Grand-Hyatt-Colombo

ග්‍රෑන්ඩ් හයට් හිමිකාරීත්වය පෞද්ගලීකරණයට: සමාගම් 5ක් අවසන් වටයේ තරගයට

  • යෝජනා කැඳවීමේ (RFP) දෙවන අදියර සඳහා දේශීය හා ඉන්දීය ප්‍රමුඛ සමාගම් සුදුසුකම් ලබයි
  • ව්‍යාපෘතිය අවසන් කිරීමට තවත් ඩොලර් මිලියන 120ක් අවශ්‍ය බවට තක්සේරුවක්

කොළඹ ‘ග්‍රෑන්ඩ් හයට්’ (Grand Hyatt) හෝටල් ව්‍යාපෘතියේ මව් සමාගම වන රජය සතු කැන්විල් හෝල්ඩිංග්ස් (Canwill Holdings Pvt Ltd) සමාගමේ පූර්ණ කොටස් හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය තීරණාත්මක නව අදියරකට එළැඹ තිබේ. ඒ අනුව, අදාළ සමාගම මිලදී ගැනීම සඳහා උනන්දුවක් දක්වමින් ඉදිරිපත් වූ සමාගම් අතුරින් සුදුසුකම් සපුරාලූ සමාගම් පහක් මීළඟ අදියර වන ‘යෝජනා කැඳවීමේ’ (RFP) ක්‍රියාවලිය සඳහා තෝරාගෙන ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

2025 දෙසැම්බර් 24 වන දින රජය විසින් කැඳවන ලද ‘උනන්දුව පළකිරීමේ ප්‍රකාශන’ (EOI) සඳහා පාර්ශ්ව අටක් ඉදිරිපත්ව සිටි අතර, ඒ අතරින් ඉහළ මූල්‍ය හා තාක්ෂණික හැකියාවන් ප්‍රදර්ශනය කළ ආයෝජකයින් පස්දෙනෙකු මෙලෙස දෙවන වටයට සුදුසුකම් ලබා ඇත.

 

අවසන් වටයට තේරුණු දේශීය හා ජාත්‍යන්තර සමාගම්

දෙවන අදියර සඳහා සුදුසුකම් ලබා ඇති ආයෝජකයන් වන්නේ,

| ඉන්දියාවේ චැලේ හොටෙල්ස් (Chalet Hotels Ltd.)

| ඉන්දියාවේ ජුනිපර් හොටෙල්ස් (Juniper Hotels Ltd.) 

| ෆීනික්ස් වෙන්චර්ස් (Phoenix Ventures Ltd.) සහ බ්ලූස්ටෝන් කැපිටල් (Bluestone Capital Ltd.) ඒකාබද්ධ සමාගම 

| සිලෝන් ස්ටීල් කෝපරේෂන් (Ceylon Steel Corporation Ltd.) 

| ඊ.එම්.එල්. කන්සල්ටන්ට්ස් (EML Consultants PLC) සහ ඉතාලියේ කිමෙටාල් (Kimetal S.r.L.) ඒකාබද්ධ සමාගම

මෙම ආයෝජන ක්‍රියාවලියේ මූල්‍ය උපදේශකවරයා ලෙස ‘ඩිලොයිට් ටච් ටොමට්සු ඉන්දියා’ (Deloitte Touche Tohmatsu India LLP) ආයතනය කටයුතු කරයි.

සෙලින්කෝ කඩාවැටීමේ සිට කැන්විල් දක්වා ආ ගමන

කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව පිහිටි මෙම දේපළ මුලින්ම ආරම්භ වූයේ සෙලින්කෝ සමූහය යටතේ ‘සෙලෙස්ටියල් රෙසිඩෙන්සීස්’ (Celestial Residences) ව්‍යාපෘතිය වශයෙනි. 2008 වසරේදී ගෝල්ඩන් කී මූල්‍ය අර්බුදයත් සමඟ එහි ඉදිකිරීම් අතරමග ඇණහිටි අතර, පසුව රජය මැදිහත් වී 2012 වසරේදී මෙම පරිශ්‍රය පවරා ගත්තේය.

සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනයක් ලෙස 2011 දෙසැම්බර් මස ස්ථාපිත කරන ලද කැන්විල් හෝල්ඩිංග්ස් යටතේ, මෙම පරිශ්‍රය කාමර 458කින් සහ සේවා මහල් නිවාස 100කින් සමන්විත මහල් 47ක සුඛෝපභෝගී සංකීර්ණයක් ලෙස ප්‍රතිව්‍යුහගත කෙරිණි. එහි මූලික කොන්ක්‍රීට් ව්‍යුහය සහ බාහිර මුහුණත සම්පූර්ණ කෙරුණ ද, වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට හැකි වූයේ නැත.

මහජන මුදල් ආයෝජන සහ පිරිවැය ඉහළ යාම

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය සතු ආයතන සෘජුවම මූල්‍ය දායකත්වය ලබා දුන්නේය. සේවක අර්ථසාධක අරමුදල (EPF) මගින් රුපියල් බිලියන 5ක්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම එක්ව ආයෝජනය කළ මුදල සමඟින් සමස්ත රාජ්‍ය ආයෝජනය රුපියල් බිලියන 18.5ක් පමණ විය.

කෙසේ වෙතත්, ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස සේවක අර්ථසාධක අරමුදල සතු කොටස් රජයට පවරා ගනිමින් ඔවුන්ගේ රුපියල් බිලියන 5ක මූලික ප්‍රාග්ධනය මේ වන විට සම්පූර්ණයෙන් නැවත ලබාගෙන ඇත.

2015 දී සිදු කරන ලද වෝහාරික විගණනයකදී හෙළි වූයේ ව්‍යාපෘති ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 13 සිට රුපියල් බිලියන 27 ඉක්මවා ගොස් ඇති බවයි. මීට අමතරව ලිට්‍රෝ ගෑස් සහ හෙලන්කෝ හොටෙල්ස් ගනුදෙනුවලට අදාළව නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක් ද වාර්තා වූ අතර, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ නඩුවකින් අදාළ චූදිතයෝ පසුව නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

නව ආයෝජකයා හමුවේ ඇති අභියෝගය

අමාත්‍යාංශ ඇස්තමේන්තුවලට අනුව, මෙම අඩක් නිමවූ හෝටල් සංකීර්ණයේ අභ්‍යන්තර නිමවුම් හා යාන්ත්‍රික කටයුතු අවසන් කර වාණිජ මට්ටමින් විවෘත කිරීම සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක පමණ (රුපියල් බිලියන 36කට අධික) අමතර ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ.

වසර ගණනාවක් තිස්සේ අවසන් කරගත නොහැකි වූ මෙම දැවැන්ත වත්කම, විශ්වාසදායක පෞද්ගලික ආයෝජකයෙකු වෙත කඩිනමින් පවරාදී සාර්ථක මෙහෙයුම් මට්ටමකට ගෙන ඒම රජයේ මූලික අපේක්ෂාව වී තිබේ.

(https://theleader.lk)

Leave A Comment