ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත ආදායම වාර්තා කරයි

වත්මන් නිවැරදි නායකත්වය, නිසි කලමණාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කර ගැනීම තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 1688 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත.

එමෙන්ම මසක් තුළ ඉැපැයූ වැඩිම මාසික අලෙවි ආදායම ලෙස රුපියල් මිලියන 205 ක් ද උපයා ගැනීමට ද පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී  එම සංස්ථාවට හැකි වී ඇත.

මෙම කරුණූ අනාවරණ වුයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නව නිෂ්පාදන 07 ක් හඳුන්වාදීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංස්ථා පරිශ්‍රයේ පැවැති උත්සවයේ දී ය.

මෙම අවස්ථාවට සමගාමීව අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ නිෂ්පාදන අංශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම අලෙවි ආදායම් ප්‍රගතියට සමගාමීව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පසුගිය වර්ෂය තුළ දී මෙවැනි සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට මූලික වූ කරුණු අතර, අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය ලබාදුන් උපදේශකත්වය මෙන්ම නිසි සැලසුමකට අනුව කටයුතු කර ගෙන යාමට ලබාදුන් අවස්ථාව බෙහෙවින් ඉවහල් වූ බව සංස්ථාවේ සභාපතිනී ගීතාමනී සී කරුණාරත්න මහත්මිය මෙහිදී සඳහන් කළා ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිනිය නිකවැරටිය, දංගොල්ල, මැදවච්චිය යන ප්‍රදේශවල – දංගොල්ල, මැදවච්චිය සංස්ථාව සතු ඔසු උයන් වල කෙටි කාලීන, මධ්‍ය කාලීන  දිගු කාලීන නව ඔසු බෝග වගා කටයුතු සිදු කිරීමට ද  අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා ඒකාබද්ධව “ඔසු දිරිය” වගා වැඩසටහන යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් කඳවුර, පදවිය සිවිල් ආරක්ෂක බළකා කඳවුර, රඹෑව සිවිල් ආරක්ෂක බලකා කඳවුර යන ස්ථානවල වගා ව්‍යාපෘති ද ආරම්භ කිරීමට ද  සංස්ථාව කටයුතු කර ඇති බව ද පැවැසුවා ය.

Leave A Comment