තොරතුරු කොමිසමේ වැටුප් වැඩි කරන්න පනත් සංශෝධනය කරන්න අවශ්‍ය නැහැ
තොරතුරු කොමිසමේ වැටුප් ප්රශ්නය කොමිසමේ මන්දගාමීභාවයට හේතුවක් ලෙස දක්වමින්,එම කොමිසමේ වැටුප් වැඩි කිරීමට එකී පනත සංශෝධනය කිරීමට අවශ්‍ය බව කීම සම්පූර්ණ වැරදි මතයක්.

මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා කොමිසමේ නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධව තීන්දු ගැනීමේ පූර්ණ අයිතිය ජනමාධ්‍ය ඇමැතිවරයාට තිබෙනවා. එම නිසා තොරතුරු කොමිසමේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පනත සංශෝධනය කළ යුතු නැති බව නීතිඥ දිසානායක දසනායක මහතා පෙන්වා දෙයි. තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලතල සහ වගකීම ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යවරයාට.මෙම පනත වෙන කිසිම නීතියකට යට කළ නොහැකියි .එසේම තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාවෙන් තහවුරුකර ඇතිි බව ද නීතිඥ දිසානායක දසනායක මහතා පැවසීය.
නීතිඥ දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ,තොරතුරු දැන ගැනීමේ පනත සංශෝධනය කළ යුතුද මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතන පසුගියදා (09) පැවැත් වූ සම්මන්ත්‍රණයේදීය.
තොරතුරු දැනගැනීමේ පනත අපේ රටේ බලාත්මක වී දැන් වසර දහයක් සම්පූර්ණයි.මුල් කාලයේ ජනතාව හෝ රජයේ නිලධාරීන් මෙම පනත පිළිබඳ නිවැරදි අවබෝධයක සිටියේ නැහැ.මෙම පනතින් තොරතුරු ගැනීම ගැන අවධානය යොමු කළත් මෙය මූලික අයිතිවාසිකමක් ලෙස පරිහරණය කිරීමට තාමත් අපේ සමාජය උනන්දු වෙන්නෙ නැහැ. එයට හේතුව අපි සොයා බැලිය යුතුයි. එම නිසා මෙම පනත පිළිබඳව පසුගිය වසර දහය පුරා සිදු වූ ප්රගමනය පිළිබඳ ඇගයීමක් කර අඩුපාඩු විමසා බැලිය හැකියි.ඒ වගේම මෙම පනත බලාත්මක කරන්න කියා රජයට බල කිරීමේ අයිතියක් මේ පනතෙන්ම පුරවැසි සමාජයට තිබෙන බවත්,මෙම පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම හා බලය මේ පනතෙන්ම පවරා ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යවරයාට නිසා, ඔහු එම වගකීම ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ පිළිබඳව පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිදැයි දැන් විමසා බලන්න හැකියාව ඇත. එම නිසා මෙවැනි කාලයක මෙම පනත සංශෝධනය කළ යුතු ද යන්න ගැටලුවක් බව නීතිඥ දිසානායක මහතා පෙන්වා දුන්නේය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ නීතිඥයා දිසානායක මහතා පෙන්වා දුන්නේ, මේ පනතේ හතරවෙනි වගන්තියේ සඳහන් අන්දමට මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර වෙනත් පනතක් සමග ගැටෙනවා නම් එතැන දී උත්තරීතර වන්නේ මෙම තොරතුරු දැන ගැනීමේ පනත බවයි.එසේම ව්‍යවස්ථාවට අනුව තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක්. යම් ආකාරයකින් ඇමතිවරයා තොරතුරු දැන ගැනීමේ පනත නිසියාකාරව ක්‍රියාත්මක නොකරනවා නම්,ඒය පුරවැසියාගේ තොරතුරු දැන ගැනීමේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් හැටියට පුරවැසියාට ඇමතිවරයාට එරෙහිව අධිකරණයට හැකි බව ද දිසානායක මහතා පෙන්වා දුන්නේය. තොරතුරු දැන ගැනීමේ කොමිසම ක්‍රියාත්මක කරන්නේ අධිකරණ කාර්යභාරයක් නිසා එයට පත් කළ යුත්තේ ඊට සුදුසු පුද්ගලයන් බවත්,කොමිසමම තමන්ට සීමා දමාගෙන කොමිසම තුළින්ම කොමිසම අඩපණ කිරීමක් පේන්න තිබෙනවා. 2018 වනතුරු මෙම කොමිසමේ මූල්‍ය කටයුතු ස්වාධීනව ක්‍රියාත්මක වුවත් වර්තමානයේ එම වැය ශීර්ෂය ඇතුළත්ව ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේමය.
මෙම සංවාද මණ්ඩපය මෙහෙයවමින් අදහස් දැක් වූ වෙරිටේ ආයතනයේ නීතීය සහ රාජ්‍ය කරන අංශයේ ප්‍රධානී නීතීඥ සංඛිතා ගුණරත්න මහත්මිය පෙන්වා දුන්නේ,
තොරතුරු අයිතිය ජනතාව අතරට යන්න යන්න මෙම පනත දේශපාලඥයන්ට හා නිලධාරීන්ට යම් අවදානම් සහිත එකක් ලෙස දැනෙන විට පනත සංශෝධනය කරන්න ඕනැම රජයක් උත්සාහ කරනු ඇතැයි මෙම පනත් ක්‍රියාත්මක මුල් අවධියේම මේ පිළිබඳ උනන්දුවක් දක්වන කණ්ඩායම් උපකල්පනය කර තිබූ බවය.
එසේම තොරතුරු නොදී සිටීමට පනතේ පස්වෙනි වගන්තිය පොදු අධිකාරීන් වැරදි ලෙස උපයෝගී කරගන්න උත්සාහ ගන්නා බව ද පෙන්වා ඇය දුන්නාය.
මෙම සාකච්ඡාවට කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ දේවිකා නාගරවත්ත මිය, මාධ්‍යවේදී රාහුල් සමන්ත, මාධ්‍යවේදී සිවලිංගම් ශිවකුමාර් සහ ජනමාධ්‍යවේදීන් සිවිල් ක්‍රියාකාරිහු රාශියක් එක් වූහ.
| උපුල් ජනක ජයසිංහ
