස ආඛ්‍යානය වර්ණවත් කරයි. මෙම නවකතාවේ අතීතය සහ වර්තමානය යන කාලාවකාශ දෙකම නියෝජනය කරන චරිතයක් තිබේ. ඒ අතීතයේ සුමන ගම්පතියා සහ වර්තමානයේ සුමන වෘක්ෂ දේවතාවාය. කතුවරයා අතීතය සහ වර්තමානය සම්බන්ධ කරන්නේ මෙම චරිතයෙනි. ධම්මගුප්ත හිමි සහ කදීර්ගේ හමුව මගින් සිදුවන ආධ්‍යාත්මික බන්ධනය අතීත කතාව පරිපාකයට ගෙන එයි. මෙහිදී කතුවරයා සිහින සහ චිත්ත බලය ඔස්සේ අනාගතය දැකීමේ උපක්‍රමය ද භාවිතයට ගනී. කෙසේ වෙතත්, වර්තමාන කතාව පැවසීමේදී වාර්තාමය ස්වරූපයක් ගන්නා බව දිස් වේ. එය කව්රුත් දන්නා සිදුවීම් පෙළක් නිසා පාඨකයාට අපූර්වත්වයක් දැනවිය හැක්කේ අල්ප වශයෙනි.
ආගම වර්තමානයේ සාරය අහිමි පැවැත්මක් බවට පත් වෙමින් තිබේද? මිනිසා සහ පරිසරය අතර බන්ධුත්වය බිඳහෙලීමේ පාපයට ගොදුරු වෙමින් තිබේද? අතහැරීම වෙනුවට අයිති කරගැනීමේ මාරාන්තික තරගයක නියැලෙමින් සිටීද? අගත අනගත යනු මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට වඩා ආගම ද ඇතුළු සියල්ලේ වෙනස්වන ස්වභාවය මෙනෙහි කිරීමට පාඨකයාට අවකාශ සලසන නවකතාවකි; ආගමේ සීතල මෙන්ම රස්නය ද පාඨකයාට දනවන නවකතාවකි.

