තාඩන පීඩනවලට ලක්වුණු රාජ්‍ය සේවකයින්ට හලාවත නඩු තීන්දුව ඉතාම වැදගත් එකක් – ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ඉතාමත්ම වැදගත් වන වෙනත් සාධක කිහිපයක් තිබෙනවා. පසුගිය කාලයේ වාර්තාවක පළවූ ආකාරයට යම් නඩුකරයක් සම්බන්ධ පොලීසියේ විමර්ශනවල සිට මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විමර්ශන සම්පූර්ණ කර, නීතිපති දෙපාර්තමේන්තුවෙන් මහාධිකරණයට යොමු කර අධි චෝදනා පත්‍ර ගොනුකරනවාද නැද්ද යන්න එතනදී තීරණය කර, නඩු විභාගය අවසන් කරන්න අවුරුදු 07 – 15 කාලයක් ගතවෙනවා. හලාවත මහාධිකරණයේ විභාග වූ නඩුව 2008 සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන්. අවුරුදු 18ක් නඩු කියලා අධිකරණ තීන්දුව ලබා ගත්තේ.

මේවගේ දීර්ඝ කාලයක් ගතවීමෙන් වින්දිතයන්ට සිදුවන අගති මොනවගේද? යම් නඩුවකට දේශපාලනඥයන් සම්බන්ධ වී සිටින්නේ නම්, එම චූදිතයන්ට සහයෝගය දෙන දේශපාලන පක්ෂය් බලයේ සිටීමෙන් නඩු ඉල්ලා අස්කර ගැනීම් සිදුකරනවා. ලංකාවේ දේශපාලනය හා සම්බන්ධ නඩුවලදී වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට පැමිණි බාධා ඉවත් කර නඩු කටයුතු ඉක්මන් කරන්න මේ රජය සෑහෙන වෙහෙසක් ගන්නවා. ඒ අනුව විජේරාම මාවතේ මෙයට පෙර ඇමතිවරුන්ගේ නිල නිවාස ලෙස භාවිතා කළ ගොඩනැගිලිවල අධිකරණ කිහිපයක් පිහිටුවා අලුත් කඩේ අධිකරණ පරිශ්‍රයේත් තවත් කිහිපයක් පිහිටුවා තිබෙනවා. යුක්තිය ඉෂ්ඨවීම විතරක් නොවෙයි, එය ඉෂ්ඨවෙන බව රටේ ජනතාවට පේන්න තියෙන්නත් ඕනෑ. මෙතෙක් කල් ඒ සිද්ධාන්ත කනපිට පෙරලා තිබුණත් ලෝකයේ අනෙක් රටවල් හා සමානව කෙටි කාලයකින් නඩු විභාග අවසන් කරන්න මේ ආණ්ඩුව සැලසුම් සහගතව ක්‍රියාකරමින් සිටිනවා.

නඩු විභාග අවසන් කරන්න අදාළ සම්පත් ලබා දෙනවා කියන්නේ විමර්ශන ක්‍රියාවලිය ඉක්මන් කිරීමක්. මේ ආණ්ඩුව බලයට පත්වූ පසු නීතිපතිවරයාට, පොලිස්පතිවරයාට, අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ වෙනත් ඉහළ නිලධාරියෙකුට බලපෑම් සිදු කර නැහැ. නීතියට අනුව අපරාධයක් කියලා කියන්නේ රජයට එරෙහි ක්‍රියාවක්. රටේ ඕනෑම පුරවැසියෙකුට එරෙහිව සිදුකරන අපරාධයක් සම්බන්ධයෙන් අදාළ චූදිතයාට චෝදනා පත්‍රය ඉදිරිපත් කරන්නේ ජනරජයේ නීතිපතිවරයා. යම් පුද්ගලයෙකු ඝාතනය කළ හොත් මරණකරු වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ රජය. අවුරුදු ගණනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ අල්ලස් දුෂණ කොමිෂන් සභාවේ නැති නම්, සාමාන්‍ය පොලිස් ස්ථානවල ගොඩගැසී තිබූ විමර්ශන වාර්තා නඩු බවට පරිවර්තනය කෙරෙමින් පවතිනවා. මේ ආකාරයෙන් අධිකරණ කටයුතු කාර්යක්ෂම කරන විට විමර්ශකයන්ට එරෙහිව බොරු, අවලාද, චෝදනා ඉදිරිපත් කරනවා. විමර්ශකයන්ගේ කීර්ති නාමය සම්බන්ධයෙන් සමාජයට වැරදි චිත්‍රයක් මවන්න උත්සාහ කළා. එය අසාර්ථක වන විට දැන් අධිකරණයට ප්‍රහාර එල්ල කරන්න පටන්ගෙන තිබෙනවා. මේ සියල්ල කැටිකර ගත් විට පේන්නේ නඩු විභාග ඉක්මන් කිරිම නිසා සමහර පාර්ශ්වයන් බයවී සිටින බවයි. මේ ආණ්ඩුව බලයට පත්වී ගෙවී ගිය කාලය තුළ එක් චෝදනා පත්‍රයක් හෝ ඉල්ලා අස්කරගෙන නැහැ. චේතනාන්විතව දේශපාලන මැදිහත් වීමක් ඇතිව නීතිපතිවරයා විසින් කිසිම නඩුවක් ඉවත් කරගෙන නැහැ.

ඒ වගේම පවතින නඩුවක් ඉල්ලා අස්කර ගැනීම හෝ අධි චෝදනා ගොනු නොකර සිටීමක් සිදු කර නැහැ. වෙනදා ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථාන තුනක සිට ක්‍රියාත්මක වුවත් දැන් ස්ථාන ගණනාවක සිට ක්‍රියාත්මක වෙනවා. අභියාචනායතනය පුළුල් කර තිබෙනවා. මෙයට පෙර කොළඹ තිබුණු මහාධිකරන හත වෙනුවට එකොළහක් තිබෙනවා. සිවිල් අභියාචනාධිකරණ අලුතින් පිහිටුවනවා. කොළඹ අධිකරණ කලාපය තුළ සියලු අධිකරණවල ධාරිතාවය වැඩි කර තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ නඩු විභාග ඉක්මන් කෙරෙනවා වගේම පසුගිය කාලයේ වැසී ගිය අපරාධ නඩු ගණනාවක් විභාග කිරීම පටන්ගෙන තිබෙනවා. නඩු විභාග සම්බන්ධයෙන් කිසිදු විෂය දැනීමක් නැති පිරිසක් ජනතාවට සාවද්‍ය තොරතුරු අධිකරණ ක්‍රියාවලිය ඇතුළු යුක්තිය පසිඳලන ආයතන සම්බන්ධයෙන් ඇති කරන් උත්සාහ කරන බව පේනවා. දීර්ඝ කාලීනව විවිධ තාඩන පීඩනවලට ලක්වුණු රාජ්‍ය සේවකයන් වෙත රැකවරණයක් තිබුණු එකම තැනම අධිකරණය පමණයි. හලාවත නඩු තීන්දුව ඒ සම්බන්ධයෙන් ගත්තත් සුවිශේෂී වැදගත්කමකින් යුක්තයි. අධිකරණය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමේ හැකියාව රාජ්‍ය නිලධාරීන්ට අත්වී තිබෙනවා. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට ලැබුණු ප්‍රබල නඩු තීන්දුවක් ලෙස මේ නඩු තීන්දුව හඳුන්වන්න පුළුවන්.

රජය මිනිසුන්ට බය නැතිව වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් සමස්තයක් වශයෙන් මේ රජයෙන් ඇති කර තිබෙනවා. විනිශ්චයකාරවරයෙකුගේ අධිකරණ මනස නිසි ආකාරයෙන් යොදවා කටයුතු කිරීමේ හැකියාව තහවුරු වී තිබෙන බව හලාවත නඩු තීන්දුවෙන් කියැවෙනවා.

(ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ 2026 මැයි 18 දින පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපති නීතිඥ උපුල් කුමරුප්පෙරුම විසින් කරන ලද අදහස් දැක්වීම)

Leave A Comment