අවම පොළිය 5%ක් වූ රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කරයි – සියලු විස්තර මෙන්න

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 5%ක් වැනි අවම පොළියට රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කර තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ හරහා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට ශක්තියක් ලැබෙන බවයි.

මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, “ව්‍යවසායකත්වයට ලංකාවෙ තියන ගැටලු වලින් ප්‍රධානතම ගැට‍ලුවක් බවට පත් වෙලා තිබුණේ ප්‍රාග්ධනය ලබාගැනීමට ඇති නොහැකියාවයි. මෙහි හිමිකරු ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය කියන අවශ්‍යතා දෙකෙන් ණය ප්‍රාග්ධනයේ ගැට‍ලු හයක් තිබුණා. ඒ ගැටලු අතර,

  • කර්මාන්ත කරණයට ඉහළ පොළී අනුපාතයක් දැරිය නොහැකි වීම
  • ණය ගෙවීමට සහන කාලයක් නොමැති වීම
  • ණය ගෙවීමේ කාලය කෙටි වීම
  • ණය ගැනීම සඳහා ඇපකර නොමැති වීම
  • සහන ණය පිළිබඳ ජනතාව දැනුවත් නොවීම
  • ණය ලබාගැනීමට සුදුස්සෙකු වීම පිළිබඳ ඇති අනවබෝධය

මේ ණය පිළිබඳ ගැට‍ලු සියල්ලටම වර්තමාන රජය සාධනීය පිළිතුරක් දීල තියෙනවා. 2025 සිය කර්මාන්ත අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය කල අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස අපට 2026 සහන ණය රු බිලියන 95ක් ලැබිල තිබෙනවා.

මුලින්ම අපි මේ ණය ක්‍රම පිළිබඳ දැනුවත් වෙමු. මේ සඳහා උපරිම සහය ඔබට කර්මාන්ත අමාත්‍යාංශය ලබා දෙන්න සූදානම්. ඔබ හොඳින්ම දන්නවා කර්මාන්ත අමාත්‍යාංශය හෝ රේඛීය අමාත්‍යාංශය ව්‍යාපෘති අනුමත කළත් එම ව්‍යාපෘතියේ ශක්‍යතාව හා ඇප පිළිබඳ අවසන් තීරණය බැංකු සතු වෙනවා. ඒ නිසා සංවිධිත ව්‍යාපාර ගොඩනැගීමට අප ශක්තිමත් විය යුතුයි.

ඇපකර නැති ගැටලුව අප 2025 විසඳුවා. ව්‍යාපාරිකයන් 1248ක් ඇප රහිත ණය ලබාගෙන තිබෙන බව සතුටෙන් කියන්න පුළුවන්. ආරම්භක ව්‍යාපාර වල ගැටලුව අපි මේ වසරේ විසඳන්න උත්සහ කරනවා.

මෙම ණය අවභාවිතා වෙන එක අවම කිරීමට මුදල් අමාත්‍යාංශයේ ඩිජිටල් පද්ධති හරහා සංවිධිත වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා, කුඩා ණය වලට වෙනම වෙන් කිරීමක්, එකම පුද්ගයන්ට නැවත ණය ගැනීම සීමා කිරීමක්.

ඉතින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 5%ක් වැනි අවම පොළියට රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත වෙලා. දැන් ඔබේ වගකීම තිරසාර ශක්තිමත් ව්‍යාපාර බිහි කිරීමයි. අපේ සාමුහික වගකීම මේ ණය නිසි ආකාරයෙන් ලබාගැනීම හා අවභාවිතා නො කිරීමයි.

‘ගිණුම් තියන්න, බදු ගෙවන්න සංවිධිත කර්මාන්ත බිහි කරන්න, නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්න’ මම කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave A Comment