ඩිට්වා සුළි කුණාටුවෙන් පසු හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම කටයුතු යළි ඇරඹෙයි

මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ (Cyclone Ditwah) සුළි කුණාටුව හේතුවෙන් හටගත් දැඩි ගංවතුර තත්ත්වය නිසා අඩාල වී තිබූ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම කටයුතු, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගය ඇතිව සිදුකළ හදිසි ප්‍රතිසංස්කරණවලින් පසු යළි ආරම්භ කර ඇත.

ඩිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසකට දැඩි හානි සිදු වූ අතර, හලාවත රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරය ද ඉන් දැඩි ලෙස පීඩාවට පත් විය. ගංවතුර හේතුවෙන් ශල්‍යාගාරයේ බිත්ති ආවරණ පුවරු (wall cladding panels), දොරවල් සහ අභ්‍යන්තර ව්‍යුහයන්ට හානි සිදු වූ අතර, එමඟින් ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය විෂබීජහරණය කළ වටපිටාවබිඳ වැටුණි. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය මාතෘ හා නවජන්ම සත්කාර ඇතුළු ජීවිතාරක්ෂක ශල්‍යකර්ම සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා විය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි, UNFPA ආයතනය ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව වහාම මෙයට මැදිහත් විය. 2025 දෙසැම්බර් මස සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසු, සති තුනකටත් අඩු කාලයකදී, සියලු ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට හැකි විය. මෙහිදී ශල්‍යාගාරයේ බිත්ති පුවරු ප්‍රතිස්ථාපනය කිරීම, දොරවල්, අගුල් සහ බිම සවි කිරීම් අලුත්වැඩියා කිරීම මෙන්ම වීදුරු සහ නවීන පුවරු යොදා ගනිමින් අභ්‍යන්තර කුටි නවීකරණය කිරීම සිදු විය.

හලාවත රෝහල මසකට ගර්භණී කාන්තාවන් 500කට පමණ ප්‍රතිකාර ලබා දෙන ප්‍රධාන මධ්‍යස්ථානයක් වන අතර, ගංවතුර පැවති අවස්ථාවේ පවා 150කට අධික නේවාසික රෝගීන් පිරිසක් රෝහලේ සිටියහ. ශල්‍යාගාරය යළි විවෘත කිරීම තුළින් මව්වරුන්ගේ සහ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට සහ ප්‍රමාදයකින් තොරව සේවාවන් සැපයීමට දැන් අවස්ථාව උදා වී ඇත.

තම රෝහලට අවශ්‍ය වූ තීරණාත්මක මොහොතක UNFPA ආයතනය දැක්වූ කඩිනම් සහයෝගය පිළිබඳව වෛද්‍ය සුමිත් අත්තනායක මහතා සිය කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාව ආපදා තත්ත්වයන්ගෙන් යථා තත්ත්වයට පත්වන මෙම අවධියේදී, කාන්තාවන්ගේ සහ දැරියන්ගේ සෞඛ්‍ය හා ගෞරවය ආරක්ෂා කිරීමට UNFPA තවදුරටත් කැපවී සිටි.

| ඉරෝෂා දීපානි

 

Leave A Comment