2026 අයවැය කොහොමද ? මේ ගැන විද්වතුන් කියන්නේ කුමක් ද ?
- Sujeewa Senerath
- November 18, 2025
- CNL සතියේ ව්‍යාපාරික විවරණය
- akd, budget, president-akd
- 0 Comments
කඩුල්ල රැක ගන්න නම් ආණ්ඩුව ඉවසීමකින් සහ මනා විනයකින් කටයුතු කළ යුතුයි – චාරුක පීරිස්, පර්යේෂණ නිලධාරී, ‘අරුත’ සංවිධානය
2026 අයවැය ලේඛනය සම්බන්ධයෙන් යම් විචාරයක් කිරීමට පෙර ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගත යුතුය. ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් සිය දෙවැනි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ ආර්ථික අර්බුදයෙන් පසුව ගත වන තෙවැනි වර්ෂයේ දී වන අතර ආර්ථික අර්බුදයෙන් පසු ඉදිරිපත් කරන තෙවැනි අයවැය මෙය වේ.
ගාල්ලේ ටෙස්ට් තරඟයක්
මෙය පහසුවෙන් වටහා ගත හැකි උදාහරණයක් වන්නේ ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයක සිවු වැනි දිනයටය. තණතීරුව අවිනිශ්චිත අතර පන්දුව කුමන අතට දෝලනය වේදැයි කීමට ද නොහැකිය. මෙවැනි තණතීරුවක පන්දුවට පහර දීමට නම් මනා විනයක් මෙන්ම ඉවසීමක් ද අවශ්‍ය වේ. ඉවසීමෙන් හා මනා විනයක් සහිතව පන්දුවට පහර දෙන විට ප්‍රේක්ෂකයින්ට මෙම තරඟය කම්මැලි එකක් වීමට ඉඩ ඇත. නමුත් කළ යුතු දෙයක් නැත. පන්දුවට පහර දිය යුතු හොඳම සහ ආරක්ෂිතම ක්‍රමය මෙයයි.

කතිකාවට ආරම්භක ප්‍රවේශය ගමින් ‘අරුත’ සංවිධානයේ පර්යේෂණ නිලාධාරී චාරුක පීරිස් සඳහන් කළේ වත්මන් අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගන්නා ලද කොන්දේසිවලට අනුගත වෙමින් සකස් කළ එකක් බව ඉතාම පැහැදිලි බවයි.
මේ සම්බන්ධ තම ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් චාරුක මෙසේ ද සඳහන් කළේය., “මේක තමයි වත්මන් අයවැය ගැන මට දෙන්න පුළුවන් හොඳම පූර්විකාව. අපි තවමත් ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇතිකර ගත් එකඟතා තුළ. මේ එකඟතා අනුව සෑම වර්ෂයකම රටක් ලෙස අප අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු මූල්‍ය අරමුණු කිහිපයක් තිබෙනවා. ඒ අනුව තමන්ට ලබාදී ඇති පිස්කල් ඉලක්කවලට යන්න මේ අයවැය උත්සාහා කරනවා කියන කාරණය අපට බැලූ බැල්මට පේන්න තිබෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමා ඔහුගේ අයවැය කතාව ඉදිරිපත් කරද්දිත් අපි දැක්කා ජනාධිපතිතුමා සංඛ්‍යාවලට ලොකු බරක් තබමින් කතාව කර ගෙන යනවා”.
සුවිශේෂී ලක්ෂණ
තමා වත්මන් අයවැය තුළ සුවිශේෂ ලක්ෂණ කිහිපයක් දකින බව සඳහන් කළ චාරුක ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළේය, “රට තුළ හොඳ බදු පරිපාලනයක් ඇති කිරීම වසර කිහිපයක් පුරා අපට අවශ්‍ය වෙලා තිබුණා. ඒ අවශ්‍යතාවට අදාළ මූලික අඩිතාලම 2022න් පස්සේ අපි ගත්තා. ඒ ගත්ත අඩිතාලම තව පියවර කිහිපයක් ඉදිරියට ඇවිල්ලා බදු පරිපාලනය උපරිම තලයකට ගෙන එන්න මෙවර අයවැයෙන් උත්සාහා කරන බවක් අප පේන්න තියෙනවා. විශේෂයෙන් බදු පරිපාලනය ගැන සාකච්ඡා කරන විට අපි නිරන්තරයෙන් කතා කළ දෙයක් තමයි දේශීය ආදයම් දෙපාර්තමේන්තුවට තිබෙන ප්‍රශ්න ආදිය, ඒකේ ධාරිතාව වර්ධනය කරන්නේ කොහොමද ?, ඒ තුළින් ලංකාවේ බදු දැළ ප්‍රසාරණය කරන්නේ කොහොමද, කියන කාරණය”.
මෙහිදී චාරුක පෙන්වා දුන්නේ ලංකාවේ බදු අනුපාතය තුළ වක්‍ර බදු වලට ඉහළ ප්‍රතිශතයක් සහ ඍජු බදුවලට අඩු ප්‍රතිශතයක් හිමිවන බවයි. මෙහි අනුපාතය වෙනස් විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
“මෙකී වෙනස සඳහා අවශ්‍ය මූලික අඩිතාලම මේ අයවැයෙන් අරගෙන තිබෙනවා” චාරුක සඳහන් කළේය.
දේශීය ආදායම් දෙපාර්මේන්තුව තුළ විසිරි කටයුතු කරන ආයතන එක් කිරීමට සහ අදාළ මෘදුකාංග යාවත්කාලීන කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙවර අයවැයෙන් වෙන්කර ඇති බව පෙන්වා දුන් චාරුක රජය තවත් එවැකි පියවර රැසක් ගෙන ඇති බව ද පෙන්වා දුන්නේය.
“ලංකාවේ වසර ගණනාවක් පුරා විකෘති පැරා තීරු බදු විශාල ප්‍රමාණයක් තිබුණා. නමුත් පියවර කිහිපයක් ඔස්සේ මේවා ඉවත් කරන්න කටයුතු කරනවා කියනා කාරණය අයවැයේ සඳහන් වෙනවා” යැයි චාරුක මෙහිදී සඳහන් කළ අතර එවැනි පියවරක් ගැනීමේ වැදගත්කම ද ඔහු අගය කළේය.
රටක දිශානතිය
අයවැයක් යනු රටක් ගමන කරන දිශානතිය පෙන්නුම් කරන මාළිමාවක් බව කී චාරුක මෙවර අයවැයෙන් බදු පරිපාලන අරමුණු ඉටුකර ගැනීමට පසුගිය වර්ෂවල ගෙන තිබූ පියවර ඉදිරියට ගෙනවිත් තිබෙන බව ද සඳහන් කළේය.
“බැලූ බැල්මට මෙවැනි පියවර ගැනීම ඉතාම සතුටුදායකයි” ඔහු කීවේය.
රටේ ආර්ථික වර්ධන වේගය 7% දක්වා ඉහළ නංවා ගැනීමේ අපේක්ෂාවක් ජනධිපතිවරයාට තිබෙන බව අයවැය කතාවේදී ඔහු හෙළි කළ බව කී චාරුක, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.3%ක සිට 20% දක්වා ඉහළ නංවා ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවත් චාරුක සිහිපත් කළේය.
මේ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ පැහැදිලි කළ චාරුක වැඩි දුරටත් කියා සිටියේ මේ ආකාරයෙන් සංඛ්‍යා ලේඛන මත කටයුතු කිරීම වැදගත් කරුණක් බවයි.
“ඇත්තටම පර්යේෂකයින් ලෙස අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලකුණු ලබාදිය යුතුයි” ඔහු කීවේය.
නිශේධනාත්මක කාරණා
2026 අයවැය ලේඛනය තුළ නිශේධනාත්මක කරුණු කිහිපයක් තමාට නිරීක්ෂණය වූ බව පෙන්වා දුන් චාරුක පීරිස්, වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ දී රජය විසින් දෛනිකව රුපියල් 200ක් අදාළ කම්කරු වැටුපට ලබාදීමට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව අභියෝගයට ලක් කළේය.
“මෙහිදී අපට ප්‍රධාන වශයෙන් ඇතිවන ප්රශ්නය තමයි, ඇයි රජය වතු හාම්පතුන්ට මේ ආකාරයේ සහනාධාරයක් ලබා දෙන්නේ ?, වතුකම්කරුවෙකුට දෛනික වැටුපට එකතු කරන මේ රුපියල් 200ත් ලබාදීමට සිදුවෙන්නේ මේ රටේ ජනතාව ගෙවන බදු වලින්. අපි මේ ගැන ඒතරම් සතුටු වෙන්නේ නැහැ. වක්‍රකාරයෙන් නැවත මේ මුදල ගෙවීමට සිදුවෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට. ආයතනයක් ලෙස අපි විශ්වාස කරන ආකාරයට මේ සම්පූර්ණ වැටුප, රුපියල් 1750ක වැටුප සම්පූර්ණයෙන්ම ගෙවිය යුතු වන්නේ අදාළ වතු සමාගම විසින්නුයි. ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම පමණයි රජය විසින් කළ කළ යුත්තේ” වතුකම්කරු වැටුප ස්මබන්ධයෙන් නිර්මාණය වී ඇති අලුත්ම ප්රශ්නය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් චාරුක පැවසුවේය.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රති ව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනා ප්‍රශ්න කළ චාරුක, මේ යෝජනා අලුත් ඒවා නොවන බවත්, විශේෂයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම සම්බන්ධ ප්රශ්නය වඩාත් අවදානම් බවත් කීවේය.
රාජ්‍ය සේවය යළි පුළුල් කිරීම
පසුගිය අයවැය ලේඛනනේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට රජය රුපියල් බිලියන 110ක් වැය කළ අතර 2026 අයවැය ලේඛනය මගින් ද රුපියල් බිලියන 110ක් වෙන් කර ඇත. මෙහි අවසන් පියවර 2027 දී සිදුවන අතර එම වසරේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 110ක් වැය කිරීමට සිදුවනු ඇත. ඒ අනුව සමස්තයක් ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ සමස්ත බිලි රුපියල් බිලියන 330ක් බවට පත්වනු ඇත.
පසුගිය ජනධිපතිවරණට පෙර ජාතික ජන බලවේගය විසින් රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාම රාජ්‍ය සේවයට බඳවා ගන්නා බවට පොරොන්දුවක් ලබා දුන් බව සිහිපත් කළ චාරුක, ඒ පොරොන්දුව සහ අයවැය කතාවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශ අතර පැහැදිලි වෙනස්කම් පවතින බව පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් චැරුක පීරිස් මෙසේ ද සඳහන් කෙළ්ය, “අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියනවා, තොග පිටින් ගන්නේ නැහැ, විභාගයකට මුහුණ දීලා රාජ්‍ය සේවයට එකතු වෙන්න’ කියලා. අපි මේ කතාවට එකඟයි, ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතැන දී ගැටලුව නිර්මාණය වෙන්නේ ජාතික ජන බලවේගයට එරෙහිව ජාතික ජන බලවේගය තුළින්ම තමයි. මොකද ඔවුන් විසින් ඉතාම පැහැදිලිව රැකියා විරහිත උපාධිධාරීන්ට ලබා දුන් පොරොන්දුවක් තිබෙනවා. මේක හුදු වාචික පොරොන්දුවක් නොවෙයි, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේම තියෙන පොරොන්දුවක්”.
වාහන ගෙන්වීම
අලුත් පිකප් රථ 1775ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය ප්‍රශ්න කළ චාරුක, මෙය පසුගිය අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශට සපුරා පටහැනි බව සිහිපත් කළේය. වාහන ආනයනය කිරීම ගැටලුවක් නොවන නමුත් එම ක්‍රියාවලියේ ගැටලු පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
“මේ වාහන ආනයනය කිරීමට නියම ටෙන්ඩර් එකේ ගැටලුක් තිබෙනවා. නියමිත ක්‍රියාපටිපාටි නොතකා හරිමින් මේ ආකාරයෙන් වාහන ආනයනය කරන්න තියෙන හදිසිය මොකක් ද ? ” චාරුක ප්‍රශ්න කළේය.
මෙහිදී බදු සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ චාරුක ඩිජිටල් සේවාවන්ට අදාළ බද්ද 2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත්, තවත් බදු කිහිපයක් 2026 දී ක්‍රියාත්මක වනු ඇති බවත් කීවේය.
“අලුත් බදු පැනෙව්වේ නැහැ කිව්වට විවිධාකාරයෙන් වෙනස් කළ අලුත් බදු කිහිපයක් 2026 දී ක්‍රියාත්මක වීමට නියමිතයි” 2026 අයවැය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ චාරුක පීරිස් සඳහන් කළේය.

අයවැය දිශානතියේ බරපතළ ගැටලුවක් තිබෙනවා – මහාචාර්ය රොහාන් සමරජීව
රටේ පවතින ස්ථායිභාවයට 2026 අයවැය ලේඛනය මඟින් අනතුරක් නොවන බව පෙනේ. එයින් අදහස් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා පමණක් නොව මෙරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මඟින් රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට නොඅඩු විය යුතු බවට සීමා පනවා ඇති අතර රාජ්‍ය ආදායම අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.3%ක් විය යුතුය. එසේම ප්‍රාථමික ගිනුමේ අතිරිත්තය 2.3%ක් විය යුතුය. 2026 අයවැයෙන් මෙම නිර්ණායක ඉටුකළ හැකි බව පැහැදිලිව දැකගත හැකිය.
ගෝඨා ගිය පාරේ යන්නේ නෑ
2026 අයවැය ලේඛනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දුන්නේ මෙම අයවැය හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගන්නා ලද එකඟතා කිසිම ආකාරයකින් අභියෝගයට ලක් නොවන බවයි.
“රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අහෝසි කිරීම හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වීම වැනි කාරණා ගැන මේ අයවැය ලේඛනයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ කළා වාගේ අතිධාවනකාරී ආකාරයෙන් බදු අඩු කිරීමකුත් සිදුවෙන්නේ නැහැ” මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය.
දිශානතිය ගැටලුවක්
2026 අයවැයේ දිශානතිය සම්බන්ධයෙන් තමාට ‘ලොකු ගැටලුවක්’ තිබෙන බව මහාචාර්ය සමරජීව කීවේය. 7%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට සියලු දෙනාම කැමැති බව කී මහාචාර්යවරයා එය ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ට ද ඉතා වැදගත් ජයග්‍රහණයක් වනු ඇතැයි ද සඳහන් කළේය.
“දළ දේශීය නිෂ්පාදිතයෙන් විශාල මුදලක් ඉතිරි වෙනවා නම් ආණ්ඩුවට ලොකුවට වැඩ කරන්න පුළුවන්” යැයි කී මහාචාර්ය සමරජීව වත්මන් අයවැය දිශානතිය අනුව 7%ක ආර්ථික වර්ධනයක් ලබා ගත නොහැකි බව පෙන්වා දුන්නේය.
“ජනාධිපතිවරයා අපේක්ෂා කරන ආකාරයට 7%ක ආර්ථික වර්ධනයක් ලබා ගන්න නොහැකි වීමට හේතු කිහිපයක් තිබෙනවා. මේ අයවැයේ ඉතාම පැහැදිලිව, කෙළින්ම සඳහන් කරලා තිබෙන ආකාරයට ‘අපේ ගැළවීමේ මාර්ගය අපනයන ආදායම ඉහළ නංවා ගැනීම’යි. මේකට විශාල බාධාවක් වෙලා තිබෙන්නේ පැරා බදුයි” කී මහාචාර්යවරයා පැරා බදු යනු කුමක්දැයි මෙහි දී දීර්ඝ ලෙස පැහැදිලි කළේය. “තීරු බදු කියලා ජාතියක් තිබෙනවා. අපි තීරු බදු වලට අමතරව Port and Airport Levy (PAL) කියලා බද්දක් අය කරනවා. මේකට වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද කියලා කියනවා. මේ බද්දේ තියෙන නරකම දේ තමයි වරායක් හෝ ගුවන් තොටුපොළක් හරහා එන හැම දේකටම මේ බද්ද ගහනවා. උදාහරණයක් විදිහට අපේ ඇඟළුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන විටත් මේ බද්ද ගහනවා. මේ හරහා ඇඟළුම්වල නිෂ්පාදන වියදම ඉහළ යන අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අපේ තරඟකාරීත්වයට එයින් විශාල බලපෑමක් වෙනවා. මේ බද්ද අපි නිතර නිතර කතා කරන අපනයනාභිමුඛ සියලුම කර්මාන්තවලට ඍජුව බලපානවා. කොහොම වෙතත් ජනාධිපතිවරයා අයවැය කතාවේ දී කියනවා, ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා මේ වරයා හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද ඉවත් කරනවා කියලා. නමුත් ඒක කරන්නේ කොහොමද කියලා පැහැදිලි දින වකවානුවක් නැහැ, කාල රාමුවක් නැහැ. කොටින්ම ‘මොකුත් නැහැ. ඒත් පසුගිය වසරේ (Port and Airport Levy (PAL) අපි පසුගිය කාලේ රුපියල් බිලියන 177ක් අයකර ගෙන තිබෙනවා.”.
භයානක තත්ත්වයක්
මේ අතර වත්මන් අයවැය ලේඛනයේ දැකගත හැකි තවත් භයානක තත්ත්වයක් ද තිබෙන බව මහාචාර්වරයා කීවේය. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ කතාව අර්බුදයේ මුදුනත පමණක් බවත් මෙය අයිස්බර්ග් එකක් ලෙස සැලකිය යුතු බවත්ය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය සමරජීව මෙසේ ද සඳහන් කළේය, “ජනාධිපතිවරයාගේ කතාව මේ අයිස්බර්ග් එකේ ඇසට පේන කුඩා කොටස පමණයි. ඒක යට ඉතා විශාල කොටසක් තිබෙනවා. අයවැය සම්බන්ධයෙන් ගත් විට ජනාධිපතිවරයාගේ කතාව යට විසර්ජන පනත සහ අයවැය ඇස්තමේන්තු ලියලා ලියවිල්ලක්. මේ දෙක එකට කියවිය යුතුයි. මේක කියවන කොට අපට පේනවා (ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා) PAL එකෙන් පසුගිය වසරේ රුපියල් බිලියන 177ක් උපයා ගත් ආකාරයට 2026 දී රුපියල් බිලියන 190ක් අයකර ගන්න. 2027 දී රුපියල් බිලියන 205කුත් 2028 දී රුපියල් බිලියන 225කුත් උපයා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් පේන්නේ වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, PAL එක ඉවත් කරන්න ආණ්ඩුවට කිසිම සූදානමක් නැහැ”.
වාරය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්දට අමතර ආනයන සේස් බද්දක් / Import Cess කියලා එකක් තිබෙන බවක්, ආනයනය කරන සෑම භාණ්ඩයකින්ම මෙම බද්ද අය කරන බවත් මහාචාර්ය සමරජීව කීවේය.
මෙම බද්ද හේතුවෙන් සිදුවන අහිතකර ප්‍රතිවිපාක පෙන්වා දුන් මහාචාර්ය සමරජීව, “මේ බද්දෙන් වාර්ෂිකව රුපියල් බිලියන 88කට ආසන්න මුදලක් අයකර ගන්නවා. නමුත් මේකත් අපනයනය අධෛර්යමත් කරන බද්දක්. මේක අහෝසි කරන්නේ හෝ අඩු කරන්නේ නැහැ. ආණ්ඩුවේ ප්රක්ෂේපණය තමයි මේ බදු ආදායමත් අවුරුද්දෙන් අවුරුද්ද ඉහළ යනවා කියන එක. මුදල් අමාත්‍යාංශයට මේ බද්ද අඩු කිරීමේ හෝ අහෝසි කිරීමේ කිසිම සූදානමක් නැහැ. නමුත් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එක එක කතා කියනවා, හැබැයි ඒවා පරස්පර විරෝධීයි”.
විශේෂ භාණ්ඩ හා සේවා බද්ද
මහ ජනතාවට විශාලම බරක් වී තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බද්ද (ආනයනික අල, ළුෑණු ආදිය සම්බන්ධයෙන් පනවන විශේෂ බද්ද) සම්බන්ධයෙන් ද මහාචාර්ය සමරජීව මෙහි දී සිය අදහස ඉදිරිපත් කළේය. බොහෝ විට වංචා සහ දූෂණ සිදුවන්නේ මෙම බද්ද සම්බන්ධයෙන් බව පැහැදිලි කළ ඔහු 2025 දී මෙම බද්දෙන් රුපියල් බිලියන 145ක් ලබා ගෙන ඇති බවත් 2026 දී රුපියල් බිලියන 150ක් සහ 2027 දී රුපියල් බිලියන 162ක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව ද මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය.
“මේ බද්ද කිසිම ආකාරයකින් අඩු කරන්න ආණ්ඩුවට කිසිම බලාපොරොත්තුවක් නැහැ“ මහාචාර්යවරයා අවධාරණය කළේය.
ප්‍රජා ශක්ති ව්‍යාපාරය
දේශපාලන ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි ප්‍රජා ශක්ති ව්‍යාපාරයට රුපියල් බිලියන 25ක් වැනි විශාල මුදලක් වෙන් කිරීම මහාචාර්ය සමරජීවගේ දැඩි විවේචනයට ලක්විය. ඔහු ඒ සඳහා හේතු පැහැදිලි කරමින් මෙසේ ද සඳහන් කළේය,“මේක අති දැවැන්ත මුදලක්. නමුත් ඉතාම කෙටි කාලයක් තුළ, වේගයෙන් මෙවැනි ව්‍යාපෘතිවලට මුදල් වෙන් කළාට පස්සේ ඒවා වියදම් කර ගන්න නොහැකි වන අතර අපතේ යාමක් සිදුවෙනවා. මේ දැවැන්ත මුදලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙනවද කියලා ඉදිරි අයවැය විවාද වල දී විපක්ෂය මේ ගැන ප්‍රශ්න කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා“
පළාත් සභා ඡන්දය
පසුගිය 2025 අයවැය ලේඛනයෙන් මැතිවරණ කොමිෂමට රුපියල් බිලියන 21ක් වෙන් කර තිබූ බවත් 2026 දී එය රුපියල් බිලියන 6.5ක් පමණක් බවත් සඳහන් කළ මහාචාර්ය සමරජීව 2026 දී පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් මෙම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද පෙන්වා දුන්නේය. “මම ජනාධිපතිතුමාගේ අයවැය කතාවේ මේ ගැන හෙව්වා. මට කිසිම දෙයක් හොයා ගන්න ලැබුණේ නැහැ. නමුත් ජනාධිපතිතුමාගේ අයවැය කතාවේ අවසානයට කිව්වා, ‘අපට ඔය එක එක විවේචන කරන්න එපා අපි රුපියල් බිලියන 10ක් වෙන් කරලා තියෙනවා’ කියලා. නමුත් අයවැයේ තියෙන්නේ රුපියල් බිලියන 6.5යි, මැතිවරණයක් පැවැත්වීම සඳහා තිබෙන්නේ රුපියල් බිලියන පහයි. 2026 දී පළාත් සභා මැතිවරණ පවත් වන්න නම් රුපියල් බිලියන 10ක්වත් තිබිය යුතුයි. නමුත් ඉතිරි බිලියන පහ අයවැය තුළ නම් කිසිම තැනක නැහැ”.
වාහන 1775ක් ආනයනය කිරීම
රජය වාහන 1775ක් ආනයනය කිරීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන 12.5 කිසිසේ මෙකී ආනයනය සඳහා ප්‍රමාණවත් නොවන බව ද මහාචාර්ය සමරජීව සඳහන් කළේය. මේ ආකාරයෙන් රජයට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිම විරුද්ධත්වයක් නැති බව කී මහාචාර්යවරයා එසේ වාහන ආනයනය කරනවාට වඩා කුලි පදනම යටතේ පෞද්ගලික අංශයෙන් අදාළ සේවාවන් ලබා ගැනීම වාසිදායක බව ද පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ ඉලක්ක යථාර්ථවාදී නැහැ – හර්ෂ ගුණසේන
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය 2026 ජාතික අයවැය කතාව ආරම්භ කරමින් කළ ප්‍රකාශය සමාජ මාධ්‍යවල සහ විපක්ෂ දේශපාලන වේදිකාවේ දැඩි විවේචනයට ලක්ව තිබේ. ‘ආර්ථික අර්බුදයෙන් පසු රට භාර ගත්තේ තමා’ ය වැනි හැඟීමක් ජනතාවට ලබාදීමට ජනාධිපතිවරයා උත්සාහා කළ බවට චෝදනා එල්ල වේ.
කතිකාවට එක් වෙමින් හිටපු වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන ද ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පැහැදිලිව සාවද්‍ය එකක් බවයි. ඔහු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් සිය අදහස තහවුරු කළේය.
ජනපතිවරයෙක් නොකළ යුතු ප්‍රකාශයක්
2024 හතර වන කාර්තුවේ දී 5.4ක ආර්ථික වර්ධනයක් සහ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වූ 2024 තුන්වන කාර්තුව අවසන් වන විට ප්‍රාථමික ගිනුමේ ශේෂය ඩොලර් මිලියන 799ක් තිබුණ බව හර්ෂ ගුණසේන පෙන්වා දුන්නේය.
“විශේෂයෙන් ජනාධිපතිවරයෙක් අයවැය කතාව වැනි ජාතික වශයෙන් ඉතාම වැදගත් කතාව දී මෙවැනි සාවද්‍ය ප්‍රකාශ කිරීම නින්දාවට කරුණක්” හර්ෂ ගුණසේන මහතා කතිකාවට ප්‍රවේශයක් ගනිමින් සඳහන් කළේය.
2019 දී පැවැති ආර්ථික තත්ත්වය නැවත අත්පත් කර ගැනීමට 2029 වන තෙක් දශකයක කාලයක් ගතවනු ඇතැයි මුලදී අපේක්ෂා කළ ද 2025 අවසාන වන විට 2019 දී පැවති ආර්ථික තත්ත්වය යළි අත්පත් කර ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශ ගැන තමන් ද ඇතුළු මුළු රටම සතුටු වන බව හර්ෂ පැවසුවේය.
පරස්පර ඉලක්ක
2026 දී සහ ඉදිරියේ දී 7%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සිහිපත් කළ හර්ෂ ගුණසේන ලෝක බැංකුව පසුගිය දා නිකුත් කළ වාර්තාවක ජනාධිපතිවරාගේ ඉලක්කයට අභියෝග කරන තොරතුරු ඇතුළත් වූ බව ද පෙන්වා දුන්නේය.
“ලෝක බැංකුව 2026 දී බලාපොරොත්තු වන ආර්ථික වර්ධන වේගය 3.5%ක් කියලා ඔවුන් පසුගිය දා නිකුත් කළ වාර්තාවක සඳහන් වුණා. ලංකාවේ දුප්පත්කම තව දුරටත් පවතින බව ලෝක බැංකුව කියනවා. ඔවුන්ට අනුව පුද්ගලික අංශය හවුල් කරගත් වැඩපිළිවෙළකට ආණ්ඩුව යා යුතුයි. ඒකට හේතුව ලෙස ලෝක බැංකුව දක්වන්නේ ප්‍රමාණවත් තරම් ආයෝජනය කිරීමට ආණ්ඩුවට මුදල් නොමැති බවයි.
ආණ්ඩුවේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය වන හෙයින් අදාළ මුදල්වල ඵලදායීතාවය වර්ධනය කර ගන්නා ලෙස ලෝක බැංකුව ආණ්ඩුවට උපදෙස් දී ඇති බව ද හර්ෂ ගුණසේන සඳහන් කළේය.
ජනාධිපතිවරයා 7%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම ඉලක්ක තබා තිබුණ ද එවැනි ඉලක්කයක් කරා යාමට ප්‍රමාණවත් වැඩපිළිවෙළක් 2026 අයවැය ලේඛනය තුළ අන්තර්ගත නොවන බව කී හර්ෂ ගුණසේන අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් ආණ්ඩුවට පවතින අපේක්ෂාවන් ඉලක්ක ඉටුකර ගැනීමට පවතින වැඩපිළිවෙළ ද ප්‍රශ්න කළේය.
“රටේ සියලුම අපේක්ෂාවන් කේන්ද්‍රගත වෙන්නේ අපනයන ආදායම වර්ධනය කර ගැනීම මත නම් ඒ වෙනුවෙන් ආණ්ඩුව ප්‍රමාණවත් වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතුයි. නමුත් ආණ්ඩුව තුළම මේ සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. අපනයන වෙළෙඳපොළ ගැන ලොකු විශ්වාසයක් තැබුවත්, ධනවාදී ප්‍රතිසංස්කරණ කරගෙන ගියත් ආණ්ඩුවේ ඔළුවේ තියෙන්නේ ආරක්ෂණවාදී චින්තනයක්. ආණ්ඩුව තුළ මේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. නමුත් මගේ අදහස වන්නේ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා ආරක්ෂණවාදී විය යුතු නැහැ. ඒකට හොඳම උදාහරණය කොමියුනිස්ට්වාදී වියට්නාමය. ඔවුන්ගේ ආනයනය සහ අපනයන අතර සැලකිය යුතු පරතරයක් නෑ, ඉතාම සුළු පරතරයක් තිබෙන්නේ. ඔන්චිල්ලාව දෙපැත්තට පැද්දෙනවා. ආනයන පාලනය තුළින් අපනයන වර්ධනය කර ගන්න බැහැ” ආණ්ඩුවේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය හමුවේ අපනයන අපේක්ෂාවන්ට අත්වන ඉරණම හර්ෂ දීර්ඝව පැහැදිලි කළේය.
“මෙහෙම ආරක්ෂා වෙලා අපි වාගේ කුඩා රටවල් වලට වැඩ කරන්න බැහැ. ලෝකයත් එක්ක වඩ වඩාත් සම්බන්ධ වන තරම තමයි අපි වගේ රටවල් වලට වැඩි වියෙන් ප්රතිලාභ ලබා ගන්න පුළුවන් වෙන්නේ” හර්ෂ ගුණසේන වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
(‘අයවැය කොහොමද ?’ යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන කතිකාව කාලීන සංවාදයේදී, දේශපාලන විශ්ලේෂිකා මධුරි රණසිංහ, ලර්න් ඒෂියා ආයතනයේ හිටපු පර්යේෂිකා ගයාෂි ජයසිංහ, මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ් යන විද්වතුන් දැක්වූ අදහස්ය. මෙහෙයවීම මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් සිදු කරන ලදි.)

