කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායනයක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතනවල  කාර්ය මණ්ඩල සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක්  බත්තරමුල්ල සෙත්සිරිපාය පරිපාලන සංකීර්ණයේ (දෙවන අදියර)  ස්ථාපිත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ  කාර්ය මණ්ඩලය වෙනුවෙන්  පසුගිය (25) දින පවත්වන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම හා සම්පත් දායකත්වයෙන්  සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” යන තේමාව යටතේ පැවැති මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායනයේ සංවිධාන කටයුතු  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය විසින් විසින් සිදු කරනු ලැබීය.

මෙම ජංගම සායනය තුළින් බටහිර වෛද්‍ය සායනය, අක්ෂි සායනය, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, රසායනාගාර සේවා, රුධිර පීඩනය මැනීම, දන්ත සායනය, රුධිර සීනි පරීක්ෂාව, කොලස්ටරෝල් පරීක්ෂාව, සුවනාරි සායනය, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම සහ නොමිලේ ඖෂධ ලබාදීමට ද සිදු කෙරුණ අතර, සායන සේවා ලබා ගැනීම සඳහා එම අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක් විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නව වැඩපිළිවෙලක් යටතේ ආරම්භ කරන ලද “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන යටතේ පවත්වන 57 වන වැඩසටහන ද මෙය විය.

මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායනයේ දී හඳුනා ගනු ලැබූ රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ ප්‍රධාන  රෝහල් වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබූ අතර, කොළඹ ජාතික රෝහල , ජාතික අක්ෂි රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතනවල විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් සායනය අද පස්වරුව දක්වා  සාර්ථකව පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතාගේ නිරීක්ෂණය යටතේ පැවැති මෙම වැඩසටහනේ දී ඒ මහතා පවසා සිටියේ මීලඟ “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන තලංගම ශ්‍රී සුදර්ශණාරාමයේ දී  එම ප්‍රදේශයේ  ජනතාව වෙනුවෙන් මෙම මස 28 සෙනසුරාදා දිනය පුරා පැවැත්වීමට කටයුතු සැලසුම්කර ඇති බවයි.

ජංගම සෞඛ්‍ය සායනයෙන් සේවා ලබාගැනීමට පැමිණි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අදහස් දක්වමින් කියා සිටියේ  කාර්ය බහුල රාජකාරී කටයුතු වල යෙදෙන රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩලය වෙනුවෙන් තම ආයතනයටම පැමිණ මෙවැනි  ජංගම සායන ක්‍රියාත්මක කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් බවයි. ඉදිරියටත් මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔවුන් මෙහි දී පෙන්වා දෙන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙරට සියලු ජනතාවට ශාරීරික, මානසික නිරෝගි ජිවිතයක් ගත කිරිමට මෙන්ම ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන අඛණ්ඩව දියත් කිරීමට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පියවර ගෙන ඇත.

 

Leave A Comment