‍ෆීනික්ස් ((Phoenix) පක්ෂියා අළු ගසා නැගිටීම: එක්සත් රාජ්‍යයහි ෆ්ලොරිඩා (Florida) ප්‍රාන්තයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

  • බටහිර ලෝකයෙන් ලාංකික අපට උගතහැකි පාඩමක්

රටවල් සහ ජනතාව නන්නත්තාර කරන ‘වෝක්’ (Woke) මතවාදවලින් ඇමරිකාවේ මීළඟ පරම්පරාවේ ආත්මය බේරා ගැනීමේ අරගලයේදී, ෆ්ලොරිඩා ප්‍රාන්ත රාජ්‍යය (the State of Florida) මෑතකදී තීරණාත්මක හැරවුමක් සිදු කළේය. 2025 නොවැම්බර් 13 වන දින, ෆ්ලොරිඩා ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය (Florida State Board of Education) ඒකමතිකව “ෆීනික්ස් ප්‍රකාශනය: අධ්‍යාපනය සඳහා ඇමරිකානු දැක්මක්” (The Phoenix Declaration: An American Vision for Education) සම්මත කරගන්නා ලදී. මෙය හුදෙක් ප්‍රතිසංස්කරණයක් පමණක් නොව පසුගිය දශක 2-3 පුරා බටහිර ලෝකය අඩපණ කළ, විනාශකාරී Woke මතවාදවලින් (L/G/B/T/Q/+ ද ඇතුලත්ව) නිදහස ප්‍රකාශ කිරීමකි.

මෙයට “ෆීනික්ස්” (Phoenix) යන නාමය තෝරා ගැනීම අහම්බයක් නොවේ. පුරාණ බටහිර කථා වලට අනුව, ෆීනික්ස් පක්ෂියා සිය ජීවන ගමනක අවසානයේ ගිණිගෙන අළු බවට පත්වී, නැවතත් වඩාත් ශක්තිමත්ව, පිරිසිදුව සහ ජවයකින් යුතුව ඉහළට නැගී සිටියි. ෆ්ලොරිඩාවට අනුව, මෙම පක්ෂියා මගින් සංකේතවත් කරන්නේ අසාර්ථක ලිබරල් අධ්‍යාපන ක්‍රමයේ අළු මතින් සංරක්ෂණවාදී “සම්භාව්‍ය අධ්‍යාපනයේ” (Classical Education) නැවත උපතයි. Woke මතවාදයේ කුණුවීම කොතරම් ගැඹුරට විහිදී තිබුණද, ඕනෑම ජාතියකට එම විනාශකාරී මතවාදයන් ගිනිබත් කර, තම “ජාතික අභිමානය” හා “සත්‍යය” මත පදනම්ව වඩාත් ශක්තිමත්ව නැගී සිටිය හැකි බව මෙයින් ගම්‍ය කරයි.

විනාශකාරී පිරිසක් ආණ්ඩු කරන මෙවැනි අවස්ථාවක, විදේශීය ආධාර මත යැපෙමින් ඔවුන්ගේ වෝක් සංකල්ප සහිත “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” මිරිඟුවට හසුවී කළුවරේ අතරමං වී සිටින ශ්‍රී ලංකාවට, ෆ්ලොරිඩාව දීප්තිමත් ප්‍රදීපාගාරයකි. වෝක් මතවාදයන්ට (Ideology) වඩා සත්‍යය (Truth) බලවත් බවත්, මෙවැනි නව සංස්කෘතික විනාශයට වඩා “සම්ප්‍රදාය” තෝරාගත හැකි බවත් ඔවුන් මනාව ඔප්පු කර ඇත.

“ෆීනික්ස් ප්‍රකාශනය” විසින් දරුවන් “සමාජ ඉංජිනේරු විද්‍යාව” සඳහා යොදාගන්නා පර්යේෂණාගාර මීයන් ලෙස සලකන L/G/B/T/Q/+, DEI වැනි “අධ්‍යාපනික විලාසිතා” (Educational Fads) සියල්ල ප්‍රතික්ෂේප කරයි. සෞඛ්‍ය සම්පන්න සමාජයක පදනම ලෙස රාජ්‍යයේ අධ්‍යාපනය මූලික “කුළුණු” හතක් මත පිහිටුවා ඇත.

1) දෙමාපිය අභිමතය සහ වගකීම (Parental Choice & Responsibility):

සමාජයේ මූලික ඒකකය පවුලයි. රජයේ නිලධාරීන්ට හෝ “විශේෂඥයන්ට” නොව, තම දරුවන් ඇති දැඩි කරන ආකාරය සහ ඔවුන්ට ලැබෙන අධ්‍යාපනය තීරණය කිරීමේ මූලික අයිතිය දෙමාපියන්ට හිමිවිය යුතුය.

2) සත්‍යය සහ යහපත් බව (Truth & Goodness):

අධ්‍යාපනය පදනම් විය යුත්තේ භෞතික යථාර්ථය (Objective Reality) මතයි. වෝක්වාදීන් පවසන “මගේ සත්‍යය” හෝ “ඔබේ සත්‍යය” වැනි බොරු/විකාර ප්‍රතික්ෂේප කරමින්, සිසුන් තේරුම් ගත යුතු “විශ්වීය සදාචාරාත්මක” හා “භෞතික නීති” පවතින බව මෙයින් අවධාරණය කෙරේ.

3) සංස්කෘතික සම්ප්‍රේෂණය (Cultural Transmission):

තම උරුමය (Judeo-Christian culture and norms) මීළඟ පරම්පරාවට දායාද නොකරන ඇමරිකානු ජාතිය මියයනු ඇත. තම සංස්කෘතික අගයන්, ඉතිහාසය, ආගම ආදිය නැවත ඉගැන්වීමෙන්  ජාතියක බුද්ධිමය, කලාත්මක සහ සමාජීය යහගුණයන් දරුවන් තුල ඇතිකළ යුතු බව තහවුරු කරයි.

4) චරිත සංවර්ධනය (Character Formation):

පාසල් විසින් හුදෙක් වැඩට දක්ෂයන් පමණක් නොව, ගුණවත් පුරවැසියන් බිහි කළ යුතුය. පුද්ගල වගකීම, අඛණ්ඩතාව සහ යහපත් සමාජයක් සඳහා අවශ්‍ය “සිවිල් ගුණාංග” වර්ධනය කිරීම මෙහි අරමුණයි.

5) අධ්‍යාපනික විශිෂ්ටත්වය (Academic Excellence):

අධ්‍යාපනය දැඩි ප්‍රමිතියකින් යුක්ත විය යුතුය. “සමාජ-චිත්තවේගීය” (Social-emotional) පරීක්ෂණ හෝ නිකම්ම පිරිනමන සහභාගීත්ව සහතික වෙනුවට කුසලතාවයට (merit based) ප්‍රමුඛත්වය දිය යුතුය. ගණිතය, විද්‍යාව, ආගම, ඉතිහාසය සහ  සාහිත්‍යය වැනි මූලික විෂයන් කෙරෙහි ප්‍රමුඛතාවය දීම අනිවාර්ය වේ.

6) විනිවිදභාවය සහ වගකීම (Transparency & Accountability):

පාසල් සහ පාඨමාලා විවෘත විය යුතුය. තම දරුවන්ට උගන්වන්නේ කුමක්දැයි දැන ගැනීමටත්, සෑම විෂය මාලාවක් සහ පොතක්ම පරීක්ෂා කිරීමටත් ඒවා ගැන සංවාද කර සුදුසු වෙනස්කම් කිරීමටත් දෙමාපියන්ට අයිතියක් ඇති බව තහවුරු කර ඇත.

7) පුරවැසිභාවය සහ දේශප්‍රේමය (Citizenship & Patriotism):

අධ්‍යාපනය මගින් රට කෙරෙහි නොසැලෙන ආදරයක් ඇති, සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත් පිරිමි සහ ගැහැණු දරුවන් සෑදිය යුතුය. සිසුන්ට තම ජාතික ඉතිහාසය අගය කිරීමටත්, පුරවැසියන් ලෙස තම යුතුකම් අවබෝධ කර ගැනීමටත් මග පෙන්විය යුතුය.

මේ ප්‍රතිසංස්කරණ මගින් නව ලිබරල් වෝක්  මතිමතාන්තර වල මුලටම පහර දී අවසන් කිරීම අරමුණු කර ඇත. ෆ්ලොරිඩාව හුදු වචනවලින් ඔබ්බට ගොස් ඒ සඳහා සෘජු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග (Policy Action) ගෙන ඇත. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල (NGOs) බලපෑම මත Gender spectrum, Gender Fluidity  ආදී සංකල්ප තම විෂය මාලාවට ඇතුළත් කිරීමට උත්සාහ කරද්දී, ෆ්ලොරිඩාව නීති මගින්ම එවැනි විකාර වත්ත හතර මායිමෙන් දොට්ට දමා ඇත.

1) HB 1069 පනත මගින් ලිංගික දිශානතිය (Sexual Orientation) සහ “ස්ත්‍රී පුරුෂ සමාජභාවය” (Gender Identity) පිළිබඳ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. පාසල් තුළ ජීව විද්‍යාත්මක ලිංගයට (Biological Sex)  වලට අමතරව කිසිවක් ඉගැන්වීම මෙයින් වළකා ඇත. අපගේ පෙර ලේපියේ කියූ පරිදි 2025-2-11 අගමැති හරිනිගේ ප්‍රධානත්වයෙන් Gender Spectrum, නව විෂයමාලාවට යෝජනා කරන ලදී. එහි ප්‍රතිපල පසුගිය දිනවල අප කාටත් දකින්නට ලැබුණි.

2) SB 266 (DEI තහනම): විශ්වවිද්‍යාල තුළ මතවාදී ගැටුම් ඇති කරන “විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කර ගැනීම” (Diversity, Equity, and Inclusion – DEI) යන ලේබලයෙන් ක්‍රියාත්මක වන නිලධාරිවාදී යාන්ත්‍රණ සඳහා රජයේ ප්‍රතිපාදන ලබාදීම ෆ්ලොරිඩාව නතර කර ඇත. කිසිදු ජාතියක් හෝ ස්ත්‍රී පුරුෂ භාවයක් සහජයෙන්ම මර්දනකාරී යැයි පවසන “අනන්‍යතා දේශපාලනය” (Identity Politics) සඳහා රජයේ මුදල් තවදුරටත් වැය නොකෙරේ. මෙම DEI සංකල්පයද ශ්‍රී ලංකාවේ ක්‍රයාත්මක කරන්නට හදන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුරාවට දක්නට ඇත.

මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට කියාදෙන පාඩම පැහැදිලිය. එනම් මෙම සංකල්ප යනු පිරිහෙමින් පවතින ජාතීන්ගේ ඇඟිලි  සලකුණයි. නැගී එන ජාතියක් අවධානය යොමු කළ යුත්තේ මෙම උගුලේ වැටීමට නොව ඉන් ගැලවීමටයි.

මේ අපට පණිවිඩය දෙන්නේ හුදෙක් ඇමරිකාවේ ප්‍රාන්තයක් නොවේ. ෆ්ලොරිඩාව ස්වෛරී රාජ්‍යයක් වූයේ නම්, එහි ආර්ථිකය ලෝකයේ 14 වන ස්ථානයට පත්වනු ඇත. එහි දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් ට්‍රිලියන 1.8 ඉක්මවයි. අනෙක් කරුණ නම් මේ ෆ්ලොරිඩා ප්‍රතිසංස්කරණ අනුගමණය කිරීමට ටෙක්සාස්, ඔහායෝ, අයෝවා ද ඇතුළුව ප්‍රබල ප්‍රාන්ත ගණනාවක් සුදානම් වෙමින් සිටීමයි. මෙය අනාගත ඇමරිකාව කෙසේ වනු ඇත්දැයි අපට කියන ලිට්මස් පරීක්ෂණයයි.

තවද, ‘වෝක්’ මතවාදයෙන් පීඩිත නිව්යෝර්ක් සහ ඉලිනොයි වැනි ප්‍රාන්තවල සිට පවුල් සහ ව්‍යාපාර බොහෝ සේ ෆ්ලොරිඩාවට/ ටෙක්සාස් වලට පැමිණෙමින් තිබේ. ජනයා තම දරුවන්ට වැරදි මතවාද උගන්වන්නේ නැති, වෙහෙස මහන්සි වී වැඩ කරන්නන්ට නිසි තැන ලැබෙන ප්‍රාන්තයක් කරා ඇදී යමින් සිටිති. බොහෝ විට මෙම නව ඇමරිකානු අධ්‍යාපන/ දේශපාලන ප්‍රතිපත්ති ඉදිරි වසර 5-10 කාලයේ යුරෝපයද වැළදගනු ඇත. අනාගත සංරක්ෂනවාදී ඇමරිකාවෙන් ස්වායත්තව යුරෝපය පවතින්නේ නැත.

මෙය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කරයි. බටහිර ධනවත් රටවල් වෝක්’ (Woke) මතවාදය අතහරින විට ලංකා ආණ්ඩුව එය බදා වැළදගෙන ඇත. බටහිර අපට කියන්නේ  මේවා ජාතියක් නගාසිටුවීම වෙනුවට කරන්නේ සාම්ප්‍රදායික පවුල් ඒකකය බිඳ දැමීමත්, ජාතික අභිමානය හෑල්ලු කිරීමත්, දක්ෂතාවය වෙනුවට “වින්දිතභාවය” (Victimhood) මත පදනම් වූ සමාජයක් ගොඩනැගීමත් බවයි. ඒ නිසා දෙමාපියන් වන අප, අපේ දරුවන්ට සාම්ප්‍රදායික වටිනාකම් කියාදී මේ ව්‍යාජ ප්‍රතිසංස්කරණ වෙනුවට ඔවුනට ෆීනික්ස්  වැනි, අපට ගැලපෙන ජාතික පුනරුදයක් (Nationalist Renaissance) සඳහා උදව් වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබා ගැනීමට උත්සාහ ගත යුතුය. ශ්‍රී ලංකාව දැන්සිටින්නේ ඒ මංසන්ධියේ අතරමං වීය.

කාලය පැමිණ ඇත! අපේ දරුවන් ආරක්ෂා කර ගැනීමටත්, දෙමාපියන්ගේ අයිතිවාසිකම් නැවත ලබා ගැනීමටත්, දක්ෂතාවය සහ කුසලතාවය මත පදනම් වූ අනාගතයක් ගොඩනැගීමටත්, ඒ සඳහා උදව් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබා ගැනීම වෙනුවෙන් අප එකා මෙන් පෙළගැසිය යුතුය.

| Sarathi Ratnayake – FB පිටුවෙන්

යොදා ගත් මුලාශ්‍ර:

https://www.fldoe.org/…/florida-becomes-the-first-state…

The Phoenix Declaration: An American Vision for Education | The Heritage Foundation (https://www.heritage.org/phoenix-declaration

Leave A Comment