අපේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ, මිත්‍රශීලී, හා ප්‍රගතිශීලී විදේශ ප්‍රතිපත්තියයි – විදේශ අමාත්‍ය විජිත හේරත්
- Sujeewa Senerath
- November 18, 2025
- දේශපාලන, පුවත්
- wijitha-hearth
- 0 Comments
දකුණු ආසියානු රටවල් සමඟ ගිවිසුම් විස්සක්, නැගෙනහිර ආසියානු රටවල් සමඟ ගිවිසුම් දහනවයක්, අග්නිදිග හා මධ්‍යම ආසියානු රටවල් සමඟ ගිවිසුම් අටක්, යුරෝපා හා උතුරු ඇමෙරිකානු රටවල් සමඟ ගිවිසුම් පහලොවක්, මැද පෙරදිග රටවල් සමඟ ගිවිසුම් හතරක්, ලතින් ඇමෙරිකා සහ කැරිබියන් රටවල් සමඟ ගිවිසුම් හතරක් ඔක්කොම එකතු කළාම මේ කෙටි කාලය තුළ අප මේ රාජ්‍යන් සමඟ නව ගිවිසුම් හැත්තෑවක් අත්සන් කර එකඟතාවයන් ඇතිකරගෙන තිබෙන අතර, රාජ්‍ය තාන්ත්‍රික බැඳීම තවත් ශක්තිමත් කර තිබෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් අයවැය විවාදය එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටී.
අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ කරන ලද කතාව පහතින් දැක්වේ.
විදේශ කටයුතු සංචාරක සහ විදේශ රැකියා මේ ක්ෂේත්‍ර තුනම ඒකාබද්ධ කරලා අපේ අමාත්‍යාංශය ගොඩනැගුවෙම රටට විදේශ විනිමය විශාල වශයෙක් ගොඩනැගීමේ ඉලක්කය මත. අපේ විදේශ ප්‍රතිපත්තිය වන්නෙ ඉතා පැහැදිලිව මධ්‍යස්ථ, මිත්‍රශීලී, ඒ වගේම ප්‍රගතිශීලී විදේශ ප්‍රතිපත්තිය. ඒ හරහා තමයි අපේ රට ලෝකය ඉදිරියේ ගෞරවයට අභිමානයකට පත්කළ, හැක්කේ පත්කළ යුත්තේ. අද ඒ අභිමානය අපි ලබාගෙන තියනවා.
විදේශ අමාත්‍යාංශය විදිහට අපි නව සහයෝගිතා ක්ශේත්‍ර වර්ධනය කරගනිමින් නව වෙළෙඳපොළවල් විවෘත කරගැනීම, ඒ වගේම ද්වීපාර්ශ්වික, කලාපීය, බහු පාර්ශ්වික කටයුතු වැඩිදියුණු කරගනිමින් අපේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික භාවය ශක්තිමත් කරගනිමින් ඒ වගේම ලෝකය තුළ ඇතිවන දේශගුණික විපර්යාස හා පාරිසරික ආරක්ෂාව පිළිබඳව කටයුතුවලට මැදිහත් වෙමින් ඒ වගේම ලෝකය පුරා විසිරිලා සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙහි සියලු කටයුතු සඳහා මැදිහත්වෙමින් අපි අපේ කාර්‍යබාරය ඉටුකරමින් තියනවා.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමට සහ විදේශ සංචාරකයන්ට සේවා සැපයීමට විදේශ දූත මණ්ඩල පුළුල් කෙරෙනවා
ඉතින් මේ වෙනකොට මේ ගෙවුන වසරක කාලය තුළ අප සතුටුවෙනවා, අපේ දැනට පවතින විදේශ දූත මණ්ඩල හැටතුනක් තියනවා, අපි මේ වසර ආරම්භයේදීම නවසීලන්තයේ මහ කොමසාරිස් කාර්‍යාලය ආරම්භ කරමින් නව විදේශ සම්බන්ධතා පවත්වාගෙන යන්න අප සමත්වෙලා තියනවා. ඒ වගේම පහුගිය කාලයේ ආණ්ඩුව විසින් සයිප්‍රස්හි තිබුණු කොන්සල් ජනරල් කාර්‍යාලය වහලා දැම්මා. ඉතින් ඇත්තම ගත්තොත් සයිප්‍රසය තුළ ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් රැකියාවල නියුක්තවෙනවා. අපි මේ වසර තුළ සයිප්‍රසයේ කොන්සල් ජනරල් කාර්‍යාලය නැවත් විවෘත කරලා ඒ කටයුතු දැන් ඉතා හොදින් සිදුකරගෙන යනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරේ මුල් කාර්තුවේදී චීනයේ චෙන්දුවල නව කොන්සල් ජනරල් කාර්‍යාලයක් ආරම්භ කරන්න. චීනයේ නගර කිහිපයක අපි දැනට කොන්සල් ජනරල් කාර්‍යාල පවත්වගෙන යනවා. අලුතෙන් අප චෙන්දු නගරෙත් ආරම්භ කරනවා, ලංකාවට සංචාරකයන් විශාල වශයෙන් චීනයෙන් ගෙන ඒම ඉලක්ක කරගෙන, ඒ අයගෙ පහසුකම් සැපයීම සඳහා මූලික වශයෙන් මේ කොන්සල් ජනරාල් කාර්‍යාලය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
රාජතාන්ත්‍රික සබඳතා තරකර ගත්තා
ඒ වගේම මම කියන්න සතුටුයි මේ ගෙවිච්ච කාලය තුළ අපි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපේ සම්බන්ධතා ශක්තිමත් කරගත්‍තා. ලෝකයේ සෑම රටක් එක්කම අපේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අපි පළල් කරගෙන තියනවා. ඒ මිත්‍රශීලීත්වය අප තහවුරු කරගෙන තියනවා. මේ ගෙවුන වසර තුළ පමණක් රාජ්‍ය නායකයින් සහ විදේශ නායකයින් විස්සකට වැඩි ප්‍රමාණයක් අපේ රටට පැමිණියා. අපේ රටත් සමඟ ඒ මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රිකභාවයක් ශක්තිමත් කිරීම සඳහා. ඉතින් අපි ඒ පිළිබඳව ඇත්තටම සතුටුවනවා. ඒ වගේම ඒ නිල සංචාරයන්ට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරයා අවුරුදු නවයකට පසුව ලංකාවට පැමිණියා. ඒකට අවශ්‍යකරන පහසුකම් සියල්ල අප සැපයුවා. ඒ හරහා අපේ රටේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසය තහවුරු කරන්න සමත්වෙලා තිබෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් අපේ රට බංකොලොත් භාවයෙන් මුදවගන්න අපට IMF එක, ලෝක බැංකුව, A.D.B එක විවිධ ආකාරයෙන් අපිත් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට ලෝක බැංකුවේ සභාපතිවරයා මේ ගෙවුන වසර කාලය තුළ ලංකාවට පැම්ණියා. ලෝක බැංකුව හරහා අපට විවිධ ආධාර වැඩසටහන්, ණය ආධාර වැඩසටහන් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න ඒ හරහා හැකියාව ලැබිලා තියනවා.
ඒ වගේම අප රාජ්‍ය නායකයින් විදියට අපේ ගරු ජනාධිපතිතුමා නිල රාජ්‍ය සංචාර අටක් කළා. ගරු අග්‍රාමාත්‍ය තුමිය නිල සංචාර හයක් කළා. ඒ හරහා අපි ඒ ඒ රටවල රාජ්‍ය තාන්ත්‍රිකව තිබෙන සබැඳියාව තවත් ශක්තිමත් කරගනු ලැබූවා. ඒ වගේම ඒ රටවල ව්‍යාපාරික ප්‍රජාවත් සමඟ සහසම්බන්ධ වෙලා අපේ රටට නව ආයෝජන ගෙන එන්න, නව ව්‍යාපාරික අවස්ථා පළල් කරගන්න ඒ සංවාද හරහා අප සමත්වෙලා තිබෙනවා.
ඒ වගේම වසර ගානක් සමහර රටවල් සමඟ පවත්වාගෙන යායුතු සහ අලුතින් පැවැත්විය යුතු දේශපාලන, ආර්ථික සංවාද කාලයක් තිස්සේ සිදුවෙලා නොතිබුණා. අප මේ ගෙවුන වසරක කාලය තුළ රටවල් නවයක් සමඟ දේශපාලනික සංවාද වැඩසටහන් ආරම්භ කළා. භූතානය සමඟ අවුරුදු හතකට පසුව අප දේශපාලන සංවාද ආරම්භ කරලා ඒ අදාළ ගිවිසුම්වලට එලබෙන්න කටයුතු කරා. බංගලාදේශයේ අවුරුදු හතක් තිස්සෙ කිසිදු දේශපාලනික සංවාදයක් තිබී නෑ. අපි එය මේ වසර තුළ නැවත් ආරම්භ කළා. නෙදර්ලන්තයත් සමඟ අවුරුදු හතරක කාලයක් තිස්සෙ ඒ දේශපාලන සංවාද තිබුන් නෑ. මේ අවුරුද්ද ඇතුළෙ අප නෙදර්ලන්තය සමඟ අලූතෙන් සාකච්ඡා ආරම්භ කරලා ඒ දේශපාල සංවාද වැඩසටහන් හරහා ද්වීපාර්ශ්වික සබඳතාවයන් ශක්තිමත් කරන්න සමත්වෙලා තිබෙනවා.
ඉතාලියත් සමඟ මේතාක් කිසිදු රජයක් ඒ දේශපාලන සංවාද ආරම්භ කර තිබුණේ නෑ. ඉතාලියේ විදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාවට පැමිණිලා අපේ නියෝජ්‍ය ඇමතිතුමත් සමඟ අපේ විදේශ අමාත්‍යාංශය නිලධාරී කණඩායමත් සමඟ ඒ දේශපාලන, ආර්ථික සාකච්ඡා පවත්වලා පළවෙනි වතාවට ඉතාලියත් සමඟ අවබෝධතා ගිවිසුමක් හරහා දේශපාලන සංවාදය ශක්තිමත් කළේ. ස්විස්ටර්ලන්තයත් සමඟ අවුරුදු හතකට පසුව අප නැවත සම්බන්ධතා ආරම්භ කළා. ජපානය, පිලිපීනය මේ රටවල් සියල්ලම අවුරුදු හතක් තිස්සෙ දේශපාලන සංවාද නොතිබුණා. නමුත් අප මේ කෙටි කාලය තුළ ඒවා ආරම්භ කරලා, ද්වීපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරලා තියනවා. ඒ වගේම පිලිපීනය, තායිලන්තය, එක්සත් අරාබි එමිර් රාජ්‍යත් සමඟ ඇත්තටම ගත්තොත් අවුරුදු එකොලහකට පස්සෙ අප මේ සම්බන්ධතාවයන් නැවත ශක්තිමත් කරන්න අප සමත් උනා මේ කෙටි කාලය තුළ.
මාස කිහිපයක් ඇතුලත එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන ප්‍රවර්ධන සහ ශක්තිමත් කිරීමේ protection and promotion Bill එක මේ පාර්ලිමේන්තුවට තුළට ගෙනල්ලා පනතක් ලෙසට සම්මත කරගන්න. ඒ නිසා එක්සත් අරාබි එමිර් රාජ්‍ය අපේ රටේ ආයෝජනය කරන්න අද විශාල කැමැත්තක් දක්වනවා. ඒ විශ්වාසය තහවුරු උනා. ඒ විශ්වාසය තහවුරු වීමත් සමඟ ගරු ජනාධිපතිතුමාට ආරාධනාවක් ලැබුනා, ඒ වගේම ඒ ආරාධනාවෙදි අපි එහි රාජ්‍ය නායකයින් මුණගැහුනා, සාකච්ඡා පැවැත්වුවා. ඒ වගේම එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නායක මට්ටමින් විදේශ ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා අපේ ලංකාවට, මේ කටයුතු සාර්ථක කරගැනීමට අවස්ථා කිහිපයකදීම පැමිණියා.
වසරක් තුළ විවිධ රටවල් සමඟ ගිවිසුම් 70ක්
ඉතින් මේ අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් හරහා ගෙවුන වසරක කාලයක් තුළ අපි අලුතෙන් ගිවිසුම් හැත්තෑවක් ආර්ථික, දේශපාලන, පාරිසරික, සමුද්‍රීය විවිධ ක්ශේත්‍රයන්වලට අදාළව අවබෝධතා ගිවිසුම් හැත්තෑවක් මේ කෙටි කාලය තුළ අත්සන් කරලා තියනවා. එය විශාල ජයග්‍රහණයක්. දකුණු ආසියානු රටවල් සමඟ ගිවිසුම් විස්සක්, නැගෙනහිර ආසියානු රටවල් සමඟ ගිවිසුම් දහනවයක්, අග්නිදිග හා මධ්‍යම ආසියානු රටවල් සමඟ ගිවිසුම් අටක්, යුරෝපා හා උතුරු ඇමෙරිකානු රටවල් සමඟ ගිවිසුම් පහලොවක්, මැද පෙරදිග රටවල් සමඟ ගිවිසුම් හතරක්, ලතින් ඇමෙරිකා සහ කැරිබියන් රටවල් සමඟ ගිවිසුම් හතරක් ඔක්කොම එකතු කළාම මේ කෙටි කාලය තුළ අප මේ රාජ්‍යන් සමඟ නව ගිවිසුම් හැත්තෑවක් අත්සන් කරලා තියනවා. එකඟතාවයන් ඇතිකරගෙන තියනවා. අපේ රාජ්‍ය තාන්ත්‍රික බැඳීම තවත් ශක්තිමත් කරගෙන තියනවා.
ඒ වගේම මේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් තවත් තහවුරු කරගැනීමට ඉදිරියට ගෙනයන්න විශේෂයෙන්ම ලතින් ඇමරිකානු සහ කැරබියානු කලාපය තුළ. ඒක යම්කිසි දුර්වල මට්ටමක තිබුණා ඉතින් අපි විශේෂ මැදිහත්වීමක් කරලා ඇන්ටිගුවා, බාබුඩා, බෙලීශ් කියන මෙම රාජ්‍යන් තුන සමඟම අලුතෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන් ආරම්භ කරා. ඒ පිළිබඳ අපි එකඟතාවයන්වලට ගිවිසුම්වලට එලඹුනා. මේ රටවල් තුන සමඟම අලුත් diplomatic relations අපි ආරම්භ කළා. එයත් මේ කෙටි කාලය තුළ සිදුවුන දෙයක්.
රාජ්‍යන් රාජ්‍යන් අතර ගිවිසුම්
ඒ වගේම ආර්ථික ක්ශේත්‍රයේත් අපි විශාල වශයෙන් අයෝජන ගෙන්නගන්න ව්‍යාපාර අවස්ථා පළල් කරගන්න ඒ ව්‍යාපාර ප්‍රජාවත් සමඟ G to G ගිවිසුම් කිහිපයකට එලඹුනා. ඉතින් ඇත්තටම ගත්තොත් රජය ව්‍යාපාරවල යෙදෙන්න එන්නෙ නෑ. රජය නෙමෙයි ඇත්තටම ඒ වැඩේ කරන්නෙ. පෞද්ගලික අංශය තමයි කරන්නෙ. විදේශ රැකියා අවස්ථා ලබාගන්නෙත් පෞද්ගලික අංශය. අපි කරන්නෙ ඒකට අවශ්‍ය කරන යටිතල පහසුකම් සැපයීම. එනිසා වරද්දගන්න එපා’ විදේශ රැකියා ගෙන ඒම සඳහා අවශ්‍යකරන රජයන් රජයන් අතර ගිවිසුම් අත්සන් කිරීම, රජයන් රජයන් අතර බැඳීම් ශක්තිමත් කිරීම, අපේ රටේ පුහුණු ශ්‍රමිකයන්ට ඒ රටවල රැකියා අවස්ථා පළල් කරගැනීම, එවැනි දේවල් කරනවා. නමුත් රැකියා අවස්ථා ලබාදීමට මැදිහත්වෙන්නෙ පෞද්ගලික රැකියා ආයතනයි. එය තමා අපේ ප්‍රතිපත්තිය. එය ඉතා හොදින් කෙරනවා.
විදේශ සමාගම් 150කින් අලුත් ආයෝජන අවස්ථා
ඒ වගේම ව්‍යාපාර සම්බන්ධයෙනුත් එහෙමයි. පුද්ගලික අංශය ව්‍යාපාර කරනවා ආයෝජන ගේනවා, අපනයනන් ගෙනයනවා. හැබැයි එයට අවශ්‍ය කරන පහසුකම් සැලසීම ඒ සම්බන්ධතාවයන් තහවුරු කිරීම තමයි විදේශ අමාත්‍යාංශයේ අපේ පැත්තෙන් කෙරෙන්නෙ. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් පමේ කෙටි කාලය තුළ විශාල මැදිහත්වීම් ගණනාවක් කරලා තියනවා. අප සමත්වෙලා තියනවා. විදේශ සමාගම් 150ක් සමඟ අලුත් ආයෝජන අවස්ථාවන්වලට යන්න මේ අවුරුද්දක කෙටි කාලය තුළ හැකි වුණා. ඒ විතරක් නොවෙයි එවැනි ව්‍යාපාරික ආයෝජන සමාගම් දෙදහක් සමඟ පමණ අපි අපේ අදහස් හුවමාරු කරගෙන තියනවා. අපේ රට පිළිබඳව අප ඔවුන්ව දැනුවත් කරලා තියනවා. අප බලාපොරොත්තු වෙනවා ඒ දැනුවත් කිරීමේ අඩිතාලම හරහා තවත් බොහෝ ආයෝජකයන් විදේශ ව්‍යාපාරිකයන් ලංකාවේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙයි කියලා.
ඒවගේම අපේ රටේ ව්‍යාපාරිකයන්ට වෙනත් රටවල ව්‍යාපාර කටයුතු කරන්න අවස්ථාව පළල් වෙනවා. අපේ Chamber of commerce සමඟ ඒ වගේම අනිත් රටවල්වල එවැනි ව්‍යාපාර සංගම් සමඟ මෑතකදි සෞදි අරාබියේ තියන federation of chamber of commerce අපේ ලංකාවේ federation of chamber of commerce එක්ක මමත් ඉන්න වෙලාවෙ අලුත් ගිවිසුමක් අත්සන් කළා. ඉතින් එවැනි ගිවිසුම් ගණනාවක් පහුගිය කාලයේ අපි අත්සන් කරා. අපේ පෞද්ගලික අංශයත් ඒ රටවල ඉන්න පෞද්ගලික ආයතනත් සමඟ. ඒවායින් තමා වෙළෙඳ අවස්ථා ව්‍යාපාරික අවස්ථා පළල් වෙන්නෙ. ආයෝජන අවස්ථාව පළල් වෙන්නෙ. ඉතින් ඒ මැදිහත්වීම ගැන ඇත්තටම අපි සතුටු වෙනවා. රටක් විදියට අපි ආඩම්බර වෙනවා.
ද්විපාර්ශවික ණය සාර්ථකව ප්‍රතිව්‍යූහගත කරා
ඒ වගේම රටේ බලශක්ති ක්ශේත්‍රය, ආහාර සැපයුම, බෙහෙත් ද්‍රව්‍ය ඒ සියලු දේවල් රටට ලබාගැනීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය විදිහට අපි ද්වීපාර්ශ්වික, බහු පාර්ස්වික ඒ සම්බන්ධතාවලදී මැදිහත්වෙලා තියනවා. මේ කෙටිකාලය තුළ ඒ බොහෝ ජයග්‍රහණය අපි අරගෙන තියනවා. විශේෂයෙන්ම ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය. ඔබ දන්නවා අප ISP ණය ප්‍රතිව්‍යුහගතකරණය කලා. හැබැයි අපේ ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතුරු වෙලා තිබුණා. අපි මේ කෙටිකාලය තුළ එක්සත් රාජධානිය, ප්‍රංශය, ජපානය, හංගේරියාව ඉන්දියාව, සෞදි අරාබිය, ඕස්ට්‍රේලියාව යන සියලු රටවල් එක්ක ද්වීපාර්ශ්වික අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන්න, මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් ඒ වගේම විදේශ අමාත්‍යාංශයත් අන්තර් සම්බන්ධව කටයුතු කරා. එහි විශාල ජයග්‍රහණයක් අපට ලබාගන්න පුළුවන් වෙලා තියනවා.
ට්‍රම්ප්ගේ විශේෂ බද්ධෙන් ඇතැම් ද්‍රව්‍ය 0% දක්වා අඩු කරගත්තා
ඒ වගේම කවුරුත් දන්න දේ තමා ඇමරිකා එක්සත් ජනපදය ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ බද්ධක් පැනෙව්වා 44% ක. අප සමත් උනා මුදල් අමාත්‍යාංශයත්, ඒ වගේ ම විදේශ අමාත්‍යාංශයේත් විශේෂ මැදිහත්වීම යටතේ 20% ට ඒක අඩුකරගන්න. දැන් ට්‍රම්ප් පහුගිය 13 වෙනිදා නව නියෝගයක් නිකුත්කරලා තියනවා අපේ සමහර ආහාර ද්‍රව්‍යත් zero tariff තත්වෙට ගේන්න. ඉතින් අපි ඒ සම්බන්ධීකරණය හරහා තමයි මේ සියල්ල ජයග්‍රහණය කරේ. බොහෝ රටවලට ඒක කරගන්න බැරි උනා. අසල්වැසි ඉන්දියාවට පවා ඒ තත්වෙට එන්න බැරි උනා. නමුත් අපි සමත් උන රටක් විදිහට ඒ ටැරිෆ් එක 44% තිබුණු එක 20% ට අඩුකරගන්න. තවමත් ඒ සාකච්ඡා ඉස්සරහට යනවා. තවම අපි අතරේ ගිවිසුමක් අත්සන් කරලා නෑ. අපි එකඟතාවයන් සාකච්ඡා කරමින් යනවා. සාකච්ඡාවට දාහතක් අපි පවත්වලා තියෙන්නෙ. ඒ දාහත පුරාවට තමා අපි මේ සහනය ලංකාවට ගේන්න සමත් උනේ.
ඒ වගේම ලබන අවුරුද්දෙ අපි දහ තුනකට පස්සෙ අපේ අපනයන සංවර්ධන මණ්ඩලයත් විදේශ අමාත්‍යාංශයත් ඒකාබද්ධව තවත් රජයේ ආයතනත් ඒකාබද්ධව, අපේ විදේශ තානාපති කාර්‍යාල, මහ කොමසාරිස් කාර්‍යාල ඒකාබද්ධව 2026 Sri Lanka Expo පවත්වන්න කටයුතු සූදානම් කරනවා, අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ කටයුතු අප දැනටමත් ශක්තිමත් කරලා තියනවා. ඉතින් ඒ හරහා අපි බොහෝ ජයග්‍රහණ ලබාගන්න මැදිහත්වෙනවා.
ඒ වගේම මම කියන්න කැමතී පහුගිය කාලය තුළ බහු පාර්ශ්වික ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අපි අයෝරා සංවිධානයේ සභාපතිත්වට දරලා අපි ඒ හරහා අමාත්‍යවරුන්ගේ සමුළු පැවැත්තුවා. ඒ Ceylon Chamber of Commerce එක්ක ඒ අයෝරා සාමාජික රටවල් එක්ක අපි විවිධ සමුළු පැවැත්තුවා. ඒ හරහාත් වෙළඳ සහයෝගිතාවය තවත් ශක්තිමත් කරගත්තා. Colombo Plan අපි 74 වන සංවත්සරය කොළඹ පැවැත්තුවා. අප රටක් විදියට විදේශ අමාත්‍යාංශය විදියට ඒ සබැඳියාව ශක්තිමත් කරගනු ලැබුවා.
මානව හිමිකම් කවුන්සිලයේ දී රටේ ආරක්ෂාව වෙනුවෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී පලස්තීනය වෙනුවෙන් පැහැදිලි ස්ථාවරයක සිටිමින් පෙනී සිටියා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සැසිවාරයේදී පලස්තීන ජනතාවගේ ස්වාධීන අයිතිය වෙනුවෙන් අපේ ජනාධිපතිතුමා ඉතා පැහැදිලි ශක්තිමත් ස්ථාවරය අපේ රටේ, අපේ විදේශ අමාත්‍යාංශයේ ස්ථාවරය ඉතා පැහැදිලිව සඳහන් කළා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා මධ්‍යස්ථව අපි කටයුතු කරලා තියනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය, යකෙක් කියල අපි කියන්නෙත් නැහැ, දෙවියෙක් කියලා අපි කියන්නෙත් නැහැ. අපේ රට පිළිබඳව මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව දේශීය යාන්ත්‍රනයක් තුළ කටයුතු කරන අපේ ස්ථාවරය ඉතා පැහැදිලිව නිරවුල්ව අපි ඉදිරිපත් කරලා තියනවා.
එවැනි ජයග්‍රහණ ගණනාවක් මේ කෙටි කාලය තුළ අපි ලබාගෙන තියනවා. රටක් විදියට අපි සතුටුවෙනවා මේ කෙටිකාලය තුළ විදේශ අමාත්‍යාංශය විදියට මේ ලබාගත් ජයග්‍රහණ පිළිබඳව.
ඉතාලියේ නිත්‍යානුකූලව සිටින්නන්ට තානාපති කාර්යාලය හරහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගත හැකියි
පාස්පෝර්ට් ලබාදීමේ දී විදෙස් රටවල නිත්‍යානුකූලව සිටින ශ්‍රී ලාංකිකයන්ට පමණයි ලබා දීම සිදුකරනු ලබන්නෙ. නීති විරෝධීව සිටින පුද්ගලයන්ට අදාළ තානාපති කාර්යාලය හරහා පාස්පෝර්ට් ලබා දීමේ ක්‍රමවේදයක් නොමැත. එම නිසා ඉතාලියේ තිබෙන ප්‍රශ්නය සඳහා අවශ්‍යය කරන නීතිමය පසුබිම මත අදාළ පාස්පෝර්ට් ලබා එම තානාපති කාර්යාලය යටතේ ලබා දීමට කටයුතු සිදු කරනවා.
මේ වසරේ 6511ක් ඊශ්‍රායිල් රැකියාවලට. රට යැවීම විනිවිදව කෙරෙන ක්‍රමවේදයක් අප සකස් කර තිබෙනවා
ඊශ්‍රායල් යැවීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් නොමැත. මේ වසරේදීත් විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් සඳහා ම පුද්ගලයින් 6511 ක් යවා ඇත. මීට පෙර සිටි අමාත්‍යවරයා හිතවත්කම පුද්ගලයන් 10000ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත යවා තිබූ අතර එම පුද්ගලයන්ට එම ක්ෂේත්‍රය පිළිබද දැනුම නොමැති බවත් ඔවුන්ට මහන්සි වී කටයුතු කිරීමට නොහැකි බවත් ඊශ්‍රායලයෙන් චෝදනා කර තිබුණි. එසේම එවැනි පුද්ගලයින් නැවත ඊශ්‍රායලයට නොඑවන ලෙසත් ඉල්ලා සිටියා. එම හේතුව නිසාවෙන් එම පුද්ගලයින් 10000න් 8000ක ප්‍රමාණයක් අපගේ මැදිහත්වීම මත වෙනත් ක්ෂේත්‍ර වෙත යොමු කරනු ලැබුවා. එදා පැවති දේශපාලන මැදිහත් වීම් නිසා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා අහිමි වීම ද සිදු වුණා. වර්තමානයේ දී කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විනිවිදව සුදුසුකම් මත රට යැවීම සිදු කරනවා. පසුගිය දා අප විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 40 වැනි සංවත්සරය සැමරීමක් සිදු කරනු ලැබු අතර කිසිදු ඒජන්සියකට කිසිදු වියදමක් දැරීමට අවස්ථාව ලබා නොදුනි. නමුත් මීට පෙර සිටි අමාත්‍යවරු විවිධ පුද්ගලයන්ගෙන් මුදල් එකතු කිරීමක් සිදු කරනු ලැබිය. මම නැවත වරක් ප්‍රකාශ කරනවා අප විනිවිද භාවයකින් යුතු දේශපාලන මැදිහත් වීමකින් තොරව විදේශ රැකියා කටයුතු සිදු කරගෙන යන අතර අප නිවැරදි ක්‍රමවේදයන් ගොඩනගා ඇති නිසාවෙන් එම ක්‍රමවේදය ශක්තිමත් තුළ මෙය තවත් ඉදිරියට ගෙනයාම හැකි බව අප විශ්වාස කරනවා.
සංචාරක පැමිණීම මිලියන 02යි. මේ සංචාරකයින් වැඩියෙන්ම පැමිණෙන වසර
ඉතා සතුටින් ප්‍රකාශ කරනවා මෙම විවාදය පවත්වන දිනයේ දී ම මෙම වසර තුළ සංචාරකයින් මිලියන 2 ඉක්මවන අතර මිලියන 2 සනිහටන් කරන සංචාරකයින් දෙදෙනා අද දිනයේ දී අප රටට පැමිණියා. එයත් එක්කම ඉතිරි මාස එකාහාමාර තුළ මිලියන 2.4 ක ඉලක්කයට යාමට හැකිවේවි. ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි වසර මේ වසර බවට පත්වෙයි.
එමෙන් ම විදේශ ප්‍රේෂණ වැඩිම ලබා තිබුණේ 2016 වසරේ දී 7.2ක්. නමුත් අප මේ වන විටත් 6.5ක් ලබාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මසකට මිලියන 650ක් පමණ ලැබෙනවා. ඒ කියන්නෙ මේ වසර වන විට බිලියන 7.5 ඉක්මනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබූ අවුරුද්ද බවටත් පත්වේවි.
ගිය අවුරුද්දට සාපේක්ෂව සංචාරකයින්ගෙ පැමිණි 20% වැඩිවෙලා තිබෙනවා. ආදායම 2.5 පමණ තිබෙන්නේ, එයට හේතුව වන්නෙ අද වන විට ඩොලරය රුපියල් 300 -306 අතර වෙනවා. නමුත් ඒ කාලේ දී ඩොලරයක් රුපියල් 130ක් පමණ වූ අතර ඒ කාලය තුළ දී මිල දී ගැනීමේ හැකියාව වත්මනයේ මිල ගැනීමේ හැකියාව අතර වෙනසක් පවතී. ඒ කියන්නෙ එක ඩොලරයකින් මිල දී ගැනීමේ හැකියාව අඩු වී තියෙනවා.
ෆ්‍රී වීසා පහසුකම ක්‍රියාත්මක වීම සංචාරක සමය අවසන් වීමෙන් පසු
Free වීසා ලබා දීම පිළිබදව තීන්දුව අරන් තියෙනවා. එහි නීතිමය ගැටලුවක් තියෙනවා. පසුගිය කාලේ පැවති VFS නඩුවත් සමඟ මෙය ගැට ගැහිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නිතිපති උපදෙස් පැමිණි පසු අප free වීසා එක ක්‍රියාත්මක කරනවා. මේ දවස්වල සීසන් එක නිසා මේ සීසන් එකේ දි එය නැති වුණාට ගැටලුවක් නෑ. ඊට පස්සෙ අපි ඕෆ් සීසන් එකේ පටන් ගැනීම ප්‍රමාණවත්. අනිවාරෙන් අපි එය පටන් ගන්නවා.
ගුවන්තොටුපල පුළුල් කිරීම ලබන වසරේ ජපන් ආධාර යටතේ
ඊ ගේට්ස් ක්‍රියාත්මක නොකරන්නේ දැනට පවතින පනතට අනුව ක්‍රියාත්මක කිරීමට නිතිය ප්‍රමාණවත් නොවන නිසා. එම නිසා නව පතනක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. එම පනතේ පවතින වගන්ති කිහිපයක් සංශෝධනය කරලා තියෙනවා. එම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.
එමෙන්ම සංචාරක කර්මාන්තය දියුණු කරන්න ගුවන්තොටුපොල පුළුල් කිරීමට අවශ්‍යයි. ජපන් ආධාර යටතේ අප දැනටමත් එය ආරම්භ කරලා තියෙනවා. ලබන අවුරුද්දෙ අප්‍රේල් මස වන විට එහි වැඩ කටයුතු ආරම්භ කරනවා. මේ වනකොට evaluation එක යනවා Technically evaluation සහ Financially evaluation එක පෙබරවාරි මුල වන විට අවසන් වෙනවා. අප විසින් තාවකාලිකව සංචාරකයින්ගේ පහසුව සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය යටතේ, පුද්ගලික අංශ කිහිපයක් ඒකාබද්ධ වී මිලියන 35ක මුදලයක් වැය කොට ටර්මිනල් කිහිපයක් දාලා තිබෙනවා. මේ සීසන් එකට එමගින් යම් ප්‍රමාණයක තදබදය අවම කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. කසේ වෙතත් ස්‍ථීර පිළිතුරක් ලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.
උතුරු නැගෙනහිරටත් සංචාරක ව්‍යාපෘති පැකේජයක්
එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් සඳහා ව්‍යාපෘති ගණනාවක් ම ක්‍රියාත්මක කරනවා. එහිදි පලාලි ගුවන්තොටුපොල දියුණු කිරීම සහා KKS ව්‍යාපෘති යෝජනා සම්මත කරගෙන සාකච්ඡා කරමින් යනු ලබන අතර එය ඉන්දියාව සමඟ ඒකාබද්ධ වෙමින් KKS සංවර්ධනය කරනවා. එම නිසා අද දිනයේදීත් උතුරු පළාතේ කැබිනට් පත්‍රිකාවක් සම්මත වුණා. එමෙන් මත ඩොලර් මිලියන ගාණක් වෙන් කරා උතුරේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එහිදී එරාවූර් කාත්තන්කුඩි ආදි ප්‍රදේශවලත් ව්‍යාපෘති ගණනාවක් ම පවතිනවා.
යාලට තවත් ජීප් රථ දාන්න බෑ. සතුන්ට හිරහැර බව වනජීවි කියයි
එමෙන්ම යාල ජීප් රථ පිළිබද ව ප්‍රශ්නයක් මතු කරනු ලැබුවා. මං කියන්න කැමතී දැනට ජීප් රථ 500ක් පමණ යොදවා තිබෙන අතර තවත් 175ක් යොදවන්න කියලා ඉල්ලිමක් කරනවා. වනජීවි එකෙන් ප්‍රකාශ කරනවා එම ධාරිතාව වැඩි කිරිමට නොහැකි බව, එයින් සත්තුන්ට කරදරයක් වන බවත්. මෙහි පවතින ගැටලුව එයයි. ඊට අමතරව ජීප් රථ වැඩි කිරීමට නම් දැනට ජිප් රථ දමා ඇති අයගේ ප්‍රමාණය අඩු කර අලුත් අයට අවස්ථාවක් ලබා දීමට සිදු වනවා. එය සිදු කිරීමට එකඟතාවයකින් අවශ්‍යයයි. මේ වන විට පිරිසක් රෙජිස්ටර් වෙලා තියෙනවා. දැනට ඉන්න පුද්ගලයන්ට ජිප් රථ පනහා හැට තිබෙනවා. රියදුරන් විසින්මයි අලුත් ජිප් රථ අරගෙන ඇත්තේ. නමුත් එය කරන්න නම් ඒ අය අතරින්ම එකඟතාවයක් අවශ්‍යයයි. එම ප්‍රශ්නය පිළිබඳව මා දැනුවත් අතර ඒ සඳහා මැදිහත් වීම කළ යුතු වන්නෙ වනජීවී දෙපාර්තුමේන්තුව මගින්. අප එයට අවශ්‍ය පියවර ඉදිරියේ දී ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.
පලස්තීනය ගැන විපක්ෂයේ ඉද්දී තිබ්බ ස්ථාවරය ආණ්ඩුවට ආවට පස්සේ වෙනස් වෙලා නෑ
ඒ වගේම සැප්තැම්බර් 9 වැනිදා කටාර්වලට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ දී ඉතා පැහැදිලිවම විදේශ කටයුතු අමාත්‍යාංශයේ අපි එය හෙලා දැකලා සැප්තැම්බර් 10 වන දින ම නිවේදනයක් නිකුත් කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලේ ඉදිරිපත් වූ යෝජනාවට අප සම සභාපතිත්වය දරලා එම යෝජනාවට සහයෝගය දැක්වුවා. පලස්තීන ජනතාවගේ විමුක්තිය පිළිබදව අප එදා ඉදලා ඉන්නේ එක ස්තාවරයකින්. 1988 දී පලස්තීනය වෙනම රටක් ලෙසට පිලිගනු ලැබුවා. අප එදත් මේ රටවල් දෙක විසදුම් පිළිබද ව එකඟතාව පල කරනවා. ඒ ස්ථාවරය පිළිබද කිසිදු වෙනසක් නැත. අප විපක්ෂයේ සිටින විට සිටි ස්ථාවරත්වයත් ආණ්ඩුවේ සිටින විට ඇති ස්ථාවරයත් වෙනසක් නැත. අප අද ඒ මැදිහත්වීම සිදු කරනු ලබන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී අදාළ මැදිහත් වීමත් ජාත්‍යන්තර සමුළුවලදි සිදු කරන මැදිහත් වීමත් අප ඒ ආකාරයෙන්ම සිදු කර ඇත.
ප්‍රධාන ගිවිසුම් කිහිපයක් සමාලෝචනය කරන්න කැබිනට් අනුකමිටුවක්
ඒ වගේ ම දැනට තිබෙන වෙළෙද ගිවිසුම් SAPTA ගිවිසුම, සිංගප්පූරු හා තායිලන්තය සමග අත්සන් කළ ගිවිසුම් පිළිබද නැවත සමාලෝචනය කිරීම සදහා වෙනම කැබිනට් මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා. එම අනුකමිටුව සහ එහි ඇති වාසි අවාසි සහ ඒවා යාවත්කාලීන කිරීම් පිළිබද ව සමාලෝචනය කිරීම සදහාත් වෙනම කමිටුවක් පත්කරලා තියෙනවා. ඉදිරියේදී අවශ්‍යය තීන්දු තීරණ ගැනීමට.
සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවනවා. දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් අනාගතයේ දී රට යෑම අඩු කරන්ත් බලාපොරොත්තු වෙනවා
සංචාරක ක්ෂේත්‍රය තනි අමාත්‍යාංශයක් පමණක් නගාසිටුවිය හැකි ක්ෂේත්‍රයක් නොවේ. බොහෝමයක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ගණනාවක් ඒකාබද්ධව සංවර්ධනය කළ යුත්‍තක්. ඉතිං ඒ සියලු අමත්‍යංශ සම්බන්ධීකරණ කර ගනිමින් සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවන්න අවශ්‍යය කරන අඩි තාලම යොදා තිබෙනවා. ඒ පදනම මත අපට ඉලක්කයක් තියෙනවා අපගෙ රටට වැඩිම විදේශ විනිමය ලබාගන්න පුලුවන් ක්ෂේත්‍රයක් ලෙසට සංචාරක කර්මාන්තය දියුණු කරන්න. සංචාරක කර්මාන්තය දියුණු වීම මගින් අප රට තුළ රැකියා අවස්ථා පුළුල් වෙනවා, නව රැකියා අවස්ථා බිහි වෙනවා. එයත් සමගම ආර්ථිකය ඉහළ යනවා.
විදේශ රැකියා පිළිබඳ අවධානය යොමු කළ විට විදේශ රැකියා මගින් අප ලබා ගන්න ප්‍රේෂණ වැඩි කර ගැනීම අපගේ ඉලක්කයක්. නමුත් රට යවන ප්‍රමාණය වැඩිකරන එක ඉලක්කයක් වීම අවාශ්‍ය නෑ. මොකද රටක් විදිහට ගත් විට රටේ ආර්ථිකය ශක්තිම නම් රැකියා අවස්ථා පුළුල් වේ නම්, අපගේ නිෂ්පාදන ආර්ථිකය තවත් ශක්තිමත් වේ නම්, අප රටින් බැහැර වීමට නොව අප රට තුළ රැදී සිටීමට ජනතාව පෙළඹිය යුතුයි. එවිට අප ඉලක්කම්වලින් යන ප්‍රමාණය වැඩී කියන දේ හාස්කමක් නොවේ. අප ඇත්තටම සතුටු වෙන්න ඕනි අප රට තුළ ඉන්න තත්ත්වයකට රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා නම්. එම දැක්මෙ සිට අප මැදිහත්වීම සිදු කරනුයේ. දැනට පවතින යථාර්ථය වන්නෙ වැඩිම විදේශ විනිමය උයනු ලබන්නෙ විදේශ ප්‍රේෂණ මගින්. වැඩිම ආදායම පැමිණෙනුයේ මැදපෙරදිග කුවේට්වලින්, ඉන්පසු එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන්, කටාර්වලින්. ඉතින් එම නිසා අප ඒ පදනමේ සිට මැදිහත්වීම සිදුකරනු ලබනවා.
කෙසේ හෝ අපගේ විදේශ ප්‍රතිපත්ති පැහැදිලි. ඒ ප්‍රතිපත්ති පවතින්නෙ අපගේ රට ලෝකය තුළ අභිමානවත් රටක් බවට පත්කිරීමට ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක් සහ ලෝකය සමග අත්වැල් බැදගත්ත ප්‍රතිපත්තියක් තුළ සිට අප කටයුතු සිදු කරනව.

