ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් බඳවා ගැනේ

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය  ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (18) දින නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වීණි.

ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා  පසුගිය ජුනි මාසයේ නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනූව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට  යොමුකර ඊට අඳාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කල  36 දෙනෙකු සදහා මෙම පත්වීම් ලිපි ලබා දීමට පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සඳහා නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ලෙස ගොඩනැගීමට රජය සැලසුම්කර ඇති බවත්, ඒ අනූව එම දෙපාර්තුමේන්තුවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට පියවර ගෙන ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය මෙහි දී පැවසුවාය.

මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව වසර 200 කට අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරිය තැපෑල සංවර්ධනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රවර්ධනයට ද රුකුලක්  ලැබෙන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම තනතුර සදහා සුදුස්සන් තෝරා ගැනීමේ දී කිසිදු දේශපාලන තත්ත්වයක් නොසැලකූ බවත්, සුදුස්සාට සුදුසුතැන ලබා දීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය.

මේ වන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ  තැපැල් රියදුරු මහතුන් 129 කට ආසන්න ප්‍රමාණයක්  සේවය කරනු ලබන අතර පසුගිය වර්ෂ කිහිපය තුළ එම දෙපාර්තුමේන්තුවේ  කිසිදු තනතුරකට බදවා ගැනීම් සිදුකිරීමට පැවති රජයන් පියවර ගෙන නොමැති අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම දෙපාර්තුමේන්තුවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට විශේෂ  වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. එම විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම පත්වීම් ලබා දීමට පියවර ගන්නා ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්වන එන්.ඒ.කේ.ඒ. විජේනායක, දීපා ලියනගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පති රුවන් සත් කුමාර, නියෝජ්‍ය තැපැල්පතිවරුන් වන ප්‍රේමචන්ද්‍ර හේරත්, තුසිත හුලංගමුව, චමීෂා ද සිල්වා යන මහත්ම මහත්මීන් ද, එම දෙපාර්තුමේන්තුවේ කාර්යමණ්ඩලයේ පිරිසක් මෙන්ම  වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.

Leave A Comment