මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් සේවකයකුට කළ අමානුෂික වැඩක්
- මොබිටෙල් ආයතනයේ ප්‍රධානීන් එකතු වී සේවකයෙකු කාර්යාලයේ සිරකර ගෙන ජංගම දුරකථන සහ ලැප්ටොප් බලහත්කාරයෙන් අත්පත් කරගනී.
- මහ රෑ මැරයන් සමග නිවසට ගොස් ජාතික රූපවාහිනියේ සේවයේ නියුතු බිරිඳගේ දුරකථනයත් බලෙන් රැගෙන ගිහින්.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රාජ්‍ය සතු දුරකථන සේවා සපයන්නෙකු වන මොබිටෙල් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය විසින් බලය අනිසි ලෙස භාවිත කරමින්, සේවකයෙකුගේ නිවසට කඩා වැදී ඔහුගේ බිරිඳ සතු ජංගම දුරකථනය සහ සේවකයාගේ පෞද්ගලික උපකරණ බලහත්කාරයෙන් ලබා ගැනීමේ පුවතක් වාර්තා වේ.
කිසිදු අධිකරණ වරෙන්තුවක් හෝ නීතිමය අවසරයකින් තොරව සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් වෘත්තීයවේදීන් සහ මාධ්‍ය ප්‍රජාව අතර දැඩි කැළඹීමක් හටගෙන තිබේ.
මෙලෙස බලහත්කාරයෙන් අත්පත් කරගත් ජංගම දුරකථනයේ හිමිකාරිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවයේ නියුතු වීම මෙම සිදුවීමේ බැරෑරුම්කම වැඩිකරයි. මොබිටෙල් සමාගමේ රහස් තොරතුරු එහි ඇතැයි පවසමින් අදාළ දුරකථනය ලබාගෙන පසුව එය තෙවන පාර්ශ්වීය පෞද්ගලික ආයතනයකට දත්ත පරීක්ෂාව සඳහා යොමු කර ඇති අතර, එහිදී කිසිදු ආයතනික තොරතුරක් එම සේවකයාගේ පරිගණකය තුළ හෝ දුරකථනයේ නොමැති බව තහවුරු වී ඇත.
මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ මානව සම්පත් අංශයේ ප්‍රධානියාගේ මෙහෙයවීම මත මෙම සේවකයා පැය දහයකට අධික කාලයක් කාමරයක සිරකර තබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. ඔහු සතු පෞද්ගලික ලැප්ටොප් පරිගණකය ද අත්පත් කරගෙන ඇති අතර, ආයතනයේ සභාපතිවරයා වෙත පෙත්සමක් යොමු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ලෙස මේ ආකාරයට අනීතිකව එම කටයුත්ත සිදු කර තිබේ.
කෙසේ වෙතත් එම පරීක්ෂණවලින් ද අදාළ සේවකයා නිවැරදිකරු බව තහවුරු වී තිබේ.
මෙම සිදුවීමෙන් පසු ඇති වූ දැඩි මානසික සහ ශාරීරික ආතතිය හේතුවෙන් අදාළ මොබිටෙල් සේවකයා මේ වන විට රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අතුරුගිරිය පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ ද, මෙතෙක් වගකිවයුත්තන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට චෝදනා එල්ල වේ.
මේ අතර, රෝහල් ගතව සිටින සේවකයාගේ සුවදුක් බැලීමට පැමිණි මොබිටෙල් ආයතනයේ සභාපතිවරයා, මෙම මුළු සිදුවීම සම්බන්ධයෙන් වහාම ඉහළ මට්ටමේ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නියෝග කර ඇත.
රාජ්‍ය අනුබද්ධිත ආයතනයක නිලධාරීන් විසින් මාධ්‍ය නිදහස සහ පුරවැසි අයිතිවාසිකම් මෙලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් සිවිල් සංවිධාන සිය විරෝධය පළ කර තිබේ.
(https://theleader.lk/news/38726-2026-02-05-03-44-54)

