‘ජන බලවේගය’ට ආණ්ඩුවේ ආකෘතිය (ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ සීමාව) තීරණය කළ හැකි ද?

19 වන සියවසේ ලිබරල් දේශපාලන චින්තනයේ ප්‍රමුඛ චින්තකයෙකු වූ ජෝන් ස්ටුවර්ට් මිල් විසින් රචිත On Liberty (1859) කෘතිය පුද්ගල නිදහස, ජනතා පාලනය සහ රාජ්‍ය බලය අතර සම්බන්ධතාවය පිළිබඳ ගැඹුරු විමසුමක් ඉදිරිපත් කරයි. මිල්ගේ මූලික තර්කය වන්නේ පුද්ගල නිදහස ආරක්ෂා කිරීම දියුණු සමාජයක පදනම වන අතර, යහපත් ආණ්ඩුවක් ගොඩනැගෙන්නේ ජනතාවගේ ක්‍රියාකාරී සහභාගිත්වය මත බවයි. එහෙත් ඔහුට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ කැමැත්ත අන්ධ ලෙස ක්‍රියාත්මක කිරීමක් නොව, පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ බහුත්වවාදය සමඟ සමතුලිත වූ පාලන ක්‍රමයකි. මේ අනුව, ආණ්ඩුවක ආකෘතිය කොතෙක් දුරට ජනතාවගේ තෝරාගැනීමට අනුරූප වන්නේද යන්න පිළිබඳ විමසීම මිල්ගේ දේශපාලන දර්ශනයේ කේන්ද්‍රීය ප්‍රශ්නයකි.

මිල්ට අනුව ආණ්ඩුවක් යනු ජනතාවට ඉහළින් පිහිටි බල ආයතනයක් නොව, ජනතාවගේ සමාජීය සහ දේශපාලන ජීවිතය සංවිධානය කරන මෙවලමකි. එබැවින් හොඳ ආණ්ඩුවක් යනු ජනතාවගේ බුද්ධිමය හා සදාචාරාත්මක හැකියාවන් වර්ධනය කරන ආණ්ඩුවකි. ජනතාව පාලන ක්‍රියාවලියට සහභාගි වන විට පමණක් ඔවුන් වගකීම් සහගත පුරවැසියන් බවට පත්වන අතර, පොදු යහපත පිළිබඳ අවබෝධයක් ද ගොඩනඟා ගනී. මේ නිසා ජනතා සහභාගිත්වය ආණ්ඩුකරණයේ අත්‍යවශ්‍ය පදනමක් බව මිල් විශ්වාස කළේය.

මෙම අදහස අනුව බලන විට, ජන බලවේගය (බහු ජන අපේක්ෂාව සහ බලය) යනු ආණ්ඩුවේ ආකෘතිය නිර්මාණය කිරීමේ ප්‍රධාන සාධකයකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව මැතිවරණ, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන සහ ජනමතය හරහා ආණ්ඩුවේ ස්වභාවය තීරණය කරති. ආණ්ඩුවක් ජනතාවගේ කැමැත්තට අනුරූප වන්නේ එය ජනතාවගේ අපේක්ෂා සහ අවශ්‍යතා යම් ප්‍රමාණයකට නියෝජනය කරන තරමටය. ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය ද මෙම පදනම මත ගොඩනැඟී ඇත.

කෙසේ වෙතත්, මිල් ජනතාවගේ කැමැත්ත සැමවිටම සාධාරණ හෝ නිවැරදි ප්‍රතිඵල ලබාදෙන බව පිළිගත්තේ නැත. On Liberty කෘතියේ ඔහු විශේෂයෙන්ම “බහුතරයේ ඒකාධිපතිත්වය” (Tyranny of the Majority) පිළිබඳ අනතුරු ඇඟවීමක් කරයි. ඔහු පෙන්වා දෙන්නේ රාජාණ්ඩු පාලකයෙකුගේ ඒකාධිපතිත්වය මෙන්ම බහුතර ජනතාවගේ කැමැත්ත ද පුද්ගල නිදහසට තර්ජනයක් විය හැකි බවයි. බහුතරය තම අදහස් සහ වටිනාකම් සුළුතර කණ්ඩායම් මත බලහත්කාරයෙන් පටවන විට, ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ආරක්ෂා කරන ක්‍රමයක් නොව මර්දනකාරී යාන්ත්‍රණයක් බවට පත්විය හැකිය.

ඒ නිසා මිල්ට අනුව හොඳ ආණ්ඩුවක් යනු ජනතාවගේ කැමැත්ත අනුව පමණක් ක්‍රියාත්මක වන ආණ්ඩුවක් නොවේ. එය පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය නිදහස, විරුද්ධ මත දැරීමේ අයිතිය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන ආණ්ඩුවක් විය යුතුය. ජනතාවගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලාශ්‍රය වුවද, එය ලිබරල් සීමාවන් තුළ ක්‍රියාත්මක විය යුතුය. මෙය මිල්ගේ දේශපාලන දර්ශනයේ අතිශය වැදගත් මූලධර්මයකි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වූයේ දැවැන්ත ආර්ථික අර්බුදයක්, රාජ්‍ය ආයතන පිළිබඳ විශ්වාසයේ පිරිහීමක් සහ කලාපීය මෙන්ම ගෝලීය බල දේශපාලන තරඟකාරිත්වයක් මධ්‍යයේය. එසේම මෙම පාලන බලවේගය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වාමාංශික හා මාක්ස්වාදී දේශපාලන සම්ප්‍රදායන් සමඟ සම්බන්ධකම් පවත්වන ව්‍යාපාරයකින් බිහිවූවකි. එවැනි පසුබිමක බලයට පත්වන ආණ්ඩුවක් දැඩි රාජ්‍ය මැදිහත්වීමක් සහ බලය කේන්ද්‍රගත කිරීමක් අනුගමනය කරනු ඇතැයි ඇතැම් විචාරකයෝ අපේක්ෂා කළහ.

එහෙත්, මේ දක්වා පෙනී යන ආකාරයට වත්මන් ආණ්ඩුව තම ආණ්ඩුකරණ ආකෘතිය යම් මට්ටමකට ජනතාවාදී සහ සහභාගිත්වමය දිශාවකට ගෙන යාමට උත්සාහ දරා ඇති බව පිළිගත යුතුය. දූෂණයට එරෙහි පියවර, රාජ්‍ය ආයතනවල වගවීම ඉහළ නැංවීම, සාමාන්‍ය ජනතාවගේ දුක්ගැනවිලි සහ අපේක්ෂාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, පාලන ක්‍රියාවලියට මහජන විශ්වාසය යළි ගොඩනැඟීමට උත්සාහ කිරීම වැනි කරුණු එහි උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙම අර්ථයෙන් බලන විට ජනතා බලවේගයක් ආණ්ඩුවේ ස්වභාවය හැඩගස්වා ඇති බව පැහැදිලිය.

එහෙත් වත්මන් පාලන බලවේගය තුළම මිල් පෙන්වා දුන් ජනතා වරම සහ ලිබරල් සීමාවන් අතර පවතින ආතතිය ද නිරීක්ෂණය කළ හැකිය. එක් පසෙකින් K.D. ලාල්කාන්ත වැනි නායකයන්ගේ ප්‍රකාශවලින් ජනතා වරමක් ලැබුණු පසු සමාජ පරිවර්තනය සඳහා රාජ්‍ය බලය තීරණාත්මක ලෙස භාවිතා කළ යුතු බවට වූ ප්‍රවණතාවක් නිරූපණය වන බව ඇතැම් විවේචකයෝ පෙන්වා දෙති. එම දෘෂ්ටිකෝණයට අනුව ජනතාව ලබාදුන් ජනවරම භාවිතා කරමින් දූෂණය, අකාර්යක්ෂමතාව සහ පැරණි බල ව්‍යුහයන්ට එරෙහිව ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදය විසින් ලබාදෙන සාධාරණ ප්‍රතිඵලයකි.

අනෙක් පසින් ජනාධිපති අනුර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් නිතර අවධාරණය කරනු ලබන්නේ නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස, ස්වාධීන ආයතන, විවේචනයට ඇති අයිතිය සහ සියලු පුරවැසියන් සඳහා සමාන සැලකීම යන මූලධර්මයන්ය. මෙම ස්ථාවරය අනුව ජනතා වරම වැදගත් වුවද, එය නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මගින් සීමා කළ යුතුය. මෙය මිල්ගේ ලිබරල් දේශපාලන චින්තනයට වඩාත් සමීප ප්‍රවේශයක් ලෙස දැක්විය හැකිය.

කෙසේ වෙතත්, මෙම තත්වය පුද්ගලයන් අතර පවතින සරල මතභේදයක් ලෙස තේරුම් ගැනීම නිවැරදි නොවේ. සැබවින්ම මෙය ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක අභ්‍යන්තරයෙන් මතුවන මූලික ආතතියකි. එක් පසෙක ජනතා වරම මත පදනම් වූ වේගවත් සමාජ පරිවර්තනයේ අවශ්‍යතාව පවතින අතර, අනෙක් පසෙක එම පරිවර්තනය පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ බහුත්වවාදය ආරක්ෂා කරමින් සිදුකළ යුතුය. මිල්ගේ මතය අනුව, ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකත්වය තීරණය වන්නේ මෙම දෙක අතර සමතුලිතතාවය පවත්වා ගැනීමෙනි.

ඇත්ත වශයෙන්ම, වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන අත්දැකීම මගින් මිල්ගේ න්‍යාය තහවුරු වන ආකාරයක් ද දැකිය හැකිය. ජනතාවගේ කැමැත්ත මත බලයට පත්වූ ආණ්ඩුවක් ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට උත්සාහ කරන අතරම, එය මාධ්‍ය නිදහසට ගරු කිරීම, විවේචනයට ඉඩදීම, අධිකරණයේ ස්වාධීනත්වය පිළිගැනීම සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම වැනි මූලධර්මවලට ද බැඳී සිටිය යුතුය. එසේ නොවුවහොත්, ජනතා වරමක් තිබුණද එය බහුතරයේ ඒකාධිපතිත්වයක් බවට පත්වීමේ අවදානමක් පවතී.

තවදුරටත්, ස්ටුවර්ට් මිල් ගේ අදහස් අනුව ආණ්ඩුවක් වර්ධනය වන්නේ ජනතාවගේ මැදිහත්වීම සහ සහභාගිත්වය මගින් බව පැහැදිලිය. ජන බලවේගය යනු ආණ්ඩුවේ සුජාතභාවය ඇතිකරන ප්‍රධාන මූලාශ්‍රය වුවද, ආණ්ඩුවේ ආකෘතිය සම්පූර්ණයෙන්ම ජනතාවගේ, හෝ එම බලවේගයට අයත් ජනතාවගේ හෝ නායකත්වයේ කැමැත්තේ ප්‍රතිබිම්බයක් පමණක් නොවේ. එය පුද්ගල නිදහස, මාධ්‍ය නිදහස, විරුද්ධ මතවලට ගරු කිරීම, නීතියේ ආධිපත්‍යය සහ සමානාත්මතාවය වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මගින් ද හැඩගැසෙයි. වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන අත්දැකීම මෙම සංකීර්ණ සම්බන්ධතාවය මනාව පෙන්නුම් කරන අතර, ජනතා වරම සහ පුද්ගල නිදහස අතර සමතුලිතතාවය පවත්වා ගැනීම යහපත් ආණ්ඩුකරණයේ සැබෑ අභියෝගය බව  ආණ්ඩුව අවබෝධ කර ගත යුතුය.

| ආචාර්ය අතුලසිරි සමරකෝන්
| ආචාර්ය අතුලසිරි සමරකෝන්

(මුහුණ පොතින්)

Leave A Comment