ඇට මස් ස්ථානාධිපති අනාත්මික මිනිසා – ජයශ්‍රී ප්‍රියලාල්
ඉතාම සරල දිවි පෙවතක් පවත්වාගැනීමට මාර්ග උපදේශන වලින් පොහොසත් අකාලික දහමට ජීවිත හැඩගැස්විය යුතු දේශයක සිදුවන අපරාධ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම කනගාටුවට කරුණෙකි.උදේ සවස බණ පිරිත් දේශනා, නිරතුර පංච ශීලය මත පිහිටා කටයුතු සිදුවන ශ්‍රී ලාංකේය ජන සමාජය සීඝ්‍ර පරිහාණියට පත්වන ආකාරය පිළිබඳව විමර්ශනය කලයුතු කාලය දැන් එළැඹී ඇත.
තිලෝගුරු තථාගත බුදුරජානන් වහන්සේ වදාල උතුම් බුද්ධ ධර්මය තවත් එක් ආගමක් සේ අදහමින් සැදැහැවන්ත බෞද්ධ ජනතාව ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අතර අතරමංවී සිටීද? යන ප්රශ්නය මත කාලීන සමාජ කතිකාවක් ඇතිවිය යුතු බව මෙම ලියුම්කරුගේ මතයයි.මේ සදහා ප්රස්තුත ආසන්න සිද්ධීන් කිහිපයක් සමාජයේ දැඩි පිළිකුලට භාජනය වී තිබුණද ඒවා අධිකරණය හමුවේ නිසි විමර්ශනය වන බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.
පද්ධතිමය වෙනසකට අරගල කල ජන සමාජයම තමන් අපේක්ෂා කල වෙනස සමාජ ආර්ථික දේශපාලන ක්ෂේත්‍ර සියල්ලම ආවරණය වන ලෙස සිදුවේ යයි අනුමාන කලහ. නමුත් එවැනි කිසිවක් සිදුනොවන බව අත්දැකීම බොහෝ දෙනෙකුගේ කනස්සල්ලට හේතුවක් වී ඇත. ඊට ප්‍රධාන හේතුව වනුයේ රට විනාශයට ඇද දැමූ බලවේගයන් තව දුරටත් ශක්තිමත්ව; තැලෙන පෙලෙන පීඩිතයන්, අසරණ තත්ත්වයට ඇද දැමීමට පෙළැඹීමය. හුදෙක් සමාජ, ආර්ථික සහ දේශපාලන බලය ලබාගැනීමට සහ රඳවා තබා ගැනීමට අපරාධ වලට අනුබලදීම ඇතිහැකි බලලෝභීන් පෙළැඹීම: යුක්තිය සහ සමාජ සාධාරණය නැතිබැරි පීඩිතයන්ගෙන් ගිලිහීමට හේතුවී ඇත.
මෙම පිරිහීමේ ආදීනව සහ ඒවා මැනවින් තේරුම්ගැනීමට තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කල දහම නිවැරදිව සමාජගත කිරීම ශාෂණලැදි සියළුම දෙනාගේම වගකීමයි. නමුත් ගිහි පැවිදි සියලුම දෙනාට කුසල සහ අකුසල කුමක්ද යන්න හරිහැටි වටහාගැනීම නොහැකිවීම සමාජ පරිහානිය වේගවත් කරවයි.
තමන් විසින්ම දැඩි කැපවීමකින් සහ අධිෂ්ඨානයකින් සොයා වදාරන ලද සංකීර්ණ දහම් මාර්ගය පෘතග්ජන මිනිසාට සරලව තේරුම්කරදීමට බුදුන්වහන්සේට හැකිවීම සහ එම පරම සත්‍යය වසර 2500 ක් දක්වාම අකාලික වීම ගෞතම බුදුන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය විදහාපාන ප්රතිමුර්තියයි.
එහෙත් බුදුදහම සහ එහි විකාශය තවත් ආගමක ස්වභාවයකින් සංස්ථාගතව ගිහි පැවිදි පුද්ගලයින් අතර අසමමිතික බල කේන්ද්‍ර ගොඩනගා ගැනීම බුද්ධ පරිනිර්වාණය සිටම සිදුව තිබේ. මෙම හේතුකාරනා නිසාම සරල දිවි පෙවෙතක් හැඩගැසීමට නියමිත බෞද්ධයා වර්තමානයේ සුහුරු තාක්ෂණය සහ උපකරණ වලට ඇබ්බැහිව වල්මත්ව තම ජීවිත කල්පැවැත්ම තවදුරටත් සංකීර්ණ කරගෙන සිටී.
බුදුදහම සමාජගත කරවීමේ තෙවැදෑරුම් සරල න්‍යාය.
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිට පැතීමටත් සරණ යාමටත් බෞද්ධ ජනතාව හුරුපුරුදු වී සිටී. මෙම තෙවැදෑරුම් පහසුවෙන්ම මතක තබාගැනීමේ පරිපාටිය මුළු දහම පුරාම විහිදී ඇති ස්වභාවය මෙම ලිපියේ සටහන් කර තැබීමට සහ ඒ පිළිබඳව සංවාදයක් ඇතිකර බෞද්ධයන් හුදු ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අතර අතරමං නොවීමට ඇති ඉඩකඩ ඇහිරීමට යම් උත්සහයක් දරමි.
සංසාරය නම් ඝණ වනාන්තරයේ මංමුලා නොවීමට බුදු දහම ඉතා සරලව සංකීර්ණ කරුණු කාරනා ගිහි පැවිදි සියලුම දෙනාට තේරුම්ගැනීම පහසු පරිදි ඉදිරිපත් කලද අකුසලයෙන් ඈත්වීමට බෞද්ධයින්ට අපහසුව ඇත්තේ මක්නිසාද?
සංසාරය නම් ඝණ වනාන්තරයේ අතරමං නොවී නිරුපද්‍රිතව පිටවීමට පළමුව වනයේ ඇති ගස්ගල් සහ අඩිපාරවල් ගංගා ද්‍රෝණි, ඇල මාර්ග නිවැරදිව හඳුනාගැනීම වැදගත්ය. එවැනි අභියෝග පහසුවෙන් මිනිස් ජීවිත වලට ඈදාගැනීමට බුදුදහම අපමණ උත්සහයක් ගෙන ඇත. එහෙත් එම කරුණු කාරනා ඒ අයුරින්ම සමාජගත කිරීම හරවත්ව සංනිවේදනය වනවාද? නො එසේනම් ඒවා හුදෙක් අන්ධානුකරණයට ලක්වනවාද යන්න සාකච්ඡාවට ලක්විය යුතුය. බුදු දහම තමන් විසින්ම අධ්‍යයනය කර වටහා ගැනීමට ගෞතම බුදුරජානන්වහන්සේ සිය අනුගාමිකයින්ට මග පෙන්වා දී ඇත. උන් වහන්සේව තථාගත යන ගෞරවාර්තයෙන් පුදන්නේ එමනිසාය. සෙසු ආගම්වල දේව වචනය ඒ ආකාරයෙන්ම ඇදහීම සහ පිළිපැදීම හෝ පුද පුජා පවත්වා භක්තිය ප්‍රකාශ කිරීම බෞද්ධයන්ට අදාල කරගත නොහැක.
බුදුදහමේ මූලිකම සහ ගැඹුරුම ඉගැන්වීමක් වන ත්රිලක්ෂණය (ලෝකයේ සහ ජීවිතයේ පවතින මූලික ලක්ෂණ තුන) අප අවට ඇති බාහිර ලෝකය සහ අපගේ ආධ්‍යාත්මය (සිත සහ කය) නිවැරදිව තේරුම් ගැනීමට මේ ලක්ෂණ තුන උපකාරී කර ගතයුතුවේ. සංසාර නම් ඝණ වනාන්තරයේ සංයුතිය අනිච්ච, දුක්ඛ සහ අනාත්මය යනුවෙන් බුදු දහමේ පැහැදිලි කරදී තිබෙනවා. ඒ අනුව අනාත්ම පුද්ගලයා හුදු ඇට මස් වලින් යුත් අස්ථිර ඇට මස් ස්ථානාධිපති සත්වයෙක් බව තේරුම්ගැනීම මූලික අවශ්‍යතාවයකි.
ඝණ වනාන්තර වල සංචාරය කරන විට ප්‍රවේශම් වීමට අවදානම් කාරී මගහැරිය යුතු තවත් කරුණු තුනක් ලෝභ, ද්වේෂ, සහ මෝහ යනු වෙන් පෙන්වා දී ඇත.පුද්ගලයෙකු සංසාරයට බැඳ තබන, සියලු පව්කම් හා දුක්වලට මුල් වන ප්‍රධානතම කෙලෙස් ධර්ම තුනකි. මේවාට ධර්මයේ “අකුසල මූල” (අකුසල්වල මුල්) කියාද කියනු ලැබේ.
වනාන්තරයේ ඇති ගස් ගල් හඳුනාගැනීමත් ඒවා මතක තබාගෙන නිවැරදි මාවතේම රැදීමට වල්මත් නොවීමට තවත් තෙවැදෑරුම් මාර්ගෝපදේශ යුගලයක් බුදුදහම ජනජීවිත වලට ඈදාගැනීමට අනුබල දෙයි. පළමුව සිත,කය, වචනය පාලනය කිරීමත් දෙවැනුව දානය ශීලය භාවනාව දෛනික ජීවිතයට යොමුවීමත්වේ.
සිත කය වචනය පාලනය කරමින් අකුසලයන් අවම කිරීමටත් දාන, ශීල භාවනා තුලින් කුසල් රැස්කර ගැනීමට මිනිසාට අනුබලදෙයි.
එහෙත් වර්තමාන බෞද්ධ ඇදහිලි ක්‍රම වේදයන් හිංදු ආගමික සංස්කෘතික වතාවත් අනුව යමින් දාන,ශීල භාවනා කටයුතු සියල්ලම පූජාවන් බවට පත්කරමින් බෞද්ධ සැදෑහැවතුන් ප්‍රඥාව වෙනූවට ශ්‍රද්ධාව තුල කොටුකරගැනීමට ලක්ව සිටීද? ශාෂණ ලැදි ගිහි පැවිදි සියලුම දෙනා මෙකී මාර්ග සංඥා සහ උපදේශ නිවැරදිව හඳුනාගැනීම වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ පරිහානිය අවම කර ගැනීමට හේතුවනු ඇත.
සිත කය වචනය පාලනය කරගැනීමට පංච ශීලය මත පිහිටා අකුසලයන් වලින් ඈත්වීමටත්, දානය ශීලය භාවනාව තුලින් කුසල් රැස්කර ගැනීම පසෙක ලා අටවිසි පූජාවන් සහ අසූහාර දාහේ පිංකම් වලට අනවබෝධයෙන් නැඹුරුවීම අවිජ්ජාව තුලම සිරවීමට හේතුවේ.
දුකට පත් අය දුප්පතුන්වේ. ගෞතම බුදුරදුන් ආර්ය සත්‍යය අවබෝධ කරගෙන අටවැදෑරුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශණා කර ඇත්තේ සංසාර මහ ඝණවනාන්තරයේ සැරිසැරීමට අවශ්‍ය ශීල සමාධි ප්‍රඥා යන කොටස් තුනකින් යුත් අපූර්ව මාර්ග සිතියම් පොතක් අපවෙත ලබාදී ජීවිතය වල් මත් කර නොගැනීමට.
වර්තමානයේ මෙම සිතියම් පොත් විසිකර GPS තාක්ෂණය අනුව යමින් ආගමික ස්ථානද එප්ස්ටීන්කරණයවීම අදහාගත නොහැක. ශ්‍රී ලාංකේයන් අපේක්ෂා කරන පද්ධතිමය වෙනස ඇරඹීමට යල්පැනගිය දේශපාලන සහ ආගමික සංස්ථාගතව ඇති බල කේන්ද්රයන්ද වෙනස්කර යුතුවේ.
මුලින්ම සිදුවිය යුත්තේ අණ දීමට නියමිත අයවලුන් බණ කීම නැවැත්වීමටත් බණ කිය යුත්තන් අණදීමේ ක්රියාපාටියෙන් ඉවත්වීමත්ය. මෙම දෙකොට්ඨාසයටම වැදිබණ දේශණා නොකරන ලෙසට ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
මෙම බිදවැටීම් අට ලෝ දහමට ලඝු කොට නිහඬව සිටිය නොහැකි බව හඬනඟා කීමට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ ආචාර්ය නන්දා මාලිනිය නිර්භයව නිර්මාණයන් ඉදිරිපත් කලේ එම ජන චින්තනය අවදි කරවීමට. මෙම ලිපිය හමාර කිරීමට ඔවුන් දෙපළගේ නිර්මාණයක කොටසක් ගෙනහැර උපුටා දක්වමි.
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
දෑ ගොත් කුළ නුදුටු උන් බණ පිළි පදිනු
වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු
වැදි බණ දෙසන සඟ ඝණ වුවද පිටු දකිනු !

2026 මැයි 26.

