වීදි බල්ලො කියල ජාතියක් සිටිය යුතු නැහැ
බල්ලා තමයි මනුස්සයා නැතුව ජීවත් වෙන්න බැරි ලෝකෙ ඉන්න එකම සතා. ඒ අනුව මනුස්ස භාරකාරයෙක්ගෙන් තොර බල්ලන් ඉන්න බැහැ. මේක තව විදියකට කියනවා නම් හැම බල්ලෙක්ටම භාරකාරයෙක් ඉන්න ඕනේ. ඒ බල්ලගේ සම්පූර්ණ වගකීම ඒ භාරකාරයා දරන්න ඕනේ.
ලංකාවේ මේ මොහොතේ පැන නැගිලා තියෙන බලු ප්රශ්නය සම්බන්ධයෙන් අපි එන්න ඕනෙ පළමුවෙනි එකඟතාවය ඒකයි.
දැන් ප්රශ්නය පැන නගින්නේ අපි පාරේ ඉන්න බල්ලෝ සම්බන්ධයෙන් මොකක්ද කරන්න ඕනේ කියන එක ගැන. එතනදි මම යෝජනා කරන්නේ ලංකාවේ ඉන්න සියලුම වීදි බල්ලෝ පාරවල්වලින් ඉවත් කරලා එක්කෝ බලු අනාථාගාරවලට දාන්න ඕනේ, එහෙම තියාගෙන නඩත්තු කිරීමේ ආර්ථික හැකියාවක් රජයට නැතිනම් ඒ බල්ලන්ව යුතනයිස් කරලා දාන්න ඕනෙ. යුතනයිස් කරනවා කියන එකට තියෙන සිංහල තේරුම තමයි සුඛ මරණය හෙවත් අනායාස මරණය. ඒ කියන්නේ බල්ලන්ට කිසිම වේදනාවක් දැනෙන්නේ නැති පරිදි ඒ බල්ලන්ගෙ ජීවිත අවසාන කරලා දාන්න ඕනේ.
ඇත්තටම දියුණු රටවල්වල ඒක තමයි කරන්නේ. පාරක බල්ලෙක් හිටියොත් ඒ බල්ලව අනාථාගාරයකට ගෙනියනවා. ඒ බල්ලාගේ අයිතිකාරයා හොයාගන්න බැරි වුණොත් බොහෝ විට ඒ බල්ලව අනායාස මරණයකට ලක් කරනවා. ඒ විදිහට අවුරුද්දකදී නවසීලන්තයේ විතරක් මරණ බල්ලන් සංඛ්‍යාව හයදාහක්. ඒක එක්සත් රාජධානියේදී හැට හතර දාහක්. ඇමරිකා එක්සත් ජනපදයේ තුන් ලක්ෂ විසිදාහක්.
මෙතැනදී මේ සංස්කෘතික වෙනස ගැනත් යමක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් බටහිර’ මිනිස්සු කල්පනා කරන විදිය විදියට මට තේරිලා තියෙන්නේ එයාලා සතෙක් මරණයට පත් කිරීම කියන එක ලොකු වැරැද්දක් විදියට දකින්නේ නැහැ. නමුත් මැරෙනතුරු යහපත් ජීවිතයක් තිබිය යුතුයි කියලා විශ්වාස කරනවා. ඔය සත්ත්ව ගොවිපළවල් සම්බන්ධයෙන් තියෙන නීති බැලුවත් පේන දේ තමයි මහ පරිමාණයෙන් ඝාතනය කිරීම සඳහාම සත්තු හදනවා, සහ කිරි සහ බිත්තර කර්මාන්තයේදී ඒ ක්‍රියාවලිය ලාභ දහයක ලෙස පවත්වාගෙන යෑම සඳහා සත්තුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරනවා. නමුත් එසේ ඝාතනය කරන තුරු ඒ සත්තුන්ට හොඳට සලකන්න කියලා ගොඩක් නීති තියෙනවා.
මේක අපි ලංකාවේ දකින සංස්කෘතියට වඩා වෙනස්. අපේ රටේදී අපේ මිනිස්සු වඩා වැදගත් කියලා සලකන්නේ ජීවත් වෙන එක. කොහොම හරි වැඩි කාලයක් ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනේ කියන එක තමයි අපේ මිනිස්සුන්ගේ මතය. බටහිර දී තමන් වෙනුවෙන් සේවය කරපු අශ්වයා තවදුරටත් පාවිච්චි කරන්න බැරිවුනාම එකපාරින් ඔලුවට වෙඩිල්ලක් තියලා මරලා දානවා, ලංකාවෙදි අපේ ගෙවල්වල හිටපු එළදෙන්නු හොඳටම වයසට ගිහිල්ලා මැරෙන තුරුම අපි තියාගෙන ඉන්නවා.
හොඳට බැලුවොත් මේ සංස්කෘතික වෙනස අපේ රටේ පාරවල්වල බල්ලෝ බෝවෙන්නත් හේතුවෙලා තියෙන බව පේනවා. ඒ කියන්නේ තමන්ට අනවශ්‍ය බල්ලො ටිකක් ඉපදුනොත් අපේ මිනිස්සු කරන්නේ ඒ බල්ලන්ව මරා දාන එක නෙවෙයි නෙවෙයි, ඒ වෙනුවට පාරට හෝ පන්සලකට ගෙනත් දාන එක. මේක අපි බෞද්ධ වීම නිසා ඇතිවෙලා තියෙන දෙයක් කියලා හිතන්න පුළුවන් වෙන්නේ තායිලන්තෙත් මීට සමාන තත්ත්වයක් තිබීම නිසයි.
ඒ නිසා ඉතින් වීදි බල්ලන් ඉවත් කිරීමේ කාර්යයේදී අපිට මේ සංස්කෘතික වෙනසත් තේරුම් ගන්න වෙනවා. ඒ අනුව මම වඩාත් කැමති දේ තමයි ලොකු වියදමක් ගියත් රාජ්‍යය විසින් බලු අනාථාගාර පිහිටුවන එක. නමුත් ඒ ආර්ථික බර රජයට දරාගන්න බැරි තරම් විශාල නම් එවිට ඒ බල්ලන්ව අනායාස මරණයකට ලක් කිරීම ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. එහෙම නැතිනම් වෙන්නේ ඒ බල්ලෝ ඔය අනාථාගාර ඇතුලේ දුක් විඳ විඳ හිරකාර ජීවිතයක් ගත කරන එක විතරයි.
කොහොම නමුත් වැදගත්ම කාරණය තමයි පාරේ බල්ලො ඉන්න බෑ. ඔය ගොඩක් කට්ටිය කියනවනේ පාරේ ඉන්න බල්ලන්ව වන්ධ්‍යාකරණය කරලා, අනුක්රමයෙන් බල්ලන්ව වීදිවලින් ඉවත් කරන්න පුළුවන් කියලා. නමුත් එතනදි ගැටළු කිහිපයක් පැන නගිනවා. පළමුවෙනි එක තමයි ඒ ක්‍රමයෙන් වීදිවලින් බල්ලන්ව ඉවත් කරන්න අපිට අඩුම තරමින් තව අවුරුදු හත අටක්වත් යනවා. ඒ කියන්නේ ඒ වෙනතුරු මිනිස්සුන්ට බල්ලන්ගෙන් වෙන හිරිහැර විඳගන්න සිද්ධ වෙනවා කියන එකයි.
නමුත් ඊට වඩා තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි බල්ලො පාරේ ඉන්නවා කියලා දැක්කම, තවත් මිනිස්සු තමන්ට අනවශ්‍යයි කියලා හිතන බල්ලන්ව පාරට ගෙනල්ලා දාන්න පෙලඹෙනවා. ඒ කියන්නේ අර කුණු තියෙන තැනට කුණු දානවා වගේ වැඩක් වෙනවා. ඒ අනුව න්‍යායිකව ගත්තොත් වන්ධ්‍යාකරණය කරලා දැනට ඉන්න වීදි බලු පරම්පරා අවසානයකට ලක් කරන්න පුළුවන් කියලා හිතුනට, ඒක නොවෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ.
පාරේ බල්ලන් ඉන්න කිසිම විදියක් නෑ කියන අදහස සමාජයට යන්න ඕනේ. ඊට සමාන්තරව ගෙවල් වල ඉන්න සියලුම බල්ලන්ව ලියාපදිංචි කරලා, අර RFID මයික්‍රෝචිප් දාන්න ඕනේ. එතකොට තමන්ගෙ බල්ලා බලා ගැනීමේ වගකීම නීතිමය වශයෙන්ම බලාත්මක වෙනවා. එහෙම නොවන බල්ලෝ ඉන්න බැහැ.
මේක රජයේ වගකීමක්. චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුකාලයේ මැදක් වෙනතුරුම ලංකාවේ නගරර සභාවලින් වීදි බල්ලන් ඉවත් කිරීමේ කාර්යය කරගෙන ගියා. ඒක ටිකක් අමු සහ අමානුෂික විදියකට වුණා කියලා කාට හරි කියන්න පුළුවන්. ඒක ඇත්ත. ඉස්සරම පටන් ගත්තු ක්‍රමයක් යුගයට අනුව වෙනස් නොවී ඉස්සරහට ඇවිත් තිබුණා කියන එක ඇත්ත. නමුත් ඒක නවීකරණය කරනවා වෙනුවට චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඒක සහමුලින්ම නැවැත්තුවා.
ඒ කාලේ ප්‍රචලිත වුණේ ඒකට හේතු වුණේ නිමල් සිරිපාල ද සිල්වාගේ බිරිඳ වන අයිරාංගනී ද සිල්වා විසින් සහ විමුක්ති කුමාරතුංග විසින් කරන ලද ඉල්ලීම් දෙකක් කියලයි. ඊට පස්සේ ලංකාවෙ වීදි බල්ලො කියලා ජාතියක් ශීඝ්‍රයෙන් බෝ වුණා. මේ බල්ලන්ව පාලනය කරන්න සමහර ආණ්ඩු උත්සාහ කරද්දී වීදී බල්ලෝ වෙනුවෙන් පෙනී ඉන්න සමහර බලගතු ව්‍යාපාරික කාන්තා චරිත ඇතුළු පිරිසක් තමන්ගේ සමාජ සහ දේශපාලන බලය පාවිච්චි කරලා ඒක නවත්තලා දැම්මා. එහෙම තමයි මේක අද වෙනකොට ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ.
ඉතින් දැන් සමාජයේ කොටස් දෙකකට බෙදිලා, එක පිරිසක් විවිධ අරමුණු සඳහා පාරේ ඉන්න බල්ලන්ට දෛනිකව කෑම දාගෙන යනවා. ඒ බල්ලන්ගෙන් හිරිහැරයට පත්වන අනිත් පිරිස ඒ බල්ලන්ට සහ ඒ බල්ලන්ට කන්න දෙන අයට ගහන්න බනින්න යනවා. ඒ කියන්නේ ආණ්ඩුව විසින් විසඳිය යුතු නමුත් විසඳන්නේ නැති වීදි බලු ප්රශ්නය දැන් මිනිස්සු දෙපිරිසක් ගහමරාගන්න එකක් බවට පත්වෙලා.
ඒ නිසා මේකට දැන්වත් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. බල්ලන්ව පාරවල්වලින් ඉවත් කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ බල්ලන්ට ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියන එක ආණ්ඩුව ගතයුතු ප්‍රතිපත්තිමය තීරණයක්. කෙටියෙන් කියනවනම් ඒ බල්ලන්ව එක්කෝ අනාථාගාර වලට දාලා මැරෙන තුරු බලාගන්න ඕනේ, එහෙම බැරිනම් ඒ බල්ලන්ට අනායාස මරණයක් හිමිකර දෙන්න ඕනේ. කොහොම නමුත් පාරේ බල්ලො ඉන්න බැහැ.


