කඳුළු එක්ක චියර්ස්…
- Sujeewa Senerath
- November 19, 2025
- විලාසිතා සහ සිදුවීම්
- 0 Comments
“කොළොං ගස් සෙවණේ විඳින හුදෙකලාව ගැඹුරු වේදනා දනවන්නේය.
ඒ මිහිරි අතීත සැමරුම් පපු කුහරයේ සිට බුබුළු දමමින් මතුව බිඳී යන්නේ දුක දනවමිනි. රහසිගත සියුම් ඉකිබිඳුමක් තමන් තුල සිරව ඇතැයි ඔහු සිතුවේය. ඔහු ඈතින් පෙනෙන ශේෂ කඳු සිරස දෙස බැලුවේය.
එහි දැවටෙමින් තිබූ වලා කැටිත්ත ඈතින් ඈතට පාව යන්නට පටන් ගෙන තිබුණි.
කන්ද අචලව හා තිරව ඒ වලා රොද දෙස බලාගත්වනමය. එහෙත් වලා රොද තමන් වෙත රඳවා ගන්නට එය අසමත් ය.
වලාකුළටද කන්ද සමීපයේ රැඳෙනට උවමනා ය. එහෙත් සැහැල්ලු වලාව සුළඟට එරෙහි වන්නට අසමත් ය. රුදු සුළඟට ආයාචනා කරන්නට කන්දට ද වලාවටද නොහැකි ය. කේතකී හා තමන් ,මේ කන්දත් වලා කැටිත්තත් වැනි යැයි වසත් සිතුවේය.
දෛවය ඔවුන් වෙත හැමූ සැඩ මාරුතය යි. ”
කේතකී ඉඳුවරා ජයවර්ධනට වසත් ප්‍රියභාෂණ මුණගැසෙන්නෙ ඇය ,දෛවයේ එක්තරා අකාරුණික කමකට යටත්ව දිවි මගේ අඩක් ගමන් කොට සිටින විටය. මෙලොව වැසි සියල්ලන්ට ලැබිය යුතු හිමිකමක් වන ප්‍රේමය ඇයට හිමිවන්නේ ඔහුගෙනි.
දිවි මගේ ඉබාගාතේ සරමින් සිටි වසත් ඇය කෙරෙහි උපන් ඉමහත් ප්‍රේමයකින් බැඳී යයි.
අත්වැල් පටලා එකමග කොතෙක් දුර යාමට ඔවුන් ට හැකි වේද…
සිය ‘අගත අනගත ‘ කෘතිය ට හාත්පසින් ම වෙනස් වූ භාෂා රටාවකින් හා තේමාවකින් යුතු
‘ කඳුළු එක්ක චියර්ස් ‘ හරහා කියවන්නා කම්පනයට පත් කිරීමට ලසන්ත ද සිල්වා සමත් වී ඇත.
එය එතරම් හැඟුම් බර ලිවීමකි. කියවා අවසන හද පාරවන ශෝකයකින් ඉකි ගසන්නට පොළඹවන්නකි. කේතකී හා වසත් මේ මහපොළවේ අප අතර සැරිසරන්නන් ය. ඔවුන් අප හදට ලංවන්නේ එහෙයිනි.
කේතකී ආත්මාර්ථකාමී ගැහැනියක් නොවේදැයි විටෙක සිතෙන මුත් මුලු දිවිය පුරා ප්‍රේමයක් නොලද මැදිවියේ ගැහැනියක ගේ සිතෙහි ඇති වන තෘෂ්ණාව වටහා ගත් විට එම සිතුවිල්ල පසෙකට දැමිය හැකිය.
කේතකී හා වසත් සිය අන්දරය ගොතන්නේ මෙරට සුන්දරතම පරිසර කලාපයක සැරිසරමිනි. එය මෙම කතාවේ ආකර්ෂණීයත්වය ඉහළ නැංවීමට සමත් වී ඇත.
“ඒ වෙලාවේ හපුතලේ ටවුමට ලඟපාත උත්තුංග කඳු පෙළ උඩින් දුහුල් සාරියක් වගේ මීදුම පාත්වෙනවා.
පිටරත්මලේ පුංචි වැව ගාව මීදුම් කැරලි පාවෙනවා ඇති. ඒ මීදුම් කැරලි අතරින් වැවේ සරැලි දිය තවත් ලස්සන වෙලා ඇති. දම් පාට මල් මාර ජැකරැන්ඩා ගස් වල පිපුණු මල් නිල් මැණික්කැට වගේ දිදුලන වා ඇති. ලිප්ටන්සීට් වල කිසිම දෙයක් දකින්න බැරි තරමට මීදුම් ගලලා ඇති.”
හපුතලේ ඔලිව්ස් අවන්හලේ සිට පෙනෙනා ඌව ද්‍රෝණියේ සුන්දරත්වය බලන්නට ද , නුවර සිට ගෝමරේ යන බසයකින් ගොස් කන්දසාමි ගලට නැග කතරගම පෙනෙනවාදැයි බැලීමටද , ලංකාවේ ලස්සනම බස් නැවතුම අසල ඇති ශාන්ත අන්දෲස් පල්ලියේ පරණ සොහොන් කොත් අතර ඇවිදින්නට ද ලසන්ත සිය ලිවීම තුලින් කියවන්නා තුල පෙලඹවීමක් ඇති කරමින් බණ්ඩාරවෙල සිට අම්පාර බසයක රැගෙන ගොස් සියඹලාණ්ඩුව පසු කර බැස
‘ සඳකැබැල්ල තපෝවනාරාමය’ කරා ගෙන යයි.
ප්‍රේමයද සොබා සුන්දරත්වය ද ශෝකයද එකට මුසු කරමින් රචිත මෙම අපූර්ව නවකතාව වෙනස්ම රසයක් ගෙන ආ බව කිව යුතුය.
අනේ තාමත් ලිලී මල්වල
සුවඳ ඉසියුම් දැනෙනවා
තුංග හපුතල කන්ද පාමුල
පෙමක මළ බෙර වැයෙනවා
ඉරා මිහිදුම් දුමාරය තෙත
මතක දුම්රිය ඇදෙනවා
නුරා මියගිය සිහින වල රත්
කේතකී මල් පිපෙනවා…
Madhavi Ekanayake FB පිටුවෙන්

