ජීවන වියදම, ඉන්දියානු ආහාර ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ ආනයන පරාධීනත්වය සහ දේශීය කෘෂි ආර්ථිකයේ අභියෝග
- Editor
- May 25, 2026
- විශේෂාංග, ව්‍යාපාරික පුවත්
- 0 Comments
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන විට බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ බදු බර, උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාම පිළිබඳවය. නමුත් එම අර්බුදයේ ගැඹුරුම මූලය වන්නේ රටේ ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම විශාල වශයෙන් විදේශ රටවල් මත රඳා පැවතීමයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව භාවිත කරන අත්‍යවශ්‍ය ආහාර වර්ග බොහොමයක් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පමණක් ආනයනය කිරීම නිසා, එම රටවල ආර්ථික හෝ දේශපාලනික තීරණ ශ්‍රී ලංකාවේ ජීවන වියදමට සෘජුවම බලපාන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
වත්මන් ශ්‍රී ලාංකීය ආර්ථිකය සාර්ව ආර්ථික මට්ටමින් යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළද, එහි සැබෑ ප්රතිලාභ තවමත් සාමාන්‍ය මහජනතාවගේ මුදල් පසුම්බියට දැනී නොමැත. නවතම වෙළෙඳ දත්ත දෙස බැලීමේදී පැහැදිලි වන්නේ දෘශ්‍යමාන ස්ථාවරත්වයට යටින් දැවැන්ත ජීවන වියදම් අර්බුදයක් නැවතත් නිර්මාණය වෙමින් පවතින බවයි. විශේෂයෙන්ම ස්ථාවර වැටුප් ලබන මධ්‍යම පාන්තික පවුල්, වෘත්තිකයන් සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මේ වන විට බදු බර, ආනයනික උද්ධමනය සහ ගෝලීය වෙළෙඳපොළ වෙනස්වීම් හමුවේ දැඩි ලෙස මිරිකෙමින් පවතී.
ශ්‍රී ලංකා රේගු දත්ත (2023-2025) පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ අපගේ දෛනික ආහාර පිඟාන තීරණය කිරීමේ සෘජු බලය පවතින්නේ අසල්වැසි ඉන්දියාව සතුව බවයි. ලංකාව බහුලවම ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක ප්‍රධානතම සැපයුම්කරු ඉන්දියාවයි.
“ඉන්දියානු බලපෑම” සහ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බිහිසුණු යථාර්ථය
ශ්‍රී ලංකා රේගු දත්ත (2023-2025) පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ අපගේ දෛනික ආහාර පිඟාන තීරණය කිරීමේ සෘජු බලය පවතින්නේ අසල්වැසි ඉන්දියාව සතුව බවයි. ලංකාව බහුලවම ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක ප්‍රධානතම සැපයුම්කරු ඉන්දියාවයි.
නොසලකා හැරිය නොහැකි අවදානම: ආනයනික දත්ත පෙන්වා දෙන පරිදි අපගේ ප්‍රධාන ආහාර වන සහල්, ලොකු ලූණු, මිරිස් සහ සීනි සඳහා අප 70% සිට 97% දක්වා අතිදැවැන්ත ප්‍රතිශතයකින් ඉන්දියාව මතම යැපේ.
ඒ අනුව රට තුළ පරිභෝජනය වන බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රධාන සැපයුම්කරු වන්නේ ඉන්දියාවයි. සහල් ආනයනයෙන් 95%කට අධික ප්‍රමාණයක්, ලොකු ලූණු 75%කට ආසන්න ප්‍රමාණයක්, වියළි මිරිස් 97%කට ආසන්න ප්‍රමාණයක්, කඩල 73%ක්, කව්පි 80%කට වැඩි ප්‍රමාණයක් සහ රතු ලූණු 97%කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම සීනි 70% ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් පැමිණේ. මෙය සාමාන්‍ය වෙළෙඳ සබඳතාවක් නොව, “ආහාර ආරක්ෂාව සම්බන්ධ භයානක පරාධීනත්වයක්” ලෙස හැඳින්විය හැකි තත්ත්වයකි.
ඉදිරි මාස කිහිපය තුළ ජීවන වියදම ඉහළ යාමට බලපාන ප්‍රධාන කරුණු
මෙම ආර්ථික පීඩනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් උග්‍ර වීමට බලපාන ප්‍රධාන සාධක ත්‍රිත්වයක් හඳුනාගත හැකිය:
විනිමය අනුපාත අස්ථාවරත්වය: ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය උච්චාවචනය වීම (ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 සීමාව ඉක්මවා යාම) හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ සෘජු අවදානමක් මතුව ඇත. විශේෂයෙන් පරිප්පු,සීනි,කිරි පිටි,වියළි මිරිස්,තිරිගු පිටි,කඩල, වැනි දේශීය වශයෙන් නිෂ්පාදනයක් නොවන සහ සුළු වශයෙන් නිෂ්පාදනයක් ඇති සියළු ආහාර වර්ග..
සංකීර්ණ සහ අසමාන බදු ව්‍යුහය: රජය විසින් බදු දැල පුළුල් කිරීමේ අරමුණින් වැට් (VAT) බද්ද, ආනයන බදු සහ විවිධ සේවා බදු ඉහළ නැංවීම භාණ්ඩ හා සේවා මිල ක්ෂණිකව ඉහළ යාමට හේතු වී ඇත.
භූ-දේශපාලනික සහ කලාපීය අපනයන සීමා: මැදපෙරදිග නොසන්සුන්තාව හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන (නාවික) ගාස්තු ඉහළ යාම මෙන්ම කලාපීය දැවැන්තයින්ගේ නව ආර්ථික ප්‍රතිපත්ති මීට ප්‍රධානතම හේතුව වී ඇත.
මෙවැනි පසුබිමක් තුළ ඉන්දියාව මේ වනවිට සීනි අපනයනය සීමා කිරීම හෝ නවතා දැමීම වැනි තීරණ ගෙන තිබීම ශ්‍රී ලංකාවට බරපතළ අනතුරු සංඥාවකි. විශේෂයෙන් සීනි තොග මිල සතියක් ඇතුලත කිලෝවක් රුපියල් 50.00 කට ආසන්න මිලකින් ඉහළ ගොස් ඇත. ඉන්දියාව ගෝලීය වෙළෙඳපොළේ තම දේශීය පාරිභෝජනය ආරක්ෂා කිරීම සඳහා ආහාර අපනයනය සීමා කිරීමට යොමු වීම අලුත් දෙයක් නොවේ. මීට පෙර සහල්, ලොකු ළුණු සහ සීනි සම්බන්ධයෙන්ද ඔවුන් එවැනි තීරණ ගෙන තිබේ. ඒ අනුව ඉදිරි මාසවලදී ඉන්දියාව තම දේශීය වෙළෙඳපොළ ස්ථාවර කර ගැනීම සඳහා වෙනත් ආහාර ද්‍රව්‍ය අපනයනයටද සීමා පැනවුවහොත්, ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානම ඉතා ඉහළය. ලෝක ආර්ථික කම්පනය ඉන්දියාවට ඇතිකර ඇති බලපෑම ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉහළයාමට සෘජුවම හේතු වනු ඇත. දේශීය වශයෙන් වී නිෂ්පාදනය අතින් ඉහළ තත්වයක මේවනවිට අප සිටියද සමස්ථ වී සහල් අගයදාමය තුළ 40% කට ආයන්න යෙදවූම් ප්‍රමාණයක් ආනයන මත රැදී ඇත. ඒ අනුව විදේශ විනිමය බලපෑම සහල් මිලටද සෘජුව හෝ වක්‍රව බලපෑම් ඇති කරනු ඇත. සාමාන්‍යයෙන් ජීවන වියදම තුළ 50% කට ආසන්න ප්‍රමාණයක් ආහාර ද්‍රව්‍ය සඳහා වියදම්කලද මේ වනවිට ආහාර නොවන වියදම සැලකියයුතු ලෙස ඉහළයාම ජීවන වයදමට සෘජුවම බලපෑමක් ඇතිකර ඇත. ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම විදුලිබිල 95 % ක් වැඩි නොවු කණ්ඩායමටද එම වැඩිකර ඇති 5% තුලින් ඇතිකරනු ලබන වක්‍ර බලපෑම ප්‍රධානවම ජීවන වියදමට බලපානු ඇත.
ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මේ දිනවල ජනතාවගෙන් ඉල්ලා ඇති පියවරද මෙම තත්ත්වයේ ගැඹුර පැහැදිලි කරයි. ඉන්ධන භාවිතය අඩු කිරීම, කාර්පූල් ක්‍රම භාවිතා කිරීම, විදුලි වාහන භාවිතය, විදේශ සංචාර සීමා කිරීම, රන් මිලදී ගැනීම් කල් දැමීම, ආහාරයට ගන්නා තෙල් භාවිතය 10%කින් අඩු කිරීම, දේශීය නිෂ්පාදන භාවිතය සහ රසායනික පොහොර භාවිතය අඩු කිරීම වැනි යෝජනා ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ “ජාතික ආර්ථික ආරක්ෂාව” යන සංකල්පය යටතේය.
මෙහි වැදගත් කරුණ වන්නේ, ඉන්දියාව වැනි විශාල ආර්ථිකයක් පවා ගෝලීය ආර්ථික අර්බුද, බලශක්ති මිල ඉහළ යාම සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සැලකිලිමත් වෙමින් දේශීය නිෂ්පාදනය හා පරිභෝජන පාලනය වෙත යොමු වීමයි. එවැනි තත්ත්වයකදී, ආහාරයෙන් සහ ඉන්ධනවලින් විශාල වශයෙන් ආනයන මත රඳා පවතින ශ්‍රී ලංකාව වඩාත් අවදානම් තත්ත්වයක පසුවන බව පැහැදිලිය.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ජීවන වියදමට බලපාන ආකාරය බහුමානීය වේ. පළමුව, ආනයන සීමා හෝ සැපයුම් අඩුවීම් හේතුවෙන් වෙළෙඳපොළේ හිඟයක් ඇතිවුවහොත් භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යයි. දෙවනුව, ආනයනික භාණ්ඩ සඳහා විකල්ප වෙළෙඳපොළ සොයා ගැනීමට සිදුවීම නිසා ප්‍රවාහන සහ ගනුදෙනු පිරිවැය ඉහළ යයි. තෙවනුව, ඩොලර් ඉල්ලුම වැඩිවීම නිසා රුපියලේ අගය තවදුරටත් පිරිහිය හැකිය. මෙම සියලු බලපෑම් අවසානයේ සුළු හා මධ්‍යම පාන්තික පවුල්වල දෛනික ජීවිතයට සෘජුවම බලපායි.
මෙය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය:
ආහාර හිඟය සහ මිල ඉහල යාම: ඉන්දියාව තම රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සහල්, ලොකුලූණු හෝ මිරිස් අපනයන සීමා පැනවුවහොත් හෝ බදු ඉහළ දැමුවහොත්, ලංකාවේ වෙළෙඳපොළ තුළ මෙම භාණ්ඩවල මිල ක්ෂණිකව දෙගුණ තෙගුණ වනු ඇත.
විකල්ප වෙළෙඳපොළවල අධික පිරිවැය: ඉන්දියාවෙන් බැහැරව පාකිස්ථානය (ලොකු ලූණු 21.7%), බ්‍රසීලය (සීනි 12.1%) හෝ ඕස්ට්‍රේලියාව වැනි ඈත රටවලින් භාණ්ඩ ආනයනය කිරීමට සිදු වුවහොත්, නාවික ගාස්තු සහ ප්‍රවාහන කාලය වැඩි වීම නිසා ජීවන වියදම් පීඩනය තවදුරටත් දරුණු වේ.
කෘෂිකාර්මික යෙදවුම් හිඟය: ඉන්දියාව රසායනික පොහොර නිෂ්පාදනය සහ භාවිතය සීමා කිරීම නිසා ලංකාවට ආනයනය කරන කෘෂි රසායන සහ පොහොර මිල තවදුරටත් ඉහළ ගොස් දේශීය ගොවියා තවත් අසරණ වේ
වත්මන් බදු ව්‍යුහය මධ්‍යම පාන්තිකයාගේ ජීවන විදයමට ඇතිකරන බලපෑම
මෙම කලාපීය ආර්ථික බලපෑම් මැද, මෙරට වැඩිම බදු බරක් උසුලන මධ්‍යම පාන්තිකයා වත්මන් බදු ප්‍රතිපත්ති හමුවේ එකම ආදායම මත “දෙවරක් බදු ගෙවීමේ” හැඟීමකින් මිරිකෙයි:
විශේෂයෙන් බදු බර සහ ආනයන පිරිවැය එකට එක්වීම නිසා මධ්‍යම පාන්තික ජනතාව “දෙපැත්තෙන්ම පීඩාවට” පත්වෙමින් සිටී. ආදායම් බදු ගෙවීමෙන් පසුද, වැට් බද්ද, සේවා ගාස්තු සහ ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම නිසා ඔවුන්ගේ ශුද්ධ ආදායම වේගයෙන් අඩුවෙමින් පවතී. විදුලිය, ප්‍රවාහනය, අධ්‍යාපනය, ආහාර සහ සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය වියදම් පවා දැන් මධ්‍යම පාන්තික පවුල් සඳහා බරපතළ ආර්ථික අභියෝගයක් වී තිබේ.
සෘජු බලපෑම: උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) දැඩි වීම නිසා වෘත්තිකයන්ගේ අත රැඳෙන ශුද්ධ ආදායම (Disposable Income) පහත වැටී ඇත.
වක්‍ර බලපෑම: වැට් (VAT) බදු ලියාපදිංචි කිරීමේ සීමාව රුපියල් මිලියන 36 දක්වා පහත හෙළීම නිසා කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර රාශියක් බදු දැලට හසුවී එදිනෙදා භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත. මීට අමතරව ඩිජිටල් සේවා මත පනවා ඇති වැට් බද්ද, මූල්‍ය සේවා වැට් බද්ද (20.5% දක්වා) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) නිසා අධ්‍යාපනික, ප්‍රවාහන හා බැංකු වියදම් දරාගත නොහැකි මට්ටමට පත්ව ඇත.
මධ්‍යම පාන්තික පීඩනය අවම කිරීමට විසඳුම්:
ආදායම් බදු අයකර ගැනීමේදී පුද්ගලයෙකුගේ දරුවන්ගේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වියදම් සඳහා බදු සහන (Tax Reliefs) ලබා දිය යුතුය.
වක්‍ර බදු (Indirect Taxes) මත පමණක් යැපෙන්නේ නැතිව, මෙතෙක් බදු දැලට හසු නොවූ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් නිසි ලෙස හඳුනාගෙන සෘජු බදු පදනම පුළුල් කළ යුතුය.
මෙහිදී වැඩිම බලපෑමක් එල්ල වන්නේ කෘෂිකර්ම අංශයටය. ශ්‍රී ලංකාවේ ගොවියා භාවිත කරන බීජ, පොහොර, කෘෂි රසායන, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ බොහොමයක්ද ආනයන මත පදනම් වේ. එබැවින් ආනයන සීමා, ඩොලර් අර්බුද සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා ගොවියාගේ නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ යයි. නමුත් වෙළෙඳපොළේ තැරැව්කරුවන්ගේ බලපෑම නිසා එම පිරිවැයට සාපේක්ෂව ගොවියාට ලැබෙන ආදායම ඉහළ නොයයි. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා ගොවීන් ක්ෂේත්රයෙන් ඉවත් වීමේ අවදානම වැඩිවෙමින් පවතී.
මෙවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ කෙටි කාලීන සහන පමණක් නොව, ආහාර හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිළිබඳ මූලික නැවත සිතීමකි. ඉන්දියාව මේ වනවිට “දේශීය නිෂ්පාදනය, පරිභෝජන පාලනය සහ ආනයන අවම කිරීම” මත පදනම් වූ ආර්ථික ආරක්ෂණ ප්‍රවේශයක් ගෙන යන අතර, ශ්‍රී ලංකාවද ඒ පිළිබඳ ගැඹුරින් සිතිය යුතු අවස්ථාවක පසුවේ.
ඒ සඳහා පළමුව ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල දේශීය විකල්ප නිෂ්පාදනය ශක්තිමත් කළ යුතුය. , ආනයන ආදේශන ලෙස මෙන්ම දේශීයව වගාකළහැකි කව්පි, ලූණු, අර්තාපල්, මිරිස් සහ තෙල් බෝග වැනි ද්‍රව්‍ය සඳහා ජාතික නිෂ්පාදන වැඩසටහන් තවදුරටත් පුළුල්කළයුතව ඇත. දෙවනුව, කාබනික සහ දේශීය කෘෂි යෙදවුම් භාවිතය වැඩි කර ආනයනික පොහොර හා රසායනික ද්‍රව්‍ය මත ඇති යැපීම අඩු කළ යුතුය. තෙවනුව, ශීත ගබඩා, පසු අස්වනු කළමනාකරණය සහ කලාපීය ආහාර සැකසුම් කර්මාන්ත දියුණු කිරීම මඟින් දේශීය ආහාර සැපයුම් පද්ධතිය ශක්තිමත් කළ යුතුය.
එමෙන්ම ගොවියා සහ පාරිභෝගිකයා සෘජුව සම්බන්ධ කරන ඩිජිටල් වෙළෙඳපොළ ක්‍රමවේද හඳුන්වා දීම, නාගරික ගෘහස්ථ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රාදේශීය ආහාර භාවිතය වැඩි කිරීමද අත්‍යවශ්‍ය වේ.
අවසානයේ පැහැදිලි වන්නේ, ජීවන වියදම් අර්බුදයට සහ ආහාර ආරක්ෂණ අවධානමට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ බදු සහන හෝ තාවකාලික ආනයන පාලන මඟින් පමණක් නොවන බවයි. දේශීය නිෂ්පාදනය, කෘෂිකාර්මික නවීකරණය, ආහාර ස්වයංපෝෂිතභාවය සහ ජාතික ආර්ථික ආරක්ෂාව යන කරුණු එකට සම්බන්ධ වූ නව ආර්ථික දැක්මක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබේ. ඉන්දියාව තමන්ගේ අභ්‍යන්තර ආර්ථික ආරක්ෂාව සඳහා ගන්නා පියවර ශ්‍රී ලංකාවටද පැහැදිලි පණිවිඩයක් ලබා දෙයි — “අධික ආනයන පරාධීනත්වය මත ගොඩනැගුණු ආර්ථිකයක් දිගු කාලීනව ස්ථාවර නොවේ” යන්නයි. ඒ අනුව ඉදිරි මාස කිහිපය ආර්ථික වශයෙන් අතිශය තීරණාත්මක වනු ඇත. ඉන්දියාව තමන්ගේ රට රැකගැනීම සඳහා දැඩි සීමාවන් පනවන විට, තවදුරටත් ආනයන මතම යැපීමට ශ්‍රී ලංකාවට නොහැක. බදු බරින් මධ්‍යම පාන්තිකයා මිරිකෙද්දී සහ කලාපීය සැපයුම් ජාල බිඳ වැටෙද්දී, එයින් බේරීමට ඇති එකම ස්ථිර විසඳුම වන්නේ බදු ඉහළ දැමීම හෝ ණය ගැනීම නොව, “අපනයනය සඳහා නිෂ්පාදනය සහ ආනයනයට විකල්ප නිෂ්පාදනය” යන දේශීය කෘෂි ආර්ථික රටාව ශක්තිමත් කිරීම පමණි.

(ඩබ්.එච්.දුමින්ද ප්‍රියදර්ශන – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ආහාර පද්ධති අංශ ප්‍රධාන,ප්‍රවීන කෘෂි ආර්ථික විශ්ලේෂක සහ අධි පර්යේෂක,)
