මේ ආණ්ඩුවත් පළාත් සභා මැතිවරණය කල්දැමීමේ ප්‍රතිපත්තිය එලෙසින්ම පවත්වාගෙන යනවා

“හැම පාලකයෙක්ම බලය හමුවේ හැසිරෙන්නේ එකම විදිහටයි”

වත්මන් ආණ්ඩුව ද පෙර පැවති ආණ්ඩු මෙන්ම පළාත් සභා මැතිවරණය කල්දැමීමේ ප්‍රතිපත්තිය එලෙසින්ම පවත්වාගෙන යන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (පැෆ්රල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය. කැෆේ සංවිධානය විසින් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඇතුළු සංවිධාන 10ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ විද්වත් මැතිවරණ වෘත්තිකයන්ගේ සංගමයේ මහින්ද දේශප්‍රිය සහ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක විසින් අදහස් දක්වන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ 2017 වසරේදී බවයි.

“වර්තමාන ආණ්ඩුව බලයට එනකොට ඉතාම පැහැදිලිව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණයක් පවත්වලා අවසන් කරනවා කියලා. නමුත් වර්තමාන ආණ්ඩුවත් බලයට ඇවිල්ලා, පළාත් පාලන මැතිවරණය පමණක් පවත්වලා පළාත් සභා මැතිවරණය සුපුරුදු විදිහට කල් දැමීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් තමයි අපිට මේ වෙනකොට තහවුරු වෙමින් තිබෙන්නේ.”

සියලු පාලකයන් බලය හමුවේ එකම ආකාරයට හැසිරෙන බව පෙන්වා දුන් ඔහු, පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය තීරණය කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබා දී තිබූ මාස තුනක කාලය ද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව සඳහන් කළේය.

එම කාලය දීර්ඝ කරගෙන තිබුණ ද මේ සම්බන්ධයෙන් ගෙන ඇති අවසන් තීරණය කුමක්දැයි යන්න පිළිබඳව තවමත් කිසිදු පැහැදිලි බවක් නොමැති බව ද පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මහජන නියෝජිත ආයතනයක් ජනතාවගේ නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන යාම දැවැන්ත අපරාධයක්

යම් මහජන නියෝජිත ආයතනයක් ජනතාවගේ නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන යාම දැවැන්ත අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ විද්වත් මැතිවරණ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ, නිලධාරීන් මඟින් පමණක් පළාත් පාලන හෝ පළාත් සභා පාලනය කිරීම මඟින් ජනතා අභිලාෂයන් ඉටු නොවන බවයි.

“මහජන නියෝජිතයෝ නැතුව හොඳට යනවා නේද, ප්‍රශ්නයක් නැහැනේ කියලා සමහරු කියන්න පුළුවන්. ඒක නෙවෙයි ප්‍රශ්නය. යම් මහජන නියෝජිතයෙක් නැතුව, ජනතාවගේ නියෝජිතයන් නොමැතිව ආයතනයක් පවත්වාගෙන යාම අපරාධයක්. එහෙම බලනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැතුව, පළාත් පාලන ආයතන නැතුව වුණත් රට දුවන්න පුළුවන්නේ. නමුත් නිලධාරීන් කිසිම විටක මහ ජනතාවට වගකියන්නේ නැහැ.”

එළඹෙන සැප්තැම්බර් 15 වන දිනට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය පිළිබඳව ද මෙහිදී මතක් කර දුන් හිටපු මැතිවරණ කොමසාරිස්වරයා, අඩු තරමින් එම දිනය වන විටවත් කල්දමා ඇති මෙම ඡන්ද විමසීම පවත්වන්නේ කවදාද සහ කොයි ආකාරයෙන්ද යන්න පිළිබඳව බලධාරීන් පැහැදිලි ප්‍රකාශයක් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 128 වෙනි පිටුව ජනාධිපතිතුමාට පෙනෙන්නේ නැහැ

ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ලබා දුන් පොරොන්දු අමතක කරමින් මැතිවරණ පැවැත්වීම මගහැර සිටින බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 128 වන පිටුවේ “දින නියමයක් නොමැතිව කල් දමන ලද පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වමින් ඡන්දදායකයන්ට අවස්ථාව උදා කරන්නේය” යනුවෙන් පැහැදිලිව සඳහන් කර තිබූ බවයි.

“දැන් තියෙන ප්‍රශ්නය තමයි ඇත්තටම, ජනාධිපතිතුමා ප්‍රමුඛ කාටවත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 128 වෙනි පිටුව පේන්නේ නැහැ. එක ගීතයක තියෙනවා ‘සිතු දේ නොම වෙයි, නොසිතු දේම වෙයි, ලෝ දම කැරකෙනවා’ කියලා. කවුරුහරි ලංකාවේ හිතුවද මීට වසරකට හෝ දෙකකට පෙර, අනුර කුමාර දිසානායක මහත්මාගෙන් හෝ ජාතික ජන බලවේග ආණ්ඩුවෙන්, ඒ වෙනුවෙන් කැපවුණු ක්‍රියාකාරීන්ගෙන්ම ‘අනේ අපිට මැතිවරණයක්, ඡන්ද විමසීමක් දෙන්න’ කියලා ඉල්ලන්න වෙයි කියලා? කවුරුවත් එහෙම හිතුවේ නැහැ, දැන් නොසිතු දෙයක්ම තමයි වෙලා තියෙන්නේ.”

ජනතාවට ලබා දුන් එම පොරොන්දුව ඉටුකරමින් වහාම අදාළ මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ද ඔහු මෙහිදී වැඩිදුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාර (CaFFE) වන අතර එහි විධායක අධ්‍යක්ෂ මනාස් මාකින් හා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ (NMSJ) ආචාර්ය සුජාතා ගමගේ ඇතුළු මැතිවරණ හා සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් සහභාගී වී සිටියහ.

| කල්ප මදුරංග (whatsnews)

Leave A Comment