පළාත් සභාවලට පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ම අනුපිටපතක් වීමට අවශ්‍ය නෑ – ආචාර්ය සුජාතා ගමගේ
- Editor
- July 7, 2026
- CNL සතියේ දේශපාලන විවරණය
- 0 Comments
පළාත් පාලනය යනු වෙනම ම ක්‍රමයකි. පළාත් සභා ක්‍රමය යනු ප්‍රතිප්තතිමය තීන්දු – තීරණ ගන්නා තැනකි. ඒ අනුව පළාත් සභා මැතිවරණය පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ම අනුපිටපතක් වීමට අවශ්‍ය නැත. එසේම මැතිවරණ වියදම් සම්බන්ධ නීතිරීති තිබෙන අතර පළාත් පාලන මැතිවරණයේ දී ක්‍රියාත්මක විය. එම අත්දැකීම් ද මෙහි දී භාවිතා කරමින් මැතිවරණ වියදම් අඩු කර ගන්නා ආකාරය හඳුනා ගත හැකිය.
‘කාන්තා සහ තරුණ නියෝජනය සහතික කරමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගතයුතු මග’ යන තේමාව සම්බන්ධයෙන් කතිකාව සංවාද ගණනාවක් පවත්වා තිබේ. එනිසා මෙවර කතිකාවේ දී ‘මැතිවරණ ක්‍රමය’ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.
අවසාන වරට පළාත් සභා මැතිවරණයක් පවත්වන ලද්දේ 2014 දීය. ඒ අනුව 2017 වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණ ද විවිධ හේතු මත එය කල්දැමීමට එවකට පැවැති ආණ්ඩු පියවර ගත්තේය. නමුත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටියේය.
වර්තමාන සන්දර්භය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කර තිබේ. එහෙත් එය පැවැත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පවතී.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම යෝජනා හතරක් පසුගිය දා ඉදිරිපත් කර තිබුණේය. නමුත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ පළාත් සභා මැතිවරණය ‘වහාම කලින් පැවති ක්‍රමයටම, සමානුපාතික ක්‍රමයට පැවැත්විය යුතු බවයි’. ඊට හේතුව වන්නේ 2017 දී අනුමත වුණ මැතිවරණ ක්‍රමයට අනුව සීමා නිර්ණය පිළිබඳ ගැටලුවක් පැවතීමය. සීමා නිර්ණය සම්බන්ධ ගැටලුවක් උද්ගත වීම යනු පළාත් සභා මැතිවරණය කල් දැමීමක් බව මේ වන විට පැහැදිලි වී ඇති කරුණකි. ඊට හේතුව වන්නේ පසුගිය සීමා නිර්ණය කොතරම් තාක්ෂණික ලෙස සිදු කළත් එහි ගැටලු රැසක් පැවතීමය. එනිසා එම සීමා නිර්ණය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කළ නොහැකි කරුණකි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ද මේ සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කර ඇත. එහි ස්ථාවරය වන්නේ 2024 දී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පුද්ගලික මන්ත්‍රී යෝජනාව අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. එම පුද්ගලික මන්ත්‍රී යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට ‘කිසිම අපහසුතාවක්’ නොමැති බව අපගේ අදහසයි. එම යෝජනාව අනුව පළාත් සභා මැතිවරණය 2017ට පෙර පැවති සමානුපාතික ක්‍රමයට පැවැත්විය යුතුය.
තවත් ප්‍රශ්නයක්
මේ ආකාරයට කටයුතු කරන්නේ නම් යළි මතු වන ප්‍රශ්නයක් ද තිබේ. ඒ ‘තරුණ කාන්තා නියෝජනයක් නොතිබීම’ය. ඊට හේතුව වන්නේ 2017 සංශෝධනයේ දී පළාත් පාලනයට සමගාමීව (ඒ වගේම) කාන්තා නියෝජනයක් යෝජනා කිරීමයි. ඒ අනුව ආසන ගණන් 50%ක් සහ එයින් 1/6ක් ද, ලැයිස්තුවෙන් 50%ක් සහ එයින් 50%ක් කාන්තාවන් විය යුතු අතර අවසානයේ සභාවේ සංයුතියෙන් 25%ක් කාන්තාවන් විය යුතු බවට යෝජනා විය.
වත්මන් පළාත් පාලන ආයතනවල 25%ක කාන්තා නියෝජනයක් පවතින නමුත් පැරණි මැතිවරණයට ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගතහොත් පළාත් සභාව තුළ 25%ක කාන්තා නියෝජනයක් සහතික කළ නොහැකිය.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස ගත හැකි පියවරක් ද තිබේ. ඒ අදාළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලැයිස්තුවේ යම්කිසි ප්‍රමාණයක කාන්තා නියෝජනයක් සහතික කිරීමය. නමුත් අවසානයේ තේරී පත් වන පිරිස අතරින් 25%ක් කාන්තාවන් විය යුතුය යන සහතික කිරීම කළ නොහැකිය.
හොඳ අවස්ථාවක්
මේ තත්ත්වය හමුවේ ‘හොඳ අවස්ථාවක්’ ද නිර්මාණය වී තිබේ. සමානුපාතික ක්‍රමය සහ මිශ්‍ර මැතිවරණය ක්‍රමය දෙස විචාරාත්මකව බලා ‘ඇත්තටම පළාත් සභා මට්ටමට සහ පාර්ලිමේන්තු මට්ටමට වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගැනීමට’ හැකියාවක් ද නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ මේ වන විට මිශ්‍ර මැතිවරණ ක්‍රමය පළාත් පාලන මැතිවරණ දෙකක දී අත්හදා බලා තිබීම ය. ඒ අනුව මිශ්‍ර මැතිවරණ ක්‍රමයේ පවතින ගුණ – දොස් සාකච්ඡා කිරීමකින් පසු වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගත හැකිය.
නමුත් පළාත් පාලනය යනු වෙනම ම ක්‍රමයකි. පළාත් සභා ක්‍රමය යනු ප්‍රතිප්තතිමය තීන්දු – තීරණ ගන්නා තැනකි. ඒ අනුව පළාත් සභා මැතිවරණය පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ම අනුපිටපතක් වීමට අවශ්‍ය නැත. එසේම මැතිවරණ වියදම් සම්බන්ධ නීතිරීති තිබෙන අතර පළාත් පාලන මැතිවරණයේ දී ක්‍රියාත්මක විය. එම අත්දැකීම් ද මෙහි දී භාවිතා කරමින් මැතිවරණ වියදම් අඩු කර ගන්නා ආකාරය හඳුනා ගත හැකිය.
සමානුපාතික මැතිවරණ ක්‍රමයේ පවතින ප්‍රධාන දුර්වලතාවක් ලෙස දකින්නේ වියදම වැඩි වීමය. ඊට හේතුව වන්නේ අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ බල ප්‍රදේශයේ ආවරණය කළ යුතු භූමි ප්‍රමාණය වැඩි වීමය. මේ සම්බන්ධයෙන් ද ගැඹුරින් සාකච්ඡා කිරීමට අවස්ථාවක් තිබේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ වැඩසටහන්’ මාලාවේ කතිකාවේදී ඉදිරිපත් කළ අදහස් ඇසුරිණී.
සටහන – තුෂාල් විතානගේ

