බොරැල්ල සිංහපුර මහල් නිවාස (2) ජල සැපයුම විසන්ධි කරලා – ජල සම්පාදනේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරලා
බොරැල්ල සිංහපුර දෙක අදියර මහල් නිවාස වල ජල සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අනුගමනය කරන ප්‍රතිපත්තියෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට එම මහල් හිමියෝ චෝදනා කරති.
නිවාස හැටකින් යුත් මෙම මහල් නිවාසවලට වෙන වෙනම මනු කියවීමක් නොකොට පොදු බිලක් ලබාදීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ඔවුහු පවසති.
සිංහපුර දෙක අදියර මහල් නිවාස වල නිවාස අටක හිඟ බිල්පත් හේතුවෙන් සමස්ත නිවැසියන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පෙරේදා(27) කටයුතු කර තිබිණ.
මෙම ජල කප්පාදුව නිසා එම මහල් නිවාසවාසී විවිධ රැකියාවල නියුතු පුද්ගලයන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් හා කුඩා දරුවෝ පානීය ජලය පවා නොමැති වීමෙන් දැඩි සේ අසරණ වූහ.
මෙම තත්ත්වය රජයේ සේවා ලබා ගැනීමේදී පැහැදිලිවම වෙනස් කොට සැලකීමක් නොවේදැයි ‘මව්බිම’ කළ විමසීමේදී එම නිවාස ඒකකය භාරව සිටින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ ජල සැපයුමට අදාළව මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් බවයි.
එනිසා මෙම ප්‍රතිපත්තිය වෙනස් කළ හැක්කේ එම මණ්ඩලය විසින් ගනු ලබන තීන්දුවකින් හෝ දේශපාලන තීන්දුවකින් බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
| බිඟුන් මේනක ගමගේ

