ලෝක පාපන්දු කුසලාන තරඟාවාලියත් සමග ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට FIA සහාය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, 2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සජීවීව විකාශය කෙරෙන නිල පාපන්දු ප්‍රේක්ෂක කලාපය (FIFA World Cup Fan Zone 2026) කොළඹ, කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට යෝර්ක් වීදියේදී  ඊයේ (11) නිල වශයෙන් ආරම්භ විය. විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවයේදී, මෙරට පාපන්දු ක්‍රීඩාවේ අනාගතය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සංචාරක ක්ෂේත්‍රයේ නව පිබිදීම පිළිබඳව සුවිශේෂී කරුණු රැසක් අමාත්‍යවරයා විසින් මෙහිදී අනාවරණය කෙරිණි.

​මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන සහාය ලබාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එකඟ වී ඇති බවයි. පසුගිය වසරේ FIFA උප සභාපතිවරයා මෙරට කළ සංචාරයේදී ඇති කරගත් එකඟතාවයකට අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගන භූමිය මේ සඳහා තෝරාගෙන ඇති අතර, එහි මූලික නෛතික කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. මෙමඟින් අනාගතයේදී ජාත්‍යන්තර පාපන්දු තරඟාවලි ශ්‍රී ලංකාව තුළ සත්කාරකත්වය දැරීමට මඟ පෑදෙන අතර, එය මීගමුව ආශ්‍රිත සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවටද විශාල පිටුවහලක් වනු ඇත.

​ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පාපන්දු ක්‍රීඩාවද ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම තුළින් මෙරට තවමත් උපරිම ප්‍රයෝජන ගෙන නොමැති ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය සීඝ්‍රයෙන් දියුණු කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ගෝලීය වශයෙන් පවතින විවිධ අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂී ආගන්තුක සත්කාරය සහ ජාතික උරුමයන් හේතුවෙන් සංචාරකයින් විශාල වශයෙන් මෙරටට ඇදී එන බවත්, පසුගිය මැයි 31 වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

​එමෙන්ම, මෙම උත්සවය පැවැත්වෙන 1837 තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය හුදෙක් දේශීය හෝටලයක් නොව, විදේශීය රාජ්‍ය නායකයින් පවා අගය කරන ජාත්‍යන්තර උරුමයක් බව අමාත්‍යවරයා පැවසීය. ලංකා බැංකුව සතු මෙම ඓතිහාසික හෝටලය නවීන තත්ත්වයට ගැලපෙන සේ වැඩිදියුණු කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

​ලෝක කුසලාන පාපන්දු තරඟ සජීවීව නරඹමින්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ඓතිහාසික වැදගත්කම අත්විඳීමටත්, කාර්යබහුල ජීවිතයෙන් මිදී මානසික සැහැල්ලුවක් ලබාගැනීමටත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වන සියලුම පාපන්දු ලෝලීන්ට ඉදිරි දිනවලදී මෙම Fan Zone පරිශ්‍රය වෙත පැමිණෙන ලෙස අමාත්‍යවරයා විවෘත ආරාධනයක් කළේය. මෙම සුවිශේෂී කටයුත්ත සංවිධානය කිරීම පිළිබඳව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ කළමනාකාරීත්වයට සහ “York Street Live” කණ්ඩායමට අමාත්‍යවරයා සිය විශේෂ ස්තූතිය පිරිනමමින් කතාව නිමා කළේය.

 

Leave A Comment