අබලි ලෝහ අපනයනය තහනම්
- Editor
- April 1, 2026
- ආයෝජන, ව්‍යාපාරික පුවත්
- 0 Comments
දේශීය නිෂ්පාදන කර්මාන්තයන්ට අගතියක් වන පරිදි සිදු කරනු ලබන අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
මෙරට දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය කරනු ලබන ලෝහ අවශ්‍යතාවයෙන් කොටසක් දේශීයව ලබා ගන්නා අබලි ලෝහ මඟින් සහ ඉතිරිය ආනයනය කරනු ලබන ලෝහ කුට්ටි මඟින් සපයා ගනු ලබයි.
දේශීය කුඩා පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම පිණිස 2020-11-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් තීරණයක් පරිදි යකඩ, තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල සහ චිනච්චට්ටි යන ලෝහවල අබලි ලෝහ මෙන්ම ඇලුමිනියම් කුට්ටි, සින්ක් කුට්ටි සහ තඹ කම්බි අපනයනය අත්හිටවනු ලැබ තිබේ. එසේ වුවද, ඇතැම් පාර්ශ්වයන් විසින් විවිධ සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Code) යටතේ වෙනස් ආකාරයෙන් අර්ථකථනය කරමින් ලෝහ ආශ්රිත ව්‍යාජ නිෂ්පාදන සහ අබලි ලෝහ අපනයනය කිරීම හේතුවෙන් දේශීය කර්මාන්ත සඳහා දේශීයව සපයාගත හැකි ලෝහ ආශ්රිත අමුද්‍රව්‍යයන්ගේ හිඟයක් නිර්මාණය වී ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන, දේශීය කර්මාන්ත සඳහා අගතියක් සිදු වන අයුරින් අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව 2026 මාර්තු මස 30 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

