හරිණි, සමලිංගිකත්වය, රනිල් සහ චන්ද්‍රිකා
- Sujeewa Senerath
- January 14, 2026
- දේශපාලන, විශේෂාංග
- harani-amarasuriay, ranil wickramasinghe
- 0 Comments
මේ සටහන ලියන්න හිටියේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමේ තීන්දුව ගන්න කාලෙකට කලින්. අනික මේක කෙලින්ම අධ්‍යාපනයට සම්බන්ධ කතාවකුත් නෙවෙයි. ඒ නිසා මේක දැනුත් වලංගුයි. කසාවත් ඇඳගත්ත අන්තවාදී සහ පසුගාමී පුරුෂයින් පිරිසකගේ හෝ පාදිලිවරුන් ගේ හඬට බයවෙලා ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන මම විරුද්ධ වුණත් සමාජය තුළ කිසිම සංවාදයකින් තොරව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු රනිල් ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ – ගොඩක් ප්‍රමාද වෙලා හරි – කල් දාන්න ආණ්ඩුව තීරණය කිරීම හොඳ දෙයක්. කොටින්ම ජනතා හඬට (අන්තවාදී කසාවත් හඬට නෙවෙයි) කන්දීම දුර්වල ආණ්ඩුවක ලක්ෂණයක් නෙවෙයි, යහපත් පාලන තන්ත්‍රයක ලක්ෂණයක්.
අගමැතිනි හරිණි අමරසූරිය මම හමුවෙලා, කතා කරලා තියෙනව. නමුත් ඇය මගේ මිතුරියක් නෙවෙයි.
දැනට ජීවතුන් අතරේ ඉන්න හැම ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් එක්කම මම හමුවෙලා හරි දුරකතනයෙන් හරි කතා කරලා තියෙනව. ඒත් ඒ කවුරුවත් මගේ මිතුරන් නෙවෙයි. ඒ නිසා මට ඒ කවුරුවත් ආරක්ෂා කරන්නවත්, අහේතුකව හෙලා දකින්නවත් අවශ්‍යතාවයක් නැහැ.
අගමැතිනි හරිනි ගේ ලිංගික නැමියාව මොකක්ද කියල මම දන්නේ නැහැ. මම දන්නා තරමින් ඇය සමලිංගික කාන්තාවක් නෙවෙයි. කොහෙත්තම ඇයගේ ලිංගික නැමියාව මටවත් මේ රටේ අනිත් අයටවත් කිසිසේත්ම අදාළ නැහැ. එහෙම අදාළ නැති වුණාට ප්‍රධාන වශයෙන්ම කසාවත්ධාරීන් ප්‍රමුඛ කොටගත්ත මනු සත්තු ටිකක් හරිනිට විරුද්ධව ඉතාමත්ම පහත් විදියේ, නින්දිත අපහාසාත්මක ප්‍රචාරයක් ගෙන ගියා. නලින්ද අද දෙරණ නාලිකාවේදී කිවුව විදියටම සමහර පොත්වල පිට කවරේ පාට පවා මේ සත්තුන්ගේ පහත් විවේචනයට ලක්වෙලා තිබුණ. මේ පසුගාමී අන්තවාදීන් කියන විදියට අලුතෙන් මුද්‍රණය කරපු පෙළ පොත්වලින් අගමැතිනි හරිනි උත්සහ කරලා තියෙන්නේ ළමා පරපුර තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන්නලු!
ඒක අතිශය පහත්, නින්දිත, තුච්ඡ වැඩක්. තමන්ගේ ලිංගිකත්වය සහ රාජකාරිය පටලවා නොගත් කාන්තාවක් මානසික වශයෙන් තලා, පෙලා දැමීමේ අරමුණින් කරපු අතිශය අමානුෂික කැම්පේන් එකක්.
“පන්සලේ සෙල්ලම” කියල හඳුන්වන ළමා අපචාර, පල්ලියේ සහ පොදු සමාජයේ කෙරෙන ළමා අපයෝජන ගැන නෑසු කන්ව සිටින බෞද්ධ නාහිමිවරුත් කුම්භකර්ණ නින්දෙන් නැගිටලා මේ කාන්තාවට පීඩා කිරීමේ ව්‍යාපාරයට එකතුවෙලා හිටිය!
අගමැති හරිනි ගේ ලිංගිකත්වය අපේ සමාජයට අදාළ නොවුණත්, ලිංගිකත්වය රාජ්‍ය පාලනයත් එක්ක පටලවා ගත්ත, ඒ නිසාම රටේ පාලනය වෙනුවට නිදන කාමරේ පාලනයක් අරගෙන ගිය නායකයෝ දෙන්නෙකුත් අපේ රටේ හිටිය. එක්කෙන්නෙක් රනිල් වික්‍රමසිංහ, අනිත් කෙනා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග.
මම අවධාරණය කරන්න ඕනේ ඒ දෙන්නගෙම ලිංගික නැමියාවන් සහ පෙම් සබඳතා මට කිසිසේත්ම අදාළ නැහැ. ඒවා ඔවුන්ගේ පෞද්ගලික තෝරා ගැනීම්. නමුත් ඒ දෙන්නම ඒ සම්බන්ධතා පෞද්ගලික අවකාශය තුළ තියාගන්නවා වෙනුවට ඒක රාජ්‍ය පාලනයට ගැට ගහල රාජ්‍ය පාලනය අවුල් කරගත්ත.
1994දී මේ රටේ මිනිස්සු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට පත් කළේ පුදුමාකාර බලාපොරොත්තු ගොන්නක් එක්ක. උතුරේත්, දකුණේත් මිනිස්සු ඇය රජ ගෙදරට කැන්දාගෙන ගියේ එදා, මෙදා තුර මේ රටේ රාජ්‍ය නායකයෙක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයත් එක්ක. ඇය ගැන උතුරේ මිනිස්සු කොයිතරම් බලාපොරොත්තු තැබුවද කිවුවොත් උතුරේ කානතාවෝ ඇය එනකොට වටවෙලා චන්ද්‍රිකාට පොට්ටු තිවුවා. ඒත් ඉක්මනින්ම චන්ද්‍රිකා වෙනස්වුණා. චන්ද්‍රිකා වෙනුවට සනත් ගුණතිලක රට පාලනය කරන්න පටන් ගත්ත. එතන ඉඳල සේරම කණපිට හැරවුණා. දැන් හිරු කියල අපි දන්න නාලිකාවට සම්බන්ධ කුප්‍රකට ගණුදෙනුව, රූකාන්ත ලගේ හිස බූ ගෑම, ජනාධිපති ආරක්ෂක අංශයට පාතාල සාමාජිකයෝ බඳවා ගැනීම ආදී මෙකී නොකී බොහෝ අපරාධ සහ වංචා සිද්ද වුණේ චන්ද්‍රිකා-සනත් සුසංයෝගයෙන්. අන්තිමට තමන්ගේ පක්ෂයෙන් පවා ගැරහුමට ලක්වෙලා චන්ද්‍රිකා ගෙදර ගියපු හැටි ළඟදිත් මම සටහන් කළා මතකයි.
රනිල්ට බලය ලැබුණ ගමන්ම එක්සත් ජාතික පක්ෂය වෙනුවට රට පාලනය කළේ සාගල රත්නායක, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම් ඇතුළු කණ්ඩායම. බොහෝ අවස්ථාවල රනිල් එක්ක ලඟින්ම හිටියේ සාගල. ඡන්දයෙන් දිනුවත්, පැරදුණත් අනිවාර්යයෙන්ම රනිල් ළඟ සාගලට ලොකු වගකීමක් එක්ක තනතුරක් පැවරුණා. චන්ද්‍රිකා ගේ කාලේ සනත් ගුණතිලකට ඕනම වරදක්, වංචාවක් කරන්න නිදහස තිබුණ විදියටම රනිල් ගේ කාලේ සාගලට ඒ නිදහස සහ බලය තිබුණ. කොටින්ම ලංකාවේ ඉතිහාසයේ දැවැන්තම සාගර ව්‍යසනය, එක්ස්ප්‍රස් පර්ල් වංචාව ගැන සිංගප්පූරුවේ නඩු පැවරීමේ තීරණයේ විජයදාස රාජපක්ෂ එක්ක සාගලත් හිටිය. මිනිස්සු රනිල්ට ඡන්දේ දුන්නට රට පාලනය කළේ වෙන කෙනෙක්. සමහර වෙලාවට රාජ්‍ය පාලනයට නිදන කාමරය ගාවගත්තේ නැත්නම් රනිල් ගැන පරිච්ඡේදය මීට වඩා වෙනස් විදියකට ලියවෙන්න ඉඩ තිබුණ.
අගමැතිනි හරිනිට පෙම්වතෙක් හෝ පෙම්වතියක් ඉන්නවද කියල මම දන්නේ නැහැ. එහෙම ඉන්නවා නම්, ඒ පුද්ගලයා සනත් ගුණතිලක වගේ හරි සාගල රත්නායක වගේ හරි රාජ්‍ය පාලනයට අතපොවන බවටත් කිසිම සාක්ෂියක් නැහැ. එහෙම කිසිම සාක්ෂියක් නැතුව ඇයි ඇයට මේ තරම් අපහාස කරන්නේ? රටේ දෙවැනි පුරවැසිය වූ පමණින්ම ඇයට පුද්ගලික ජීවිතයක් අහිමිද?
– සරෝජ් පතිරණ
2025 ජනවාරි 13

