මොන අභියෝග ආවත් අපේ රටේ බලශක්ති ක්ෂේත්රය ස්ථාවර හා සුබදායි අයුරින් ගොඩ නංවනවා – ඉංජිනේරු කුමාර ජයකොඩි
- Editor
- February 26, 2026
- පුවත්, බලශක්ති සහ විදුලිය
- 0 Comments
“ගෙවි ගිය කාලයේ තිබුණු ජරාජීර්ණ තත්වයන් තුළ විවිධ දුෂණ හරහා අයථා ඉපයීම්වල යෙදුණු විවිධ බලවේගවල මරලතෝනිය අපට එරෙහි මඩ අවලාද හැටියට දැන් එළි දකිමින් තිබෙනවා. එසේ වුණත් ඒ මඩ අවලාද වලට අපව බය කරන්න බෑ.
විදුලිබල ක්ෂේත්රයේ අපේ මිලදී ගැනීම් ටෙන්ඩර් පටිපාටිවලට හා ප්‍රසම්පාදන ක්‍රමවේදවලට අනුකූලව නීත්‍යානුකූලව කරල තියෙන බව යළිත් අවධාරණය කරන්න ඕන. ඉදිරියටත් එලෙස කටයුතු කරමින් අපේ රටේ බලශක්ති ක්ෂේත්රයේ අනාගතය ස්ථාවර හා සුබදායි කරන්නට ගතහැකි සියලු පියවර ගන්නවා“ යනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි (24) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයෙදී පැවති ජාතික බලශක්ති සම්මාන ප්රදානය හා එක්වෙමිනි.
රජයේ ආයතන, කාර්මික ආයතන සහ වාණිජ ගොඩනැගිලි ඇතුළු සියලුම ක්ෂේත්රවල, කුඩා, මධ්‍යම සහ විශාල පරිමාණ කාණ්ඩ යටතේ බලශක්ති කාර්යක්ෂමතා ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කළ ආයතන, “Establishment Award” සම්මානය මඟින් ඇගයීමට ලක් කරනු ලැබේ. එසේම, බලශක්ති කාර්යක්ෂමතා සේවා සමාගම් (ESCOS) විසින් ලබාදුන් දායකත්වය “ESCO Award” මඟින් හඳුනාගනු ලබන අතර, බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා කැපවී කටයුතු කළ බලශක්ති කලමණාකරුවන් “Outstanding Energy Manager Award” මඟින් ගෞරවයට පත් කරනු ලැබේ.
ආයතන විසින් විවිධ ක්ෂේත්රයන්හි බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සිදුකළ මැදිහත්වීම් අගය කිරීම සඳහා සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල, ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා, ගරු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙවර සම්මාන උළෙලේ තේමාව වූ “Energy Efficiency: Refueling the Economy” යන්න, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේදී බලශක්ති කාර්යක්ෂමතාව ඉටුකරන වැදගත් කාර්යභාරය උද්දීපනය කරයි. ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල, ආර්ථික ස්ථාවරත්වය, පාරිසරික ආරක්ෂාව සහ දිගුකාලීන ජාතික සංවර්ධනයට සහාය දක්වමින්, තිරසර බලශක්ති අනාගතයක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කරයි.

