විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ගේ පැමිණිලි කළමනාකරණයට LankaKonect Mobile App එක හඳුන්වා දෙයි

විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකික විගමණික ශ්‍රමිකයින් හට ඉතා ඉක්මණින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටළු යොමුකිරීම සඳහා LankaKonect නම් නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile app)  හඳුන්වා දෙනු ලැබුවා.

මෙම පැමිණිලි කළමණාකරණ ජංගම දුරකථන යෙදවුම (Complaint Management Application-CMA) නිල වශයෙන් අද දින (6/16) විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවති උත්සවයකදී ජනගත කරන ලදී. අද දිනට (6/16) යෙදී ඇති ජාත්‍යන්තර ගෘහස්ථ සේවක දිනය නිමිත්තෙන් මෙම යෙදවුම හඳුන්වාදීම විශේෂත්වයකි.

මෙම යෙදවුම ඉංග්‍රිසි, සිංහල හා දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම භාවිතා කළ හැකි අතර, විගමණික ශ්‍රමිකයින්ට තමා රැකියාව කරන ස්ථානයේ හෝ රැකියාවේ යම් ප්‍රශ්නයක් තිබේ නම් මෙම යෙදවුමට පිවිස සෘජුවම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි. (Online Complain) එසේම අධ්‍යාපනය හා පදිංචිය සඳහා විදේශ ගතවී සිටින ශ්‍රි ලාංකිකයෙකු නම් සෘජුවම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත මෙම යෙදවුම ඔස්සේ පැමිණිල්ල යොමුකළ හැකියි. පැමිණිලි ලිඛිතව පමණක් නොව, හඩපට (Voice Clips) හා වීඩියෝ දර්ශන (Video Clips) මගින්ද මෙම යෙදවුම හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ.

මෙරට පමණක් නොව ලෝකයේ ඕනෑම රටකදී මෙම යෙදවුම එකලෙසම භාවිතා කිරීමට හැකියාව පවතින අතර, තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ වර්තමාන තත්ත්වයද මෙම යෙදවුම හරහා ඉතා පහසුවෙන් පරික්ෂා කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍ය දායකත්වය යටතේ, ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනය විසින් මෙම ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කරන ලද අතර, Google Play Store හා Apple App Store යන මාර්ගවලින් මෙම යෙදවුම අද සිට නොමිලේ භාගත කරගත හැකිය.

මෙම අවස්ථාවේදී විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙසේ තම අදහස් පළකර සිටියා.

“අපේ රටට විශාල ධනයක් උපයන්නේ මේ විදේශගත ශ්‍රමිකයින්. මිලියන තුනහමාරකට අධික පිරිසක් ලංකාවෙන් බැහැරව විවිධ රටවල රැකියාවල නියුක්ත වෙනවා. එයාල තමයි අද අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේගය. ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවෙත් ඔබේ සහය තමයි රටේ ආර්ථිකය ගොඩනගන්න දායක වුණේ. අදත් එහෙම තමයි. අද ලෝක යුදමය තත්ත්වයක් ඇතුලෙත් අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත්ව ගෙනියන්න ඔබේ දහඩිය මහන්සිය අපිට විශාල රුකුලක් වෙලා තියෙනවා. ඒ නිසා රජයක් විදිහට අපේ වගකීම වෙනවා ඔබ වෙනුවෙන් සේවාවන් ලබාදීම, ඔබේ පහසුකම් සොයා බැලීම, ඔබේ දුක්ගැනවිලි සොයා බැලීම. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ ඩිජිටල් ඇප් එක අද නිර්මාණය වෙන්නේ.

පැමිණිලි ඉදිරිපත් කරනවා පමණක් නොව, අපි බලාපොරොත්තු වෙන්නේ ඒ පැමිණිල්ලට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම, ක්ෂණිකව ඒ ඔබේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීම. මොකද පැමිණිලි ලබා ගැනීම පමණක් නෙමෙයි මෙහි අරමුණ, ඒ පැමිණිලි වලට විසඳුම් ලබාදීම මෙහි අවසාන අරමුණ වෙනවා. ඉතින් ඒ නිසා මේ කටයුත්ත අපි සාර්ථක කර ගැනීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ රට වෙනුවෙන් කරන සේවාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදිහට, අපේ අමාත්‍යාංශය විදිහට, ඔබ වෙනුවෙන් ඔබට අවශ්‍ය කරන සහය, මැදිහත් වීම, සහයෝගය ලබාදීම“.

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද මෙසේ තම අදහස් පළකළේය.

“විදේශයන්හි පිහිටි අපගේ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී වැදගත් කාර්යභාරයක් පැවරෙනවා. ඔවුන් විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සේවය සපයන පෙරමුණේම සිටින කණ්ඩායමයි. ලංකා කනෙක්ට් හරහා ශ්‍රමිකයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට, මගපෙන්වීමට සහ අවශ්‍ය අවස්ථාවලදී වඩාත් සංවිධානාත්මකව සහ කාර්යක්ෂමව සහය වීමට ඔවුන්ට ඇති හැකියාව ශක්තිමත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”

මෙම යෙදවුම ජනගත කිරීමේ අවස්ථාවට අමාත්‍යවරුන් දෙපළ සමඟින්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ ILO සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා ජෝනි සිම්ප්සන් මහත්මිය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන්, ඇතුළු පිරිසක් සහභාගි විය.

Leave A Comment