ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරන්න – ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය

ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරමින් විහාර දේවාලගම් පනතට සංශෝධන ගෙන ඒ්මට ද පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

නීති විරෝධි විෂ මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදි බෞද්ධ භික්ෂුන් වහන්සේලා නියේජනය කරන ලද විසි දෙදෙනෙකුගෙන් සමන්විත පිරිසක් අත්අඩංගුවට පත් වූ පුවත අසා අප මහත් ලෙස කම්පනයට පත්වීමු.

ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟිමේ ක්‍රියාවලියේ දි මූලික පාදම වූ සංස්කාතික හා සභ්‍යත්ව සාරධර්මයන් ඊට අවශෝෂණය කළ  අතිපූජනීය බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ගෞරවයට හා යහපැවැත්මට මුවා වෙමින් ක්‍රියා කළ පිරිසක් මෙවැනි නීතී විරෝධි ක්‍රියාවක නිරතවීම අතිශයෙන්ම බැරැරුම් තත්ත්වයකි. ඒ් පිළිබඳව ලැබී ඇති ජාත්‍යන්තර අවධානය සැළකීමේදි රටට මහත් අපකීර්තියක් ගෙන දුන් සිදුවීමකි. මෙම පසුබිම තුළ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරවීම අතිශයින්ම වැදගත් වන බව අපගේ හැඟීමයි.

එමෙන් මෙවැනි ශාසනික විලෝපනයන් ඇති වන අවස්ථාවන්හි දි මේ රටේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති ශාසන භාරධාරීන් වහන්සේලා මෙන් ම රාජ්‍ය බලධාරින් ද අතීතයේ ක්‍රියා කර ඇති ආකාරය සැළකිල්ලට ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ ඇති වැදගත්කම ද අවධාරණය කල යුතුව ඇත.

එහි දි නූතන නීතී රාමුව තුළ අධිකරණය හමුවේ නිසි දඬුවම් ලබාදිමේ හැකියාව මැනවින් තහවුරු කර තිබුණ ද ශාසනික පාරිශුද්ධීය උදෙසා අත්‍යාවශ්‍යයෙන්ම ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේ දි අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කාරක සංඝ සභාවන් හමුවේ ඇති තීරණාත්මක බාධක ඉවත් කිරිම ද ජාතික වගකීමක්ව පවතින බව අවධාරණය කළ යුත්තෙමු.

ඒ් සඳහා මෙරටේ ශාසන හිතකාමීන් මැදිහත් වෙමින් අති පුජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා බහුතරයකගේ ආශිර්වාදය ඇතිව ක්‍රියාමාර්ග කිහිපයක් ම යෝජනා කර තිබේ. ථේරවාදි කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනතක ඇති අවශ්‍යතාවය හා විහාර හා දේවාල ගම් පනතෙහි 41 හා 42 යන වගන්තිවලට සිදු කල යුතුව ඇති සංශෝධන ඒ් අතර ප්‍රමුඛ විය.

ඒ සඳහා වන යෝජනා පසුගිය කාලය තුළ අප විසින් රජයන් කිහිපයකටම ඉදිරිපත් කර ඇත. එමෙන් ම වර්තමාන රජයේ අවධානයට ද යොමු කර තිබේ.

එහි දි ශ්‍රී ලංකාවේ ථේරවාදි භික්ෂුන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාලව කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද; සෑම භික්ෂුන් වහන්සේ නමක් විසින් ම එකි භික්ෂුන් වහන්සේට අදාල වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධි විධානවලට අනුකූලව  ක්‍රියා කල යුතු බවට විධි විධාන සැළැස්වීම සඳහා ද; යම් ලියාපදිංචි කරන ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්ෂුන් වහන්සේලාට දණ්ඩණ පැනවීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ අනුශාංග කාරණා සඳහා විධිවිධාන සැළැස්වීම සඳහා ද; එම පනත මඟින් අරමුණු කොට තිබුණි.

ඒ් සඳහා සකස් කළ පනත් කෙටුම්පත 2015 දෙසැම්බර් මස 11 වන දින ගැසට් කරන ලද අතර එය බලාත්මක කරගැනීම මේ දක්වාම නොහැකිවීම පිළිබඳව ශ්‍රී ලාංකේය සමස්ත බෞද්ධ ප්‍රජාවම කම්පාවට පත් විය යුතු ය.

එවැනි නෛතික තත්ත්වයක් තහවුරු කරගන්නා තුරු ශාසන විලෝපිතයන් ලෙස ක්‍රියා කරන භික්ෂු ප්‍රතිරූපකයන්ට ක්‍රියාමාර්ග ගැනිම සඳහා කිසිදු නිකායක ‌හෝ පාර්ශ්වයක ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කාරක සංඝ සභාවන්ට බලයක් හිමි නොවනු ඇත.

එබැවින් අප ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉතාමත් ඔිනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ ශ්‍රීමත් මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනයන්ට කන්දෙමින් ථේරවාදි භික්ෂු කතිකාවත් පනත නොපමාවම සම්මත කර දෙන ලෙස ය. එමෙන් ම විහාර හා දේවාලගම් පනතට අවශ්‍ය සංශෝධනයන් ගෙන එමින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනයේත් චිරස්ථිතිය උදෙසා රාජ්‍යයේ වගකීම සපුරා දෙන ලෙස ය.

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය

නායක

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Leave A Comment