අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍ය සමග ගිවිසුම් දෙකක් අත්සන් කරයි
බෙලරුස් ජනරජයේ නිල සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, මින්ස්ක් නුවරදී බෙලරුස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් රිෂෙන්කොව් මහතා සහ එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී.
මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කර සිටින ශෝබිනී ගුණසේකර මහත්මිය, යුරෝපය සහ උතුරු ඇමරිකාව පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ද්විපාර්ශ්වික සාකච්ඡා අවසානයේදී, ශ්‍රී ලංකා සහ බෙලරුස් විදේශ අමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර, ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති කැපවීම එහිදී අවධාරණය කෙරිණි.
දශකයකට වැඩි කාලයකට පසු ශ්‍රී ලංකාවෙන් බෙලරුස් වෙත සිදු වූ පළමු ඉහළ මට්ටමේ සංචාරය මෙය වන අතර, එමඟින් දෙරට අතර සබඳතාවල නව ප්රබෝධයක් පෙන්නුම් කරයි.
මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එක් ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කෙරුණු අතර, එමඟින් ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමට සහ සහයෝගීතාව පුළුල් කිරීමට ශක්තිමත් පදනමක් වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමා විසින් 2026 මැයි 13 වන දින බෙලරුස් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශය
ගරු මැක්සිම් රයිෂෙන්කොව් මැතිතුමනි,
ගරු තානාපතිවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි,
- ප්‍රථමයෙන්ම, බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන ලෙස මට ආරාධනා කිරීම සහ මටත් මගේ දූත පිරිසටත් ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාර පිළිබඳව ඔබතුමාට මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි.
- 2000 වසරේදී රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු, ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය පසුගිය වසරේ සිය 25 වැනි රාජ්‍යතාන්ත්‍රික සංවත්සරය සැමරීය. අප දෙරට අතර පවතින සවිමත් සබඳතාව සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව අගයමින්, ඔබතුමාගේ ආරාධනය පිළිගෙන මෙම නිල සංචාරයේ නිරත වීමට ලැබීම මට මහත් ගෞරවයකි.
- අපගේ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පිළිබඳ ඉතිහාසයේ මෙම සන්ධිස්ථානයේදී, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සුභාශිංසන බෙලරුස් ජනරජයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මැතිතුමාට සහ මිත්‍රශීලී බෙලරුස් වැසියන්ට පිරිනැමීමට මම කැමැත්තෙමි.
- ශ්‍රී ලංකාවෙන් බෙලරුස් වෙත මෙවැනි ඉහළ මට්ටමේ සංචාරයක් සිදු වන්නේ දශකයකටත් වැඩි කාලයකට පසුවය.
- පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව රයිෂෙන්කොව් මැතිතුමා සමඟ පැවැත්වූ ඵලදායී ද්විපාර්ශ්වික හමුව සහ අපගේ විදේශ අමාත්‍යාංශ අතර පවතින නිරන්තර සංවාදය මම මෙහිදී සිහිපත් කරමි.
- සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය පැවති සමයේ සිටම අප දෙරට අතර සබඳතා ජනතාව අතර පවතින සමීප සම්බන්ධතාවන්ගෙන් සමන්විත වී ඇත.
- ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවලට අනුකූලව, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් විවිධ අංශ ඔස්සේ බෙලරුස් සමඟ නව මංපෙත් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටී.
- අද උදෑසන රයිෂෙන්කොව් මැතිතුමා සහ එම දූත පිරිස සමඟ මා සහ මගේ දූත පිරිස පැවැත්වූ ඵලදායී සහ සවිස්තරාත්මක සාකච්ඡා මෙන්ම, ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීම, ඉදිරි වසරවලදී අප දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා ශක්තිමත් පදනමක් වනු ඇත.
- ඊළඟ වටයේ දේශපාලන උපදේශන සහ වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිෂන් සභාව කැඳවීම, දූත පිරිස් හුවමාරු කර ගැනීම සහ දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර සහයෝගීතාව තුළින් දැනට පවතින මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව අපි සාකච්ඡා කළෙමු.
- මෙම සාකච්ඡාවේදී, වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්රයන්හි මතුවෙමින් පවතින අවස්ථාවන් උපයෝගී කර ගනිමින් බෙලරුස් සමඟ සබඳතා ගැඹුරු කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම මම යළිත් තහවුරු කළෙමි. මෑතකාලීන ප්‍රතිසංස්කරණ මගින් ඇති කර තිබෙන ආයෝජන හිතකාමී වටපිටාවෙන් ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙසත් වෙළඳ සබඳතා ශක්තිමත් කරන ලෙසත් මම අපගේ බෙලරුස් මිතුරන්ට ආරාධනා කරමි.
- මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රජය සහ බෙලරුස් රජය අතර ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම මම සාදරයෙන් පිළිගනිමි. ‘බෙලවියා’ (Belavia) ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත නිත්‍ය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වන අතර, එය සංචාරක ව්‍යාපාරය, ව්‍යාපාරික හුවමාරු සහ දෙරට අතර සමස්ත සම්බන්ධතාවය ඉහළ නැංවීමට මූලික පියවරක් වනු ඇත.
- බෙලරුස් සමඟ සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්රයක් ලෙස ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්රය හඳුනාගෙන ඇත. ගුවන් ගමන් සහ සම්බන්ධතා වැඩිදියුණු කිරීම තුළින් සංචාරක අංශයේ පවතින මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විශාල විභවය විවෘත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- අද දින අත්සන් කරන ලද උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්රවල අවබෝධතා ගිවිසුම් කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, එමගින් නිශ්චිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙම රාමු ඵලදායී ලෙස භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
- අධ්‍යාපන අංශයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව ද අපගේ හමුවේදී සාකච්ඡා කෙරිණි. අපගේ සහයෝගීතාව පශ්චාත් උපාධි අධ්‍යාපනය සහ විශේෂිත පුහුණුව දක්වා ව්‍යාප්ත කළ හැකි බව මට විශ්වාසයි. බෙලරුස් යනු ශ්‍රී ලාංකික සිසුන්, විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා තෝරා ගන්නා වැදගත් ගමනාන්තයකි. දැනට බෙලරුස් හි විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික සිසුන් 3000කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබති.
- සෞඛ්‍ය අංශය, වෛද්‍ය තාක්ෂණය, දැරිය හැකි මිලකට ඖෂධ සැපයීම, ඖෂධ නිෂ්පාදනයේ විය හැකි ඒකාබද්ධ ව්‍යාපාර, සෞඛ්‍ය කළමනාකරණ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ වෛද්‍ය පුහුණුව පිළිබඳ සහයෝගීතාව පිළිබඳව අපි සාකච්ඡා කළ අතර, ආයුර්වේදය සහ සුවතාවය පිළිබඳ ශ්‍රී ලාංකික විශේෂඥ දැනුම බෙදා ගැනීමට අපගේ සූදානම ප්‍රකාශ කළෙමු.
- පසුගිය සැසිවාරයද ඇතුළුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ස්ථීර හා නොසැලෙන සහයෝගය වෙනුවෙන් මම බෙලරුස් වෙත අපගේ කෘතඥතාව පළ කළෙමි. තවද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල අපේක්ෂකත්වයන් සඳහා අන්‍යෝන්‍ය සහයෝගය හුවමාරු කර ගැනීම පිළිබඳව ද අපි සාකච්ඡා කළෙමු.
- මෙම සංවාදය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රශීලී හවුල්කාරිත්වය ඉහළ මට්ටමකට ඔසවා තැබීම සඳහා, අන්‍යෝන්‍ය වශයෙන් පහසු වේලාවක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස මම රයිෂෙන්කොව් මැතිතුමාට ගෞරවයෙන් ආරාධනා කරමි.
- බෙලරුස් ජනාධිපති ලුකෂෙන්කෝ මැතිතුමා, අමාත්‍යවරුන් සහ බෙලරුස් ජාතික සභාවේ කථානායකවරයා සමඟ පැවැත්වීමට නියමිත ඵලදායී හමුවීම් පිළිබඳව මම බලාපොරොත්තුවෙන් සිටිමි. මීට අමතරව, මෙම සංචාරය අවසන් කිරීමට පෙර මම සහ මගේ දූත පිරිස ව්‍යාපාරික හා සංචාරක වටමේස සාකච්ඡාව සහ බෙලරුස් හි සිටින ශ්‍රී ලාංකික සිසුන් හමුවීම ඇතුළු වැඩසටහන් මාලාවකට සහභාගී වන්නෙමු.
- බෙලරුස් වැසියන්ට නිරන්තර ප්‍රගතිය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කිරීමටත්, මැක්සිම් රයිෂෙන්කොව් මැතිතුමාට නිරෝගී සුවය, සතුට සහ පෞද්ගලික යහපැවැත්ම ප්‍රාර්ථනා කිරීමටත් මම මෙම අවස්ථාව භාවිතා කරමි.
- ස්තූතියි.

