ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ

නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව  ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය[MONLAR] ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන  ලෝක ආහාර දිනය  ලොව පුරා රාජ්‍යයන් විසින් සමරනු ලබන්නකි. ඒ අතරතුර ම  සාගින්න, මන්දපෝෂණය, දුප්පත්කම, දේශගුණික බලපෑම්,  ණය බර දරා ගත නො හැකිව ලෝ පුරා  මිලියන ගණන්  ජනයා  කුසගින්නේ හෝ මරණ මංචකයේ සිටිනු ඇත.  මේ මොහොත වන විටත් බිලියන 10 ක ජනතාවක් පෝෂණය කිරීමට ප්රමාණවත් ආහාර නිෂ්පාදනයක් තිබුන ද  මිනිසුන් සාගින්නෙන් මියයාම මහත් ගැටළුවකි. එම නිසාම  සැමරීමකින් එහාට ආහාර දිනය යථාර්තයක් කිරීමට ගෝලීය බලවතුන් අසමත් වී ඇත. එහෙත් දහස් ගණන් ගැමි ගොවීන්, ධීවරයන්, ආදිවාසීන්, කෘෂිකාර්මික කම්කරුවන් මෙන්ම පාරිභෝගිකයන් ද විරෝධය පාමින් විදි බැස ඇත්තේ  දිනා ගතයුතු අයිතීන් වෙනුවෙනි.

ගෙවී ගිය දශක ගණනාවක් පුරාම කර ඇත්තේ සැබෑ විසඳුම් සෙවීමට වඩා සමාගම් මුලික ව ගොඩනැගුණ ව්යාජ හා ඊනියා සැලසුම් වලට ඉදිරියට යාමට තිබෙන බාධාවන් ඉවත් කර ගැනීමය. අති බහුතරයක් ජනතාව හාමතේ සිටියදී සුළුතරයකට  දැවැන්ත වාසි ලබා දෙන ලෙසට සැකසුණු ලෝක කෘෂිකර්ම හා ආහාර වෙළදාම  අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඉඩ හසර ලබා දීමය. අද  වන  විට ලෝකයේ සමස්ත බීජ හා කෘෂි රසායන වෙළදාමෙන් 60% කටත් වඩා පංගුවක් සතු වන්නේ ප්‍රධාන පෙළේ බහුජාතික  සමාගම් හතරකටය. ලෝකයේ ගොවි ඉඩම්වලින් 70% කට ආසන්න ප්රමාණයකට අයිතිවාසිකම් කියන්නේ 1% ක් වූ විශාල ගොවි බිම් සහිත සමාගම්ය.

ගොවීන්ට, ධීවරයින්ට සහ අනෙකුත් සුළු පරිමාණ නිෂ්පාදකයින්ට අයත් ව තිබූ ඉඩම්, බීජ, වෙරළ තීරය ඇතුළු, සම්පත් මගින් මෙකී සමාගම්  දැවැන්ත ලාභ උපයනු ලබයි.

සාගිනි නිවීම පසෙක ලා  ලාභ සොයන සමාගම්

ලෝක ආහාර වෙළදාම මිනිසුන්ගේ සාගින්න නිවීම  වෙනුවට සමාගම්වලට ලාභ උපයා දෙන ජාවාරමක් බවට පත්ව ඇත්තේ කිසිදු විරෝධයකින් තොරවය. සමාගම් මුලික වී දැවැන්ත ව්‍යාපාරිකයින් විසින් ආහාර නිෂ්පාදනය  වෙනුවෙන් කරන වන සංහාරය, ව්යාප්ත කරන රසායනික යෙදවුම් සහිත විනාශකාරී මහා පරිමාණ කෘෂිකර්මය, ආහාර සැලසුම්කරණය,  ස්වාභාවික සම්පත් විනාශ වීමට හා දේශගුණික විපර්යාස  ඉහල යාමට සෘජුවම  වග කිව යුතුයැයි ප්‍රකාශයක්වත් කිරීමට නොහැකිව   ලෝක ආහාර හා  කෘෂිකර්ම සංවිධානය අසරණව සිටී.

නව ආණ්ඩුව විසින් ආහාර නිෂ්පාදනය වෙනුවෙන්   සිදු කරමින් සිටින්නේ  ඵලදායිතාව ඉහල නැංවීම, තරගකාරිත්වය වැඩි කිරීම, පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම හා කෘෂි පද්ධති නව්‍යකරණ කිරීම හරහා ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට හැකි වන පරිදි ප්‍රතිපත්ති වෙනස් කිරීමට හා අයවැය මගින් මුදල් වෙන් කිරීමට ය.  එහෙත් මේවා සියල්ලම  පසුගිය දශක ගණනාවක් පුරා පැවති ආණ්ඩු විසින් අත්හදා බැලු ඒවා ය.  තවදුරටත් ලෝකය තුල  මේ ක්රමවේදයන් ඔස්සේ  ආහාර නිෂ්පාදනයේ යෙදෙන්නන් ආරක්ෂා කිරීමට හෝ මන්දපෝෂණයෙන් පෙළෙන්නන් තුරන් කිරීමට හෝ නො හැකි බව මානව ඔප්පු කොට ඇත.

70 දශකයෙන් ඉක්බිතිව ලංකාවේ සම්පුර්ණයෙන්ම අනුගමනය කර ඇත්තේ වැරදි කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන ප්‍රතිපත්තියකි. එම  ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් මේ දක්වා සිදු ව නොමැත.  රාජ්‍ය සතු ව පැවති ආහාර නිෂ්පාදනය, පාලනය, මෙහෙයවීම හා තීරණ ගැනීමේ බලය ක්රමයෙන් වෙළෙඳ පොල මත තීරණය වීමට හැකි වන පරිදි ප්‍රතිව්‍යූහගත කිරීම් සිදුකෙරිණි. ඉඩම්, බීජ, ජලය සම්බන්ධයෙන් ගොවීන්ට තිබූ අයිතිය ඔවුන්ගෙන් උදුරා ගෙන ඇති අතර නිෂ්පාදන වියදම අධික වීමත් සමග ගොවිතැන පාඩු ලබන දෙයක් බවට පත් ව ඇත. වෙළෙඳ පොල තුල තම නිෂ්පාදන සම්බන්ධයෙන් තීරණ ගැනීමට කිසිදු ඉඩක් ලබා දී නොමැත. මහා පරිමාණ වගාවන්වලට වනාන්තර එළි කිරීම හේතුවෙන් වන සතුන්ට ඔවුන්ගේ වාසස්ථාන අහිමි වෙමින්, ඔවුන්ගේ ආහාර පද්ධතිය සම්පුර්ණයෙන් බිද වැටීම හේතුවෙන් වන සතුන් හා මිනිස් ගැටුම උච්චතම තත්වයකට පැමිණ ඇත.

බීජ, ඉඩම්, ජලයෙහි පාලනය ජනතාවගෙන්  සම්පුර්ණයෙන් ගිලිහී සමාගම් අතට පත්  විමත් සමග ඉඩම් වල වගා කරන්නේ කුමන ආකාරයේ වගාවක් ද , යොදා ගන්නේ මොන බීජ ද, යොදන්නේ මොන පොහොර ද, නිෂ්පාදනය සදහා මිල තීන්දු කරන්නේ ද ඔවුන්   විසිනි.  කුඩා පරිමාණ ඉඩම් හිමි ගොවීන් පත්ව ඇත්තේ මෙකි  සමාගම්වල අතකොළු බවටය. කිරි ගොවීන්ට ඔවුන්ගේ තෘණ භූමි අහිමි කරමින් , ඔවුන් සම්ප්රදායික නිෂ්පාදන ක්රියාවලියෙන් බැහැර කරමින් සිටී. දැවැන්ත  සංවර්ධන ව්යාපෘති මගින් ,ජල පද්ධතිය දූෂණයට ලක් වීම හේතුවෙන් ධීවර ප්‍රජා වන්ට ඔවුන්ගේ ජීවිකාව අහිමිකරමින් තිබේ.

ලංකාවේ වැවිලි ආර්ථිකයේ  ප්‍රධාන දායකත්වයක් දක්වන වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් ඉහල නැංවීමට හෝ අවම ලෙස ආහාරයට ඇති අයිතිය තහවුරු කිරීමට, තමන්ගේ ආහාර අවශ්යතාව සපුරා ගැනීමට, ගෙවත්තක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉඩ ලබා දීමට හෝ ඉඩමක අයිතිය ලබා දීමට  ජනතා  වතු සංවර්ධන  මණ්ඩලය හා වැවිලි සමාගම් විසින් සිය වගකීම් පැහැර හැර ඇත්තේ  ඉතාමත් ශෝචනීය ලෙසය.

සාගින්න සහ මන්දපෝෂණය තවමත් අභියෝගයක්

ලංකාව මුහුණ දුන් කෝවිඩ් ව්‍යසනයත්,  ආර්ථික අර්බුදයත් සමග පැන නැගුනු ප්‍රධානතම අභියෝගය වූයේ ආහාර නිෂ්පාදනය, බෙදා හැරීම හා වෙළෙඳපලේ   දැවැන්ත කඩා වැටීමය. එමෙන්ම දිනෙන් දින ඉහල ගිය බඩු මිල මේ කඩා වැටීමේ ප්රතිපලයකි .එසේ වීමට මුලික හේතුව කුමක් ද? සමස්ත කෘෂිකර්මාන්තය ආනයනය මත පදනම් වීමය. කෘෂි රසායන, පොහොර, කෘෂි උපකරණ, මෙන් ම බීජ වලින් වැඩි ප්රමාණයක් ආනයන කරනු ලැබීමය.

ආහාර පාන වලින් 60% ආනයනය කිරීමය. එසේ වන්නේ රටේ මුළු ඉඩම් ප්රමාණයෙන් 45% කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවෙන, ජනගහනයෙන් 30% ක් කෘෂිකර්මය ආශ්‍රීත රැකියාවල නිතර වන, කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය සඳහා යෝග්ය ම පරිසර තත්වයන් හා ස්වාභාවික සම්පත්වලින් හෙබි, අතීතයේ පටන් ම කෘෂිකාර්මික රටක් යැයි සැලකෙන ශ්‍රී ලංකාවේ ද සාගින්න, මන්දපෝෂණය හා ගොවීන්ගේ දුප්පත්කම තාමත් ජය ගත නො හැකි වූ අභියෝගයකි.

2022 දත්ත අනුව ලංකාවේ පවුල් මිලියන 3.5 ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර එයින් 50% කට වඩා වැඩි පිරිසක් මලෛයහ ජනයාය. කාන්තාවගෙන් 30%ක් රක්තභීනතාවයෙනුත්, අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් 15% ක් අඩු බරිනුත් පීඩා විදින්නේ .  නිසි පරිදි පෝෂ්යදායී ආහාර නො ලැබීම නිසාය.

ආහාර  බොහොමයක් කෘෂි රසායන හා වස විෂ  වලින් යුක්තය. ලොව වැඩියෙන් ම කෘෂි රසායන භාවිතා කරන රටක් බවට ලංකාව පත් කර තිබේ. ළමයින් ඇතුළුව රටේ ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව වැනි  බෝනොවන රෝගවලට ගොදුරු බවට පත් වීමට මේ තත්වයන් බලපෑම් කරයි.

ජනතාවාදී ආණ්ඩු හා සමාජ ව්‍යාපාර එක්ව  ගෝලීය ආහාර දාමයේ ඒකාධිකාරිත්වය බිඳිමින්, නව ගෝලීය ප්‍රවේශයක්  වෙත ගමන් කරමින් සිටී. ආහාර පද්ධතිය වෙනස් කිරීමට අවශ්ය නව දේශපාලනික ක්රියාමාර්ග තේරීම අත්හළ නොහැකි වගකීමකි. මහ පොළොව සුවපත් කරමින්, සැමට දායක විය හැකි ආහාර පද්ධතියක් සඳහා වූ  ග්රාමීය වැඩ පිළිවෙළක් ගොඩනැගීමට මැදිහත් වීම වැදගත්ය. ඒ සඳහා සහයෝගිතා ආර්ථික මොඩලයක්  හරහා පරිසර පද්ධතීන් ආරක්ෂා කරමින් , සමූපකාර ගොඩනගමින්, ජනතාවට හිතකර මූල්‍ය ක්‍රම ගොඩනගමින්, සොබා දහමේ  පුනර්ජනනීය හැකියාව ගොඩනගන ක්‍රියාදාමයක් ගොඩනැගීමට වහා මැදිහත් විය යුතු ය.

එබැවින්  ලෝක ආහාර දිනය වෙනුවෙන් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය [MONLAR] ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රටවල් 102 දායකත්වයෙන් ආහාර ස්වෛරීභාවය ගොඩනැගීම සඳහා වූ  03 වන `නියෙලෙනී` ගෝලීය සමුලුවෙන් අනතුරුව නිකුත් කල `නුවර ප්‍රකාශනය` හා ග්රාමීය ගොවීන්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන් ගේ  ප්‍රකාශනය (UNDROP)  අනුව සමස්ත ආහාර පද්ධතිය වෙනස් කිරීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ය.

| ඉෂංඛා  සිංහආරච්චි
| ඉෂංඛා  සිංහආරච්චි

 

Leave A Comment