මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) ; අජිත් අමරසිංහ
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින් ඔබ්බට නොගොස් එකතැන පල්වෙමින් පවතී.
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ මතය
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට අනුව මහාවංශයේ සඳහන්වන අන්දමට ධර්මාශෝක අධිරාජයාගේ පුතෙකුවූ මහින්ද නම් මහරහතන්වහන්සේ නමක්, උතුරු ඉන්දියාවේ සිට අහසින් මිස්සක පවුවට වැඩ, ඒ වනවිට ලංකාවේ රජකම්කල දේවානම්පියතිස්ස රජු බෞද්ධයෙකු කලපසු, ලංකාව බෞද්ධ රටක් වූයේ යැයි යන්න මිත්‍යාවකි. අද මහින්දාගමනය ලෙස හඳුන්වනු ලබන මේ සිදුවීම මිත්‍යා කතන්දරයෙකි. ඔහුට අනුව මේ කථාව පසුකලක ලංකාවේ බහුතර ජනතාව බෞද්ධයන්වූ පසු මහාවංශය රචනා කල හිමිනම විසින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස, තමන් සිංහල බෞද්ධයන් වීම සාධාරණීකරණය කිරීම පිනිස ගොඩනැගූ මිත්‍යා කතන්දරයකි.
මහින්දාගමනය සිදුවීද නැත්ද පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශකර ඇත්තේ විද්‍යාත්මක ඉතිහාසකරණය මත පදනම්ව සිදුකල මතයක් නොව, ඔහුගේ පුද්ගලික මතය බව මේ සිදුවීම පිළිබඳව අදාල ඉතිහාස සාධක විමසනවිට පැහැදිළිවේ.
කකුල් දෙකකුත්, අත් දෙකකුත්, කඳකුත්, හිසකුත් ඇති මිනිස් ලක්ෂණ ඇති සප්රානික ජීවියෙකුට අපි මිනිසෙකු යැයි කියමු. මේ මිනිසාගේ කකුලක් හෝ දෙකක් හෝ අතක් හෝ අත් දෙකක් නැති නිසා ඔහු සප්රානික වුවත් ඔහු මිනිසෙකු නොවේයැයි කීම වැරදිය. එසේම ඔහුගේ කඳ හෝ හිස නොමැතිනම් ඔහු සප්රානික වීමට නොහැකි නිසා ඔහුට අපට මියගිය මිනිසෙකු යැයි කීමට සිදුවේ. මේ අවස්ථාවේදී ඔහු සප්රානික මිනිසෙකු යැයි හෝ ඔහු මිනිසෙකු නොවේ යැයි පැවසීම වැරදිය. කකුල් දෙකකුත්, අත් දෙකකුත්, කඳකුත්, හිසකුත් ඇති නමුත් මිනිස් ලක්ෂණ නොමැති සප්රාණික අලියෙකුට මිනිසෙකු යැයි කීමද වැරදිය
ඉතිහාස ප්රවෘත්ති පිලිබඳ විමසීම්වල හා විග්‍රහයන්ගේ අවසානයේදී එලඹිය හැකි නිගමනයන්ගේ ස්වභාවයද එයයි. ඉතිහාසයේ සිදුවීම් සිදුවී අවසානය. ඉතිහාසයේ යම් කරුනක් සම්බන්ධයෙන් සිදුවන්නට ඇත්තේ එක් දෙයකි. මේ ප්රස්තුත මාතෘකාවේද සිදුවන්නට ඇත්තේ එක් දෙයකි. එනම් ඉතිහාසයේදී මහින්දාමනය නම් සිදුවීමක් සිදුවන්නට හෝ නොවන්නට ඉඩ ඇත.
මහාවංශයේ මේ සිදුවීම පිළිබඳව ඇති සියළු කරුණු පසෙකට දැමූවත් මේ සම්බන්ධයෙන් සියළු ඓතිහාසික සාධක මත ඔප්පු කලහැකි දෙයක් ඇත. එනම් “ඉන්දියාවේ පැවති මගධ අධිරාජ්‍යයේ මෞර්ය වංශයේ තුන්වෙනි රජු දවස, ඒ අධිරාජ්‍යයේ මඟපෙන්වීම මත ලංකාවට පැමිණි බෞද්ධ ධර්මදූත පිරිසක් එකල ලංකාවේ විසූ ප්‍රධානම රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කල පසු, ඔවුන්ගේ අනුග්‍රහයෙන් ලංකාව තුල සීග්‍රයෙන් බුදුදහම ව්‍යාප්තවී එය සිංහලයන්ගේ ප්‍රධානම දහම විය” යන්නයි. මේ සිදුවීමට පසුකාලීනව “මහින්දාගමනය” යැයි නමක් තැබිණි. මේ නමේ නිරවද්‍යභාවය කෙසේ වෙතත් ඉහත කී වාක්‍යය අදට හෙලිදරව්වී තිබෙන ඓතිහාසික සාධක මත විද්‍යාත්මකව මැනවින් ඔප්පුකිරීම මේ ලිපි පෙලේ පරමාර්ථයයි.
ලංකාවට පැමිණි දූත පිරිසේ නායක හිමියන්ගේ නම මහින්ද නොවීම නිසා හෝ මේ මහින්ද නම් බෞද්ධ හික්ෂූන්වහන්සේ ධර්මාශෝක රජුගේ පුතෙකු නොවීම නිසා හෝ ඒ පිරිස ලංකාවට පැමිණියේ ඍධි බලයෙන් අහසින් නොවීම නිසා හෝ ඔවුන් වැඩියේ මිස්සක පව්වට නොවීම නිසා හෝ ඔවුන් පැමිණෙන විට ලංකාවේ රජු මුව දඩයමේ නොගොස් සිටීම නිසා හෝ ඉහත වාක්‍යයේ හරය වෙනස් නොවේ. එසේ පවසන්නා කකුල් අතපය නැති නිසා මිනිසා මිනිසෙකු නොවේයැයි තර්ක කරන අයෙකුට සමානය.

“Finding Sinhabahu” කෘතිය හා මහාවංශය
මේ මාතෘකාව පමණක් නොව මහාවංශයේ විජයාවතරණය හා බැඳුණු ප්රවෘත්ති, පණ්ඩුකාභය පුරාවෘත්තය, ලංකාවට දන්ත ධාතුව ගෙන ඒමේ පුවත විද්‍යාත්මක ඓතිහාසික සාධක මත ඔප්පුකිරීම මා විසින් 2019 වසරේ ලියා පලකරන ලද “Finding Sinhabahu” නම් කෘතියේ සවිස්තරාත්මකව ලියා ඇත. මේ දක්වා ලංකාවේ හා ඉන්දියාවේ පළවී ඇති සෙල්ලිපි වල මුල් කියැවීම්, තඹපත්, ඓතිහාසික ග්රන්ථ, ජාන විද්‍යාත්මක කරුණු පමණක් නොව ඒ ඒ ස්ථාන වලට මා ගොස් සොයාගත් කරුණු මේ ඓතිහාසික සාධක විග්රහයට මා ඇතුළුකොට ඇත. මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමාද ඔහුගේ වීඩියෝවේ 41 වෙනි විනාඩියේදී මාගේ මේ පොත පිළිබඳව කෙටි සඳහනක් කරයි.
මේ පොත 2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී හොඳම පර්යේෂණ ග්‍රන්ථය ලෙස නිර්දේශිතව සම්මාන ලැබූ බව නිරහංකාර ලෙස මෙහි සඳහන් කරන්නේ, ඒ සම්මානය පිරිනැමීමට පෙර ඉතිහාස ගවේශණ පිළිබඳ විෂය ප්‍රවීනයන් මාගේ කෘතියෙහි ඇති කරුණුවල විද්‍යාත්මකබව විමසීමට විසින් ලක්කල බව මා හොඳින් දන්නා නිසාය. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන මම ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගැනීමක් හෝ පුහුණුවක් ලබා නැතිමුත්, ඉතිහාසය හා විද්‍යාත්මක ඉතිහාසකරනය පිලිබඳව බොහෝ පතපොත කියවීමෙන් පසුව ස්වෝත්සාහයෙන් ලබාගත් දැනුම තුලින් හැකිතාක් නිරවද්‍ය ලෙස හා අවංකව ඉතිහාස පුවත් අධ්‍යයනයේ හා ලිවීමේ නිරතවන්නෙක්මි. මා එසේ නිර්භයව ඒ කාර්යයේ නිරතවන්නේ අද ලංකාවේ ඉතිහාසය සොයාගැනීමට මුල්වූ බොහෝ දෙනෙකු මා මෙන්ම ඉතිහාස විෂය පිළිබඳව සම්මුති ඉගැනීමක් හෝ පුහුණුවක් ලබා නැති අයවූ බව දන්නා නිසාය. ලාංකික පුරාවිද්‍යාවේ හා ඉතිහාසයේ පෙර ගමන්කරුවන්වූ එච්. සී. පී බෙල්, ඩබ්ලිව් කොඩ්රිංග්ටන්, සර් එමර්සන් ටෙනන්ට්, සී ටර්නර්, පෝල් ඊ පීරිස් රාජ්‍ය සිවිල් සේවකයන් වූ අතර, හෙන්රි පාකර් ඉංජිනේරුවෙකු විය. සී. ඩබ්ලිව් නිකොලස් මහතා විශ්වවිද්‍යාලයෙන් ඉවතට වැටී වනසත්ව දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙකු විය. ඊ. එල්. බ්‍රෝහියර් මිනුම්දෝරුවෙකු විය. ශ්‍රී ලාංකික පුරාවිද්‍යාවේ හා ඉතිහාස ගවේශණයේ පියා ලෙස සැලකෙන සෙනරත් පරනවිතාන මහතාද විශ්වවිද්‍යාලයකින් මූලික උපාධියක් නොලැබූවෙකු නොවීය. මේ ඉතිහාස විෂය පිළිබඳව සම්මුති ඉගැනීමක් හෝ පුහුණුවක් නොලැබූවන් නොවන්නට අද අප දන්නා ඉතිහාසයේ බොහෝදේ අප නොදැනගැනීමට ඉඩ තිබිණි.
මා මේ දීර්ඝ විස්තරය කලේ ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගැනීමක් හෝ පුහුණුවක් නොලැබීම පිළිබඳව මා තුල ඇති හීනමානයක් නිසා නොව, පුරාවිද්‍යාත්මක නොවන නව ඓතිහාසික විමසීම් හා නව සොයාගැනීම් ලංකාවේ ඉතිහාසය පිළිබඳ විද්‍යාර්ථීන් අතින් නොසිදුවෙන, නොලියවෙන මෙවන් යුගයක, ස්වෝත්සාහයෙන් හෝ ඉගෙන ඉතිහාස ගවේශනයන්හි විද්‍යාත්මකව නියැලීමට අන් අය පෙළඹවීමටයි. අද ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණ සිදුවූවත් නව ඉතිහාස පර්යේෂණ හා සොයාගැනීම් සිදුවන්නේ අල්ප ලෙසය.

නිකරුනේ බැටකන මහාවංශ සංස්කාරකවරයා
මහාවංශය විචාරාත්මකව නොකියවා, එහි ඇති කරුණු පිළිබඳව නිසි ගවේශනයන් නොකොට එහි ඇති කරුණු ගැන මත පලකිරීම විද්‍යාර්ථියකු විසින් නොකොට යුතුය. මහාවංශයට බැටදෙන බොහෝ අය වරදවා වටහාගෙන නැවත නැවත පවසන කරුණක් ඇත. එනම් එය 5 වෙනි සියවසේදී මහානාම හිමියන් විසින් ලියූ නිසා එහි ක්‍රි. පූ. යුග පිළිබඳව එනම් එය ලියා වසර 800 කට පෙර සිදුවූ කරුණු ගැන ඇති විස්තර නිරවද්‍ය නොවන බවයි.
පොතක් කියවීමට පෙර අප එහි පෙරවදන කියවිය යුතුය. මහාවංශයේ මුල් භාගය 5 වෙනි සියවසේදී ලියූ මහානාම හිමිපාණෝ එහි පෙරවදනේ මෙසේ ලියයි. “මේ මහාවංශය පෝරාණයන් විසින් කරන ලද නමුත් එය ඇතැම් තැනක අධික විස්තර සහිතවද, ඇතැම් තැනක අතිශයින් සංක්ෂිප්තවද, බොහෝ පුනරුක්ත දෝෂ සහිතවද, කරන ලදී. එම දොස්වලින් තොරවූ, පහසුවෙන් තේරුම් ගතහැකිවූ, ප්‍රසාදය හා සංවේගයද උපදවන, ශෘතිමය වශයෙන්ද ආචාර්ය පරම්පරාවෙන් පැවත එන මෙය ප්‍රසාදය උපදවන තැන්වලදී ප්රසාදයද, සංවේගය උපදවන තැන්වලදී සංවේගයද උපදවමින් පවසන්න.” (මහාවංශය පළමුවෙනි හා දෙවෙනි ගාථා) මේ අනුව 5 වෙනි ශතවර්ෂයේදී මහානාම හිමියන් විසින් කරන ලද්දේ එතෙක් පැවති මහාවංශය උනන්දුවෙන් අසා සිටිය හැකි අයුරින් අද ව්‍යවහාර භාෂාවෙන් පවසන පරිදි “සංස්කරණය” කිරිම පමණි. මහානාම හිමියන් මහාවංශයේ කතුවරයා බවත්, එනිසා 5 වෙනි සියවසේදී හදිසියේ පහලවූ බවත් පැවසීම ඉතිහාසය ගැන නොදන්නා අයෙකු මිස විද්‍යාර්ථියෙකු විසින් නොකල යුතුය. මහාවංශය එයට වඩා පැරණි ග්රන්ථ එක්කොට සංස්කරනය කර ලිවූවක් මිස, මහානාම හිමියන් විසින් හදිසියේ 5 වෙනි සියවසේ ලියූවක් නොවේ.
ඇත්ත වශයෙන්ම මහාවංශ සංස්කරණ එකක් නොව කිහිපයක් ලංකාවේ පැවතිණි. මෙයින් කම්පුචියාවේ තිබී සොයාගන්නා ලද මොග්ගල්ලාන හිමියන් 8 වෙනි සියවසේදී කරන ලද සංස්කරණයේ අවසාන පරිච්ඡේදයේ ඇති මේ ප්‍රකාශය තමන් පෙනී සිටින මතය කිසිම නව සාධකයක් මත වෙනස් නොකිරීමට සූදානම් උගතුන්ට මනා පාඩමකි. “බුද්ධවංශයද, මහාවංශයද, ථූපවංශයද, අප්‍රකට තොරතුරුද ගලපා පිඬුකොට අර්ථයෙන්ද, යුක්තියෙන්ද, ගොතා කළ මෙහි අකටයුත්තක් හෝ නොගැලපෙන්නක් වේ නම් පූර්වාපර සන්ධි ගලපා, නැවත නැවත විමසා නුවණැතන් මෙය ගතයුතුය. දොස් සහිතව නොගත යුතුය.” (පි 514 – මහා වංශය පළමු වෙලුම- බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය)
අටවෙනි සියවසේ විසූ මොග්ගල්ලාන හිමියන් තමන් ඉදිරිපත් කරන කරුණු පවා වැරදි නම් ඒවා පිළිනොගන්නා ලෙස කියවන්නන්ට පැවසීම, ඒ යුගයේ උගත් සිංහල බෞද්ධයන්ට තිබූ ශික්ෂණය හා තම මතයට පවා නොඇලුනු ස්වභාවය මැනවින් පිලිබිඹු කරයි. නව සාක්ෂි සාධක සහිතව පෙන්වා දුනහොත් තමන් මහින්දාගමනය ගැන දැනට දරන මතය වෙනස් කිරීමට සූදානම් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා මීට දින කිහිපයකට පෙර නිකුත්කල පුද්ගලික වීඩියෝවක කියයි. මහින්දාගමනයේ සැබෑ සාධක “පූර්වාපර සන්ධි ගලපා” ඉදිරි ලිපිවලින් සිදුකලවිට එතුමාට තමන් ගැන දරන මතය වෙනස්කිරීමට සිදුවන බව නිසැකය.

මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට දෙනු ලබන පිළිතුරේ වපරිසය
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පලකරන ලද වීඩියෝ දෙකකට පිළිතුරු වශයෙන් ලියැවන “මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි” යන ලිපිපෙලෙන් ඉදිරියේදී පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙනු ඇත. ඒවානම්, ඉන්දියාවේ විසූ අශෝක රජු ලංකාවට ධර්මදූත පිරිසක් යැවීද ?එසේනම් ඒ කුමන කාලයේද? මේ අය පැමිණියේ ලංකාවටමද? මේ පිරිස බෞද්ධ ධර්මදූතයන්ද? අශෝක රජු බෞද්ධයෙක්ද? මේ අය එනවිටත් ලංකාවේ බෞද්ධයන් සිටියාද? එසේ සිටියේ නම් මේ ධර්මදූත පිරිස ලංකාවට ඒමේ වැදගත්කම කුමක්ද? මේ පිරිස ලංකාවට පැමිණි බවට ඇති සාක්ෂි මොනවාද? මේ පිරිස පැමිණි පසු ලංකාව තුල සීඝ්රයෙන් බුදුදහම පැතුරුණිද? යන ඒවායි.
මහාචාර්ය නිර්මාල් මහතා මහාවංශයේ මහින්දාගමනය පිලිබඳව ඇති විස්තරය “මිත්‍යාවක්” යැයි හඳුන්වමින් එය ලංකාවේ බුදුදහම පැතිරුණු පසු පසුකාලීනව තනාගන්නා ලද ප්‍රබන්ධයක් යැයි ඍජුව හෝ ව්‍යංගයෙන් පවසන නිසා ඉහත ලියූ ප්‍රශ්නවලට ඓතිහාසික සාධක ඉදිරිපත් කිරීමේදී මහාවංශයේ මහින්දාගමනය පිළිබඳව ඇති කිසිදු සඳහනක් මේ ලිපිපෙලේ භාවිතා නොකෙරේ. මේ ලිපි පෙලේ භාවිතාකරනු ඇත්තේ මහාවංශයෙන් පිටත ඇති මහින්දාගමනය ඔප්පුකරන ඓතිහාසික සාධක පමණි. එසේම මේ ලිපිපෙලේදී භාවිතාකරනු ලබන සියළු සාධක පාඨකයන්ටද සොයා බැලිය හැකිවන පරිදි මූලාශ්‍ර සහිතව පලකෙරෙනු ඇත.
අශෝක අධිරාජයාගේ 13 වෙනි සෙල්ලිපිය
උතුරු ඉන්දියාවේ නැගෙනහිර දෙසට වන්නට ක්‍රි.පූ හයවෙනි සියවස වනවිට මගධ නම් රාජ්‍යයක් තිබිණි. බුදුරජානන් වහන්සේගේ සූත්‍ර දේශනාවලද සඳහන්වන මේ රාජ්‍යය උන්වහන්සේ පිරිනිවන්පාන කාලයේදී පමණ තමන් අවට රාජ්‍යයන් යටත්කර ගනිමින් අධිරාජ්‍යයක් බවට පත්වෙමින් තිබිණි. මුලින් රජගහ නුවර තම අගනුවර ලෙස පැවති මේ අධිරාජ්‍යයේ අගනුවර පසුව පාඨලීපුත්ර (වත්මන් පැට්නා) විය. මේ අධිරාජ්‍යයේ රාජවංශ කිහිපයක් පැවති අතර එහි තිබූ නන්ද රාජවංශය බලයෙන් පහකොට මෞර්ය රාජවංශයේ ප්‍රථම රජුවූ චන්ද්‍රගුප්ත මෞර්ය පාඨලීපුත්ර නගරයේ බලයට පැමිණියේය. ග්‍රීසියේ සිට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රි පූ 324 දී ඉන්දියාව ආක්‍රමණය කලේ මෞර්ය රාජවංශයත් එයට පෙර පැවති නන්ද රාජවංශයත් අතර වකවානුවේදී පමණය.
අන් සියළු කරුණු අමතක කලත්, ඇලෙක්සැන්ඩර් රජුගේ ඉන්දියානු ආක්‍රමණය ඉතිහාසය හදාරන්නන්ට වැදගත් වන එක් හේතුවක් ඇත. ඒ වනවිටත් ග්‍රීකයෝ තමන්ගේ වැදගත් සිදුවීම් ඉතා සැලකිල්ලෙන් ඔවුන්ගේ වර්ෂ ක්‍රමයකට ලේඛනාරූඪ කරමින් සිටියහ. පසුව රෝමානු වර්ෂ ක්රමයටත් ඉන්පසු ක්‍රිස්තු වර්ෂ ක්රමයටත් පරිවර්තනය වූයේ බටහිරයන්ගේ මේ වර්ෂ ක්‍රමයයි. ඇලෙක්සැන්ඩර් රජුගේ ආක්‍රමණයෙන් පසු මේ දෙපිරිස අතර සිදුවූ අන්තර් ක්‍රියා නිසා, ඉන්දියාවේ සිදුවූ සිදුවීම් බටහිර වර්ෂ ක්‍රමයෙන් ගණනය කිරීමේ හැකියාව ලැබිණි. ලෝකයේ දැනට ව්‍යවහාර වන වර්ෂ ගණනය කිරීමේ ක්‍රමය වන ක්‍රිස්තු වර්ෂ ක්‍රමයෙන් ඉන්දියාවේ හා ඒ හා බැඳුණු රටවල සිදුවූ සිදුවීම් යම් පමණකින් හෝ විග්රහ කිරීමේ හැකියාව ලැබුනේ ඉන්පසුය. මෙය පැහැදිලි කිරීම මහින්දාගමනය සිදුවූ වසර නිර්ණය කරගැනීමට ඉවහල්වේ.
අශෝක රජු චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ මුණුබුරාය. ඔහු රජ පැමිණ වසර අටකට පසු ඔහු නැගෙනහිර ඉන්දියාවේ කාලිංග දේශය ආක්‍රමණය කලේය. මේ ආක්‍රමණයේදී සිදුවූ ජීවිත හා දේපොල හානිය දුටු ඔහු මහත් කම්පාවට පත්විය. ඉන්පසු තමන් තවදුරටත් ආක්රමණවල නොයෙදී ධර්මය පැතිරවීමට තීරණය කල බව ඔහු ඉන්දියාව පුරා පිහිටවූ සෙල්ලිපි රාශියක ඇත. මෙයින් අශෝක රජුගේ 13 වෙනි සෙල්ලිපිය ලෙස පුරාවිද්‍යාඥයන් නම්කොට ඇති සෙල්ලිපිය අපගේ මාතෘකාවට අතිශයෙන් අදාලය.
මේ සෙල්ලිපිය පකිස්ථානයේ ශාබාසාර්ගි හා මන්සේරාහි කරෝස්ති අක්ෂරයෙන් ද, ඉන්දියාවේ උත්තරකාන්ද්, ගුජරාට් හා ආන්ද්‍රා ප්‍රදේශ් හි බ්රාහ්මී අක්ෂරයෙන්ද, ඇෆ්ගනිස්ථානයේ කන්දහාර්හි ග්‍රීක් අක්ෂරයෙන්ද පිහිටුවා තිබී සොයාගෙන ඇත. මේ 13 වෙනි සෙල්ලිපිය ගැන විශාල වශයෙන් පොත් හා ලියැවිලි පළවී ඇතත් යමෙකුට ඒ ගැන ඉතා ඉක්මනින් හැදෑරීමට අවශ්‍යනම් “Puratattva: Inscriptions of Ashoka” නම් විද්වත් විමසුමට පාත්රවන (Peer Reviewed) වෙබ් අඩවියට පිවිසීමෙන් එසේ කල හැක.
මේ සෙල්ලිපියේ අශෝක රජු තමන් යවන දේශයේ අම්ටියෝග, ටුලමායා, අන්ටෙකිනා, මාකා හා අලික්ශුන්ඩලා යන රජවරුන් හමුවීමටද, චෝල, පාන්ඩ්ය,තම්‍රපානියා,කාම්බෝජ, නභපක්ම්කි, නබාක,භෝජ,ආන්ද්‍ර හා පුලින්ද දේශයන්ටද ධර්මය පිලිබඳ පණිවිඩය රැගෙන දූත පිරිස් යැවූ බව ලියයි.
මේ ලිපියේ සඳහන් අම්ටියෝග සිරියාව පාලනය කල ඇන්ටියෝකස් නම් ග්‍රීක රජු ලෙසත්, ටුලමායා ඊජිප්තුව පාලනය කල ටොලමි නම් ග්‍රීක රජු ලෙසත්, අන්ටෙකිනා මැසිඩෝනියාව පාලනය කල ඇන්ටිගෝනස් නම් ග්‍රීක රජු ලෙසත්, මාකා ලිබියාව පාලනය කල මාගාස් නම් ග්‍රීක රජු ලෙසත් හා අලික්ශුන්ඩලා ග්‍රීසිය පාලනය කල ඇලෙක්සැන්ඩර් නම් ග්‍රීක රජු ලෙසත් ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන ඇත. මොවුහු මහා ඇලෙක්සැන්ඩර් රජු මියයාමෙන් පසු කොටස්වලට කැඩීගිය ග්‍රීක අධිරාජ්‍යයේ රජවරු වූහ. සමකාලීන ග්‍රීක ලේඛනවල මේ රජවරුන් රජකම් කල වර්ෂ සඳහන්ව ඇති නිසා ඒ රාජ්‍යකාල සැසඳීමෙන් මේ දූත පිරිස් ධර්මදූත ගමන් ගිය කාලවකවානුව කුඩා වෙනස්කම් සහිතව විවිධ ඉතිහාසඥයන් විසින් ක්‍රි. පූ. 250 ත් , ක්‍රි. පූ. 255 ත් (ක්‍රි පූ 3 වෙනි සියවස) අතර කාලයකට සසඳා ඇත.
මේ දූත පිරිස් ඉන්දියාවෙන් යැවූ කාලය ඒ ඒ ග්‍රීක රජවරුන් රජකම්කල කාල වකවානු අනුව මාගේ කෘතියේ Finding Sinhabahu 28 වනි පිටුවේ වගුවකින් මෙසේ සඳහන්කර ඇත. මාගේ නිගමනය වූයේ මේ ධර්මදූත මෙහෙවරන් සිදුවූයේ ක්‍රි පූ 250-240 වැනි කාලවකවානුවක බවයි.

Finding Sinhabahu – 28 වෙනි පිටුව
මේ 13 වෙනි සෙල්ලිපියේ ඇති වැදගත්ම සටහන නම් අශෝක රජුගේ දූත පිරිස් “තම්‍රපානියා” නම් දේශයකටද ඒ වකවානුවේදීම ගිය බවයි. ලංකාවට මිහිඳු මහරහතන්වහන්සේ වැඩි වර්ෂය ලෙස මහාවංශය, දීපවංශය හා නිකාය සංග්‍රහය ග්රන්ථයන්හි සඳහන්වන්නේ ක්‍රි.පූ 308 යි (බුද්ධ වර්ෂ 236). එනම් අශෝක රජුගේ 13 වෙනි සෙල්ලිපියේ සඳහන්වන ඔහු ධර්මදූත පිරිස් යැවූ වර්ෂ හා අපේ වංශකථාවල සඳහන් වසර අතර අවුරුදු 40-50 ක පමණ කුඩා කාල වෙනසක් ඇත. එනිසා අපට මේ සරල නිගමනයට එලඹිය හැක. එනම් “ලංකාවේ වංශකථාවල සඳහන්වන අන්දමට මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ යැයි සඳහන්වන ක්‍රි. පූ. 3 වෙනි සියවසේදී පමණ අශෝක අධිරාජයා “තම්‍රපානියා” නම් දේශයකට ධර්මදූත පිරිසක් යැවීය යන්නයි.”
“තම්‍රපානියා” ලංකාවද?
ඊලඟට වැදගත්වන්නේ 13 වෙනි සෙල්ලිපියේ සඳහන් “තම්‍රපානියා” ලංකාවද යන්න විමසීමයි.
මේ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලැබෙන්නේ අශෝක අධිරාජයාගේ මුත්තණුවන්වූ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ රාජසභාවේ සේවය කල ග්‍රීක ජාතික තානාපතිවරයෙකුවූ මෙගස්තනීස්ගේ “ඉන්ඩිකා” නම් ග්රන්ථයෙනි. මගධ මෞර්ය අධිරාජ්‍යයේ පාඨළීපුත්ර නගරයේ විශාල කාලයක් විසූ ඔහු, ග්‍රීක භාෂාවෙන් ලියූ මේ පොතෙහි කොටස් ආචාර්ය ශ්වෝන්බෙක් විසින් එක්කල අතර, එය ජේ. ඩබ්. මැක්ක්‍රින්ඩල් විසින් 1877 දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන කලේය. මේ පරිවර්තනය “Ancient India as described by Megasthenês and Arrian” යැයි අන්තර් ජාලයේ ටයිප්කර ඕනෑම අයෙකුට බාගත හැක.
ඉතිහාසය හදාරන්නන් විසින් කියවිය යුතුම පොතක් වන පිටු 224 කින් යුක්ත මෙහි 169 සිට 172 පිටුව දක්වා ඇත්තේ තැප්රොබෑන් යැයි ග්‍රීකයන් හැඳින්වූ ලංකාව නම් දිවයින පිලිබඳ දීර්ඝ විස්තරයකි. අශෝක රජුගේ මුත්තණුවන්ගේ ලියැවුණුු මේ පොතේ සඳහන්වන ග්‍රීක උච්ඡාරණයට ලියැවුනු “තැප්රොබෑන්” නම් මේ දිවයින අශෝක රජුගේ සෙල්ලිපිවල සඳහන් “තම්‍රපානියා” බවට කිසිම සැකයක් නැත. මේ පොතේ “චන්ද්‍රගුප්ත” හැඳින්වෙන්නේ “සන්ද්රකොට්ටා” ලෙසිනි.

එසේම මේ පොතේ 105 වෙනි පිටුවේ මිනිසුන් දෙවිකෙනෙකු මෙන් අදහන (Boutta) නම් අයෙකුගේ අනුගාමික දාර්ශණිකයන් එකල ඉන්දියාවේ විසූ බවත් සඳහන්වේ. අශෝක රජුගේ මුත්තණුුවන්ගේ කාලයේ ලියැවුණුු මේ පොතේ බුදුන් වහන්සේ ගැන ඇති මේ සඳහන, මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ මහින්දාගමනය ගැන සැක උපදවන ප්‍රකාශයන් නිසා කුල්මත්වී සිටින, බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදීම අශෝක රජු විසින් ගොඩනගන ලද ප්රලාපයක් යැයි පවසන “මෙරට බුදුන්වාදීන්” ගේ නොසතුටට හේතුවන කරුණක් වනු ඇත.

මේ සියළු කරුණු එක්කොට සළකනවිට ඉන්දියාවේ අශෝක රජු ක්‍රි. පූ 3 වෙනි සියවසේදී ලංකාවට ධර්මදූත පිරිසක් එවීය යන්න ගැන කිසිදු සැකයක් ඇතිවිය නොහැක.
අශෝක රජු බෞද්ධයෙක්ද?
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා නොපැවසුවත් එතුමා මෙන්ම මහින්දාගමනය අමූලික අසත්‍යයක් හෝ නොවැදගත් සිදුවීමක් ලෙස සලකන එතුමාගේ පුරණාචාර්යවරුන් විටින් විට, වටින් ගොඩින් ලියූ තවත් කරුණක් ඇත. එනම් අශෝක රජු සියළු ආගම් වලට ගරු කලත්, බෞද්ධයෙකු නොවූ බවයි. වටහාගැනීමට පහසු අයුරින් පවසන්නේ නම් ඔහු වත්මන් පරම විඥානාර්ථවාදියෙකුට සමාන අයෙකු වූ බවයි.
මෙය යමෙකු බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි හරිහැටි නොදැන කරන ප්‍රකාශයකි. යමෙකුට බෞද්ධයෙකු වීමට ශුද්ධවූ ජලයෙන් සේදීමක්, ශුද්ධවූ නූලක් ගැටගැසීමක් හෝ චර්ම ඡේදනයක් වැනි විශේෂිතවූ ආගමික චාරිත්‍රයක් සිදුකිරීම අවශ්‍ය නොවේ. කිසිදු සැබෑ බෞද්ධයෙකු ඒ ඒ ආගම්වල මේ චාරිත්‍රයන් හෙලාදැකීමක් කිසිසේත් සිදුනොකලයුතු නමුත්, තමන් බෞද්ධයෙකු යැයි විශ්වාස කිරීම හෝ පැවසීම බෞද්ධයෙකුවීමට ඇති එකම අවශ්‍යතාවයයි. බෞද්ධයෙකු කිසියම් ආගමික කටයුත්තක් නොකලත් ඔහුගේ බෞද්ධ බව නැතිවී නොයයි. එසේම සැබෑ බෞද්ධයා අන් සියළු ආගම්වලට ගරුකරන අතර, අන් ආගම්වලට ගරු කිරීම හෝ උදව්කිරීම තුලින් බෞද්ධයෙකුගේ බෞද්ධ බව නැතිවී නොයයි. මේ සියළු අරුත්වලින් අශෝක රජු බෞද්ධයෙකු වෙයි.
කර්නාටක ප්‍රාන්තයෙහි මස්කි, බිහාර් ප්‍රාන්තයෙහි සාසාරාම් හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙහි රූපනාත් යන ස්ථානවල තිබී සොයාගෙන අශෝක රජුගේ කුඩා සෙල්ලිපි අංක 1 ලෙස නම් කරන ප්රාකෘත භාෂාවෙන් ලියැවුනු සෙල්ලිපියේ තමා තමන් බුදුන්,දහම් හා සඟුන් සරණ ගිය “උපාසකයෙකු” බව පවසයි. (“Puratattva: Inscriptions of Ashoka”) මෙයට අමතර තවත් සෙල්ලිපි රැසක තොරතුරු මගින් අශෝක රජු බෞද්ධයෙකු වූ බව පැහැදිලි වූවත් මේ බව සනාථ කිරීමට තවත් සාක්ෂි අවශ්‍යද?


අශෝක රජුගේ 1 වෙනි කෙටි සෙල්ලිපිය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය
මේ සියළු සාධක මත ක්‍රි පූ 3 වෙනි සියවසේදී ඉන්දියාවේ මගධ අධිරාජ්‍යයේ බෞද්ධ අධිරාජයාවූ අශෝක රජු ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව සනාථවේ.
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා මිත්‍යාවක් හෝ මිත්‍යා කතන්දරයක් හෝ නොවැදගත් සිදුවීමක් හෝ යැයි පවසා, මහාවංශ කතුවරයාගේ ප්‍රබන්ධයක් යැයි සඳහන් කරන්නේ මහාවංශයෙන් පරිබාහිර ඓතිහාසික සාධක වලින් ඔප්පුවන මේ සත්‍යයයි.
ක්‍රි.පූ 3 වෙනි සියවසේදී ඉන්දියාවේ මගධ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක නම් බෞද්ධ අධිරාජයාගේ සමයේ ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බවත ඓතිහාසික සාධක රැසක් ඇත. ඒ ලිපියෙන් ඉදිරිපත් කරන ලද මේ ඓතිහාසික සාධක සියල්ල මහාවංශයෙන් බාහිරව ඇති සාධක වේ. එසේම මෙම ලිපියෙන් මේ සිදුවීම පිළිබඳව මහාවංශයෙන් පරිබාහිරව ලංකාවේ ඇති සාක්ෂි ඉදිරිපත් කෙරේ.
දේවානම්පියතිස්ස රජු හා මහින්ද හිමි පිළිබඳ සාක්ෂි
මේ දූත පිරිසේ නායක හිමිනම මහින්ද නම්වූ මහරහතන් වහන්සේ නමක් වූ බවත් ඔවුන්ට ලංකාවේ මහරජුවූ දේවානම්පියතිස්ස රජුු මුණගැසුනේ මිහින්තලයේදී බවත් මහාවංශයේ සඳහන්වේ.
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා මහාවංශයේ ඇති කථාව මිත්‍යා කතන්දරයක් සේ බැහැර කරන නිසා මහාවංශයෙන් පරිබාහිරව ලංකාවේ ඒ යුගයේ දේවානම්පිය තිස්ස නම් රජෙකු සිටියේ දැයි ඇති සාධක මේ දෙපිරිස මුණ්ගැසුනේ යැයි පැවසෙන මිහින්තලයේම තිබී හමුවී ඇත. මාගේ මේ ලිපියේ ඉදිරිපත්කරන සියළුම සෙල්ලිපිද උපුටාගන්නේ Inscriptions of Ceylon Vol I – Early Brahami Inscriptions- Paranavithana- 1970- Published by The Department of Archelogy නම් පොතෙනි. මේ පොතෙහි ඇති සෙල්ලිපි ලංකාවේ මුල් බ්රාහ්මී අක්ෂර Early Brahami Letters) භාවිතා කල ක්‍රි පූර්ව 3 වෙනි සියවසේ සිට ක්‍රි.පූර්ව 1 වෙනි සියවසට අයිතිය. එනම් අශෝක රජු ලංකාවට ධර්මදූත පිරිසක් එවූ සියවසේ සිට ඉදිරි සියවස් දෙකක කාලයකට අයත්ය.
මා හට සෙල් ලිපි කියවීමේ හැකියාවක් නැත. එය මා ආඩම්බරයට පත්කරන කරුණක් නොවුනත්, සෙල් ලිපි කියවීමේ හැකියාව ඇති විද්වතුන් කියවූ සෙල් ලිපිවල ඔවුන් තිබේයැයි පවසන අන්තර්ගතයන් විශ්වාස නොකිරීමට තරම් ශාස්ත්‍රීය කුහකත්වයක් මා තුළ නැත. එනිසා මම සෙල්ලිපි කියවීමේ හැකියාව ඇති ප්‍රවීනයන් කියවා, අරුත් සහිතව නිල රාජ්‍ය ලේඛණවල මුද්‍රණය කොට ඇතිදේ ඉදිරිපත් මෙහි ඉදිරිපත් කරමි. ඉංග්‍රිසි භාෂාවෙන් ලියැවී ඇති ඉහත පොතේ ඇති සෙල්ලිපි නිරවද්‍ය ලෙස වත්මන් සිංහල අක්ෂරවලින් ලියා ඒවායේ අරුත් වත්මන් ව්‍යවහාර සිංහල භාෂාවෙන් මා හට කාරුණිකව කියාදුන් රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වෙල මහතාට මුලින්ම මාගේ තුතිය පුදමි.
ඉහත පොතේ Texts and Translations කොටසේ 1 වෙනි පිටුවේ අනුරාධපුර දිස්ත්‍රික්කය- මිහින්තලේහි කොටා ඇති සෙල් ලිපියක කියවීමක් ඇත. එය මෙසේය.

දේ[ව] නපිය – මහරඣහ බරියය බකි[නිය] උපශික-වරුණ [දත]ය [ලෙ] ණෙ
තේරුම- දේවානපිය මහාරාජයාගේ බිරියගේ සොයුරියවූ වරුනදත්තාගේ ලෙන
පූර්ව බ්රාහ්මී අක්ශරවලින් ලියා ඇති මේ සෙල්ලිපිය ක්‍රි.පූ 3 වෙනි සියවස තරම් ඈත අතීතයේ ලියා ඇති සෙල්ලිපි ගොඩට මහාචාර්ය සෙනරත් පරනවිතාන මහතා ඇතුළු කරයි. මේ සෙල්ලිපිය ඒ යුගයේදී ලංකාවේ දේවානම්පිය නම් මහරජෙකු සිටි බව ඔප්පු කරයි. මිහින්තලයේ තිබී සොයාගන්නා ලද ක්‍රි.පූ 3 වෙනි සියවසට අයත්වන සෙල්ලිපි තුනක් විග්රහ කරන මහාචාර්ය සෙනරත් පරනවිතාන මහතා මේවා දේවානම්පියතිස්ස රජුටත්, ඔහුගේ සොයුරු ලෙස මහාවංශයේ සඳහන්වන උත්තිය රජුටත් අයත් බවත්, මේ සෙල්ලිපි මිහිඳු මහරහතන් වහන්සේත් මිහින්තලයත් අතර ඇති සබඳතාවය තහවුරු කරන බවත් පවසයි. (ඉහත කී ග්‍රන්ථයේ හැඳින්වීමේ lii පිටුව)
ඒ හැරුනුකොට අම්පාර දිස්ත්‍රික්කයේ රජගල සුවිසල් පුරාවිද්‍යා භුමියේ තිබී හමුවූ සෙල්ලිපියක් මහින්ද මහරහතන් වහන්න්සේ ලංකාවට වැඩි පුවතත්, උන්වහන්සේ සමඟ ලංකාවට පැමිණියේ යැයි මහාවංශයේ සඳහන්වන ඉත්තිය මහරහතන් වහන්සේ පිළිබඳවත් ප්‍රවෘත්තිය තහවුරු කරයි.
පෙර සඳහන් කළ ග්රන්ථයේම Texts and Translations කොටසේ 35 වෙනි පිටුවේ ඇති මේ සෙල්ලිපියේ කියවීම මෙසේය.

යෙ ඉම දිප පටමය ඉදිය අගතන ඉඩික -[තෙර-ම] මහිද-තෙරහ තුබෙ
තේරුම- මෙම දිවයිනේ වාසනාවට පළමුවෙන් පැමිණි ඉත්තිය තෙරුන්වහන්න්සේගේද මහින්ද තෙරුන්වහන්සේගේද ස්තූපයයි.
අම්පාර රජගල පුරාවිද්‍යා භූමියේ සිදුකරන ලද කැනීම්වලදී ධාතුන් රැසක්ද සොයාගෙන ඇත.
පූර්ව බ්රාහ්මී අක්ෂර වලින් ලියැවී ඇති මේ සෙල්ලිපි ක්‍රි පූ 3 වෙනි සියවසත් ක්‍රි පූ 1 වෙනි සියවසත් අතර කාලයේදී ලංකාවේ සිටි දේවානම්පිය නම් මහරජෙකු හා මේ දිවයිනට පිටතින් පැමිණි මහින්ද නම් තෙරණුවෙකු පිළිබඳව කිසිදු සැකයකින් තොරව ඔප්පුකරයි.
මහින්ද මහ තෙරුන් පැමිණීමට පෙර බුදුදහම තිබූ බව මහාවංශය සැඟවූවාද?
මිහිඳු හිමියන් හා ධර්මදූත පිරිස ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ බෞද්ධයන් සිටි බවත් එනිසා මිහිඳු හිමියන්ගේ පැමිණීමේ වැඩි වැදගත්කමක් නැති බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා නොකියා කියයි.
මිහිඳු මහරහතන්වහන්සේ ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ බෞද්ධයන් සිටි බවට කිසිදු සැකයක් නැත. මහාවංශයේම සඳහන්වන අන්දමට ඉන්දියාවේ උතුරුදිග සිට විජය රජු හා සහපිරිවරත්, ඔහුගේ මයිලනුවන්ගේ පුත් පණ්ඩුවාසදේවත්, ඔහුගේ බිරිඳත් තවත් විශාල පිරිසුත් පැමිණියේය. ක්‍රි පූ 4 වෙනි සියවසේ ඉන්දියාවේ විසූ මෙගස්තනීස්ද තම ඉන්ඩිකා ග්රන්ථයෙහි ලංකාවේ මිනිසුන් කාලිංගයට ඇතුන් නැව් මගින් යවන බව සඳහන් කරයි. (පි 171) මුහුදු මගින් මිනිසුන් ඉන්දියාවේ සිට ඔබමොබ ගිය සමයක බෞද්ධ භික්ෂූන් වහන්සේලා හෝ බෞද්ධයන් ඉන්දියාවේ සිට නොපැමිණියේයැයි සිතීම විහිළුවකි. ඔවුන් නිසා මේ දිවයින තුල බෞද්ධයන් ඇති නොවුනේ යැයි සිතීමද විහිළුවකි.
එසේ නම් මහාවංශයේ ඒ බව සඳහන් නොකර ලංකාවට බුදුදහම හඳුන්වාදුන්නේ මිහිඳු හිමියන් බව සඳහන් කරන්නේ ඇයි? එයට හේතුව ලංකාවේ ප්‍රධාන රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන්වූ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යක් වූ නිසාය. එතැන් සිට රාජ්‍ය අනුග්‍රහයෙන් ලංකාව පුරා බුදුදහම ව්‍යාප්තවූ බව නිසැකය. එනිසාම මේ දිවයිනේ බෞද්ධයන්ට එය වැදගත් සිදුවීමකි. බෞද්ධ භික්ෂුවකවූ මහාවංශ සංස්කාරක මහානාම හිමියන්ටද ඒ සිදුවීම වැදගත්සේ සලකා ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් ලිවීම පුදුමයට කරුණක් නොවේ. ඒ සිදුවීම නොවන්නට ලංකාවේ ඉතිහාසය අප නොදන්නා වෙනත් දිශාවකට යෑමට ඉඩ තිබිණි.
ලෝක ඉතිහාසයේ ආගම් සම්බන්ධයෙන් මෙවැනි හැරවුම් ලක්ෂ්‍යයන් බොහොමයක් තිබේ. ක්‍රි.ව 1 වෙනි සියවසේ සිට රෝම අධිරාජ්‍යයේ කිතුනුවන් සිටියත් කොන්ටන්ටයින් අධිරාජයා ක්‍රි.ව 312 දී කිතුණුවෙකු වීම ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. ඉන්පසු රෝම අධිරාජ්‍යය කතෝලික පල්ලියේ මූලස්ථානයවූ අතර ඒ බලපෑම තවමත් ලොව පුරා පවතියි. අරාබියේ ඒක දේවවාදීන් දුරාතීතයේ සිට සිටියත් මොහමඩ් නබි නායකතුමා ශුද්ධවූ අල්-කුරානය වටා ඉස්ලාම් භක්තිකයන් එක්කිරීම අරාබි ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ශ්යයකි. එංගලන්තයේ කතෝලික පල්ලියට විරුද්ධ පිරිස් සැමදා සිටියත් 8 වෙනි හෙන්රි රජු රෝමයෙන් වෙන්වී ඇංග්ලිකානු පල්ලිය පිහිටුවීම එංගලන්ත ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. මේ සෑම අවස්ථාවකම ඒ ඒ හැරවුම් ලක්ශ්යයට පෙර ඒ ඒ ඇදහීම් කල අයගේ ඉතිහාසයට ලැබෙන්නේ කුඩා අගයකි.
ලැව්ගින්නක් සේ බුදුදහම සීඝ්රයෙන් පැතිරීම
මිහිදු මාහිමියන් ලංකාවට පැමිණි ක්‍රි .පූ 3 වෙනි ශතවර්ෂයට පසු වසර 100-200 වැනි කෙටි කලක් තුල ලංකාව පුරා බුදුදහම පැතිරුණි. එයට ඇති ප්‍රධානම සාක්ෂිය ලෙන් හා විහාර රැසක් සංඝයාවහන්සේලාට පිරිනැමීම පිළිබඳව ක්‍රි පූ 3 වෙනි සිට ක්‍රි පූ 1 වෙනි වෙනි සියවසට අයත් මුල් බ්රාහ්මී අක්ෂර වලින් ලියැවී ඇති සෙල්ලිපි රාශියයි. මේ ඒවායේ පැතිරීම පිළිබඳව Inscriptions of Ceylon Vol I – Early Brahami Inscriptions- Paranavithana-හි ඇති සිතියමයි.

මේ සෙල්ලිපි වලට අනුව ලෙන් හා විහාර පූජා කලවුන් අතර රජවරුන්, ඇමතිවරුන් පමණක් නොව ගම්පතියන් හා සාමාන්‍ය ජනයාද විය. එනිසා මිහිඳු හිමියන්ගේ පැමිණීමේ වැදගත්කම කිසිසේත් ලඝුකොට සැලකිය යුතු නැත.
ඇතැම් අයගේ කනස්සලට හේතු වූවත්, අවසාන ජනසංගණනයේදීද ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 69.8% ක් තමන් බෞද්ධයන් බව ස්වාධීනව ප්‍රකාශයට පත්කොට ඇත. ක්‍රි පූ 3 වෙනි සියවසේදී ලංකාවේ අගරජු බුදුදහම වැලඳගැනීම මෙයට ඉවහල්වූ මුල්ම හා ප්‍රධානම හේතුවයි.
මිත්‍යාව, මිත්‍යා කතන්දර හා විද්‍යාත්මක ඉතිහාසකරණය
මා ඉදිරිපත් කල කරුණු මත තමා තවදුරටත් මහින්දාගමනය මිත්‍යාවක් යැයි පවසන්නේ දැයි කීම දැන් මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමාට භාරය. තමා වීඩියෝ මගින් මහින්දාගමනය ගැන පැවසූදේ මා හට නොවැටහී ඇති බව පවසා, “මිත්‍යාව” යන වචනය පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට එතුමා උත්සාහ ගැනීමට ඉඩ ඇත.
මා විසින් ලියන ලද Finding Sinhabahu පොතෙහි මිත්‍යා කතන්දරයක් යනු කුමක්ද, යම් ඓතිහාසික සිදුවීමක් මිත්‍යා කතන්දරයක ස්වරූපයට හැරෙන්නේ කෙසේද? මිත්‍යා කතන්දරයක් වූ පමණින් එය ප්රලාපයක්යැයි බැහැර නොකර සිදුවීමක සැබෑ සාධක සෙවීමේ වැදගත්කම කුමක්ද? යන්න අඩංගු පිටු කිහිපයක විස්තරයක් ඇත. අභාවප්‍රාප්ත මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ජාතික චින්තනය යන නමින් ප්‍රචලිතකල නලින්වාදයට එරෙහිව මා සහ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ලියන ලද ලිපි දහය අවසානයේදී මා “විද්‍යාව හා මිත්‍යාව” යන මැයින් දීර්ඝ ලිපියක් ලියා අනිද්දා පුවත්පතෙහිද ඊ පුවත්පත් කිහිපයකද පළකලෙමි. එනිසා “විද්‍යානුකූල ඉතිහාසකරණය හා මිත්‍යා කතන්දර” යන මාතෘකාව යටතේ වෙනම සංවාදයකටද මා සූදානම්ය.
ඉතිහාසය සම්බන්ධ මිත්‍යා කතාන්තර පිළිබඳව සැබෑ අවබෝධයක් තිබෙන්නේ නම් මහින්දාගමනය සත්‍ය සිද්ධිය වටා බැඳුනු විශ්වාස කල නොහැකි යම් යම් තොරතුරු මහාවංශ සංස්කාරක මහානාම හිමියන් “තැනූ ඒවා” නොව ඒ වනවිට සිංහලයන් අතර “තැනී තිබුනු ඒවා බව” මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට වැටහෙනු ඇත. ලිඛිතව පැවති දේට අමතරව කට වචනයෙන් පැවත එන තොරතුරුද තම කෘතියට එක්කල බව මහානාම හිමියන් මහාවංශයේ ආරම්භක ගාථා දෙකේදී අවංකවම පවසන්නේ එනිසාය. (“ශෘතිමය වශයෙන් පරම්පරාවෙන් පැවත එන”)
මහාචාර්යතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තුවන ප්‍රශ්න
මේ සංවාදය මිත්‍යාව ලෙස තමන් අදහස් කලදේ කුමක්දැයි යන දිශාවට ගෙනයාමට පෙර මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් මම පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
-
දැනට ඇති ඓතිහාසික සාධක මත ක්‍රි පූ 3 වෙනි සියවසේදී අශෝක අධිරාජයා විසින් ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව පිළිගන්නේද? මේ පිරිසගේ නායක හිමිනමගේ නම මහින්ද යැයිද, ඒ වනවිට ලංකාවේ රජුව සිටියේ දේවානම්පිය (තිස්ස) යැයිද පිළිගන්නේද?
-
මේ ධර්මදූත පිරිස විසින් එකල ලංකාවේ සිටි ප්‍රධාන රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කල පසු ඉතා කෙටිකලක් තුල ලංකාවේ බුදුදහම පැතිරගිය බව පිළිගන්නේද?
-
එනිසා මේ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස පිළිගන්නේද?
මහාචාර්යවරයෙක් තම විෂයට අදාල කරුණක් පිළිබඳව කතා කලයුත්තේ කරුණු, සාක්ෂි හා සාධක මත පදනම්ව අසා සිටින්නා හෝ කියවන්නාගේ දැනුම වැඩිකොට ඉන්පසු තමන් කථාකරන ප්රස්තුතය පිළිබඳව ගැඹුරු ලෙස තර්කයක් ගොඩනගමිනි. කරුණු, සාක්ෂි හා සාධක කිසිවක් නොමැතිව හුදු තමන්ගේ සිත තුල තිබෙන මතයක් ප්‍රකාශකොට තමන්ට ඒ විෂය පිළිබඳ ඇති වෘත්තීය සුදුසුකම මත පමණක් පදනම්ව අන් අය ඒ තර්කය පිළිගත යුතුයැයි සිතීම මහාචාර්යවරයෙකු විසින් නොකොට යුතුය. ඉතිහාසය සම්බන්ධව මූලාශ්‍ර මත පදනම් නොවී විවිධ ඉතිහාස කතාන්දර පවසමින්, අසන්නාට නිවැරදි දැනුම ලබාදීමට වඩා අසන්නා පිනවීම තම අභිප්‍රාය කරගත් මහාචාර්යවරුන්ද දැන් ලංකාවේ පහලව ඇත. මහාචාර්යවරයෙකු සාමාන්‍ය මිනිසෙකුගෙන් වෙනස් වන්නේ දන්නා දෙය පැවසීමෙන් පමණක් නොව, නොදන්නා දෙය නොපැවසීමෙනි.
මාගේ ලිපිපෙලට ලිපියකින් හෝ ලිපිපෙලකින් පිළිතුරුදෙන ලෙස මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ කරුණ පිළිබඳව කිසිදු ආකාරයක වාචික විවාදයක නිරතවීමට මා බලාපොරොත්තු නොවන්නේ අද ලංකාවේ වාචික විවාද කටවාචාලයන්ගේ රඟමඩලවල් බවට පත්ව ඇති නිසාය. එසේම යමක් ලියනවිට ලියන්නාට තම තර්කය පිළිබඳව ඇති සාක්ෂි හා සාධක කියවන්නන්ටද සැකහැර දැනගැනීමට හැකිවන පරිදි ආශ්රිත මූලාශ්‍ර සහිතව දැක්විය හැකිය. ගැඹුරු ශාස්ත්‍රීය සංවාදයක් හෝ විවාදයක් කලහැක්කේ ලිඛිතවය. මහින්දාගමනය පිළිබඳව සිදුවන මේ විවාදය තුලින් ශාස්ත්‍රීය සාකච්ඡා ගැඹුරින් සිදුවන වෙනත් රටවල මෙන්ම, මීට දශක දෙකකට පෙර ලංකාවේද තිබු ලිඛිත විවාද සම්ප්රදායයට නැවත අප රට රැගෙන යාමට හැකිවෙනු ඇත.
මිත්‍යාව, මිත්‍යා කතන්දර හා සැබෑ ඉතිහාසය පිළිබඳව සිදුවන වෙනත් සංවාදයකදී මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාද මා,ද දරන මතය එකක් විය හැක. ශාස්ත්‍රීය සංවාදවල ස්වභාවය එයයි. ඒ සංවාදයට පෙර මේ කරුණ පිළිබඳව මා ඇසූ ප්‍රශ්ණ තුනට කියවන්නාට වටහාගත හැකි අන්දමේ පිළිතුරක් එතුමාගෙන් ගෞරවයෙන් බලාපොරොත්තුවෙමි. ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු වන එතුමා තම පිලිතුර මේ දක්වා එලිදරවුවී ඇති ඓතිහාසික කරුණු මත පදනම්ව, මූලාශ්‍ර හා සාධක සහිතව මාගේ හා අනෙක් පාඨකයන්ගේ දැනුම ඉහල නංවන අයුරින් සිදුකරනු ඇතැයි මම බලාපොරුත්තු වෙමි.
මා මේ ලිපිපෙලේ පැහැදිලි කරන කරුණු ඔප්පුකිරීමට තවත් බොහෝ සාධක තිබුනත් ඒවාද මෙහි මෙහි පෙළගැස්වුවහොත් ලිපිපෙල දීර්ඝවී එය කියවන්නාට වෙහෙසකර වනු ඇත. ඉදිරි සංවාදයකදී අවශ්‍ය වුවහොත් ඒ කරුණුද හෙලිදරවු කෙරෙණු ඇත.

amarasinghe_ajith@yahoo.com
(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)
2026 අගෝස්තු 26
