විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාව ‘කොහෙවත් නැති’ ප්‍රශ්නයක්, කිසිවෙක් ඉල්ලා නොසිටි කරුණක් – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

අධිකරණයේ පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවළියට එල්ලවන අභියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට වැදගත් කරුණු දෙකක් සලකා බැලීමට සිදුවේ. ඉන් එකක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාවක් රජය විසින් සලකා බලමින් සිටීමය.

මෙය මේ වන විට ප්‍රසිද්ධ කරුණක් බවට පත්ව ඇත. දෙවැනි කරුණ පළමු කරුණට බැඳී ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සැලකිය යුතු කාලයක සිට අත්හිටුවා ඇති ආකාරයක් දැකගත හැකිය. ඉහත කී කාරණා ද්විත්වය ජනතාවට අතිෂය වැදගත් අතර ඒ සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත.

විශ්‍රාම යන වයස

මුලින්ම අභියාචනාධිකරණ‌යේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස  ඉහළ දැමීමට රජය කර ඇති යෝනාව ගැන විමසීමක් කළ යුතුය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකුගේ විශ්‍රාම යන වයස අවුරුදු 65ක් ලෙස තීන්දු කර තිබෙන අතර අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යන වයස අවුරුදු 63ක් ලෙස තීන්දු කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙකී විධානය මේ දක්වා අඛණ්ඩව පවතී.

මේ කරුණට අදාළව තවත් වැදගත් කරුණක් වෙත අවධානය යොමු කළ යුතුය. වර්තමානය වන විට රට තුළ බරපතළ අර්ථික ප්‍රශ්නයක් තිබෙන අතර මේ හා සමගාමීව රට තුළ ඩෙංගු රෝගය බරපතළ ලෙස පැතිර යමින් පවතී. මෙම ‘බරපතළ ප්‍රශ්න දෙකට’ රජයේ පූර්ණ අවධානය යොමු කළ යුතු අවස්ථාවක රජය  ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස  සම්බන්ධ ගැටලුවක් ද ඉදිරියට ගෙන තිබේ.

මේ හදිසිය කුමකට ද ?

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ. පළමු කරුණ මැතිවරණ පොරොන්දු හා සම්බන්ධ වේ. වත්මන් රජයට බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේය. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිම ස්ථානයක ‘ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව වසර තුනකින් ඉහළ දැමීමට පියවර ගන්නා බවට’  (නිවැරදි කිරීමකට යටත්ව) වන යෝජනාවක් / පොරොන්දුවක් සඳහන්ව නැත.

දෙවැනි කාරණාව වන්නේ ජනතාවගෙන් හෝ වෘත්තීය සංවිධානයන්ගෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් හෝ වෙනත් ආයතනයකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ‘හදිසියේම’ වැඩි කළ යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත්ව නැත.

මේ අනුව පැහැදිලි වන්නේ ‘මෙය රජයේ මොනයම් හෝ අවශ්‍යතාවක්’ අනුව ඉදිරිපත් වූ යෝජනවක් බවයි. ආණ්ඩුව බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටිය දී, ‘කොහෙවත් නැති’ ප්‍රශ්නයක්, කිසිවෙක් ඉල්ලා නොසිටි කරුණක් ‘බොහොම හදිසියේ’ මතු කිරීම පිළිබඳව ජනතාවගේ සිත් තුළ දැඩි සාංකාවක් මතුවීම ස්වභාවිකය.

අවුරුදු 48ක් තිස්සේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයය අවුරුදු 65ක් ලෙස තීන්දු කරලා තිබුණා නම්, ඒක බොහොම යහපත් ලෙස ක්‍රියාත්මක වුණා නම්, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63ක් ලෙස තීන්දු කර තිබුණා නම්, ඒක කිසිම ප්‍රශ්නයකින් තොරව ක්‍රියාත්මක වුණා නම්, මේ කරන්න යන දේ ප්‍රජාත්‍රන්ත විරෝධීයි,

නීතිඥ සංගමයේ ස්ථාවරය

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය දා නිකුත් කළ නිවේදනයකින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීමේ රජයේ යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර ‘එය මේ අවස්ථාවේ නොකළ යුත්තක්’ බව අවධාරණය කළේය.

මෙහි දී ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා රජයේ යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මෙසේ අවධාරණය කළේය, “අවුරුදු 48ක් තිස්සේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයය අවුරුදු 65ක් ලෙස තීන්දු කරලා තිබුණා නම්, ඒක බොහොම යහපත් ලෙස ක්‍රියාත්මක වුණා නම්, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63ක් ලෙස තීන්දු කර තිබුණා නම්, ඒක කිසිම ප්‍රශ්නයකින් තොරව ක්‍රියාත්මක වුණා නම්, මේ කරන්න යන දේ ප්‍රජාත්‍රන්ත විරෝධීයි, සමහර විට බරපතළ ප්‍රශ්න ඇති කරන්න පුළුවන් කියන කාරණාව සහ ආණ්ඩුව තමන්ට හිතෙන හිතෙන ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කරලා මේ ආකාරයට ‘කිනම්  හෝ හේතුවක් නිසා’  මේ ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළොත් අනාගතයේ බලයට පත්වෙන රජයකටත් මේක පෙරහුරුවක් වෙන්න පුළුවන්. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේ වුවමනාවෙන් විවිධ වූ අවශ්‍යතා මත, හිතෙන හිතෙන වෙලාවට ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමට පූර්වා දර්ශයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා විය හැකියි නීතිඥ සංගමය  මේ යෝජනාවට විරුද්ධ වුණේ, ‘මේක කරන්න එපා’ කියලා ආණ්ඩුවට කිව්වේ”.

චකිතයක් සහ කුකුසක්

මේ සිදුවීම මේ ආකාරයෙන් සලකා බලන විට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස තමා තුළ පොඩි චකිතයක් සහ කුකුසක් ඇති වන බව ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කීවේය.

“ආණ්ඩුව මේ පියවර ගන්නේ තමන්ගේ යටි අරමුණක් ඉෂ්ඨ කර ගැනීමේ අරමුණින් ද ? කියලා මට පොඩි චකිතයක් සහ කුකුසක් ඇති වෙනවා” ශ්‍රීනාත් පෙරේරා සිය ස්ථාවරය පැහැදිලි කරමින් කීවේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා තව දුරටත් මෙසේ ද පැවසුවේය, “මම මේක බොහොම පැහැදිලිව කියන්නේ, මේ කොහෙවත් නැති ප්‍රශ්නයක්, රටේ විසඳිය යුතු බරපතළ ප්‍රශ්න තිබිය දී මේ කොහෙවත් නැති ප්‍රශ්නයක් මතු කරගෙන මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හදන්නේ ඔවුන්ගේ යටි අරමුණක් ඉෂ්ඨකර ගැනීමේ අරමුණින්. මෙන්න මේක තමයි අපි සැලකිල්ලට භාජනය කළ යුතු කාරණය. ඒකත් එක්කම තවත් කාරණාවක් තිබෙනවා, 2020 ඔක්තෝබර් මාසයේ දී වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කරලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ එවකට හිටපු විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කළා. මේ ආකාරයෙන් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කළේ ඉහළ අධිකරණවල විභාග කිරීමට නඩු විශාල සංඛ්‍යාවක් ඉතිරි වෙලා, හිර වෙලා තිබුණා. ඒවා ඉක්මනින් විභාග කර අවසන් කිරීම අරමුණු කර ගෙන විය යුතුයි මේ තීන්දුව ගත්තේ”.

උසස්වීම පෙනි පෙනී ගෙදර යාමට සිදුවීම

මෙහි දී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර ගත්ත ද මේ වන විට එහි පවතින පුරප්පාඩු පිරීමට වත්මන් රජය පියවර ගෙන නොමැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු හතර (04) බැගින් පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, මෙම අධිකරණවල ‘පිරිලා ඉතිරිලා යන්න තරම් නඩු හිරවෙලා’ තිබෙන බව ද කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සහ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර, විභාග නොවී පවතින නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් එහි විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කළ ද මේ ආකාරයෙන් පුරප්පාඩු පැවතීම එම අරමුණ ඉටුකර ගැනීමට අභියෝගයක් බව ද ජනපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමට නම් කළ යුතු වන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලය දීර්ඝ කිරීම නොව එම පුරප්පාඩු පුරවා දැමීමය. එවිට නඩු වැඩි ප්‍රමාණයක් විභාග කිරීමට අවස්ථාව උදාවේ.

මෙහි දී අවධානයට ගත යුතු තවත් වැදගත් කරුණක් වෙත ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අවධානය යොමු කළේය. ඔහු පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු (බොහෝ විට) පුරවනු ලබන්නේ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් බවයි. එවැනි තත්ත්වයක් තුළ අභියාචනාධිකරණයේ පුරප්පාඩු සංඛ්‍යාව 08 දක්වා ඉහළ යාම ද සිදුවේ.

“එපමණක් නොවෙයි, යම්කිසි කෙනෙක් සියලු දේවල් අතහැරලා දාලා අධිකරණ පද්ධතියට බැදෙන්නේ, ‘අනාගතයේ අග්‍රවිනිශ්චයකාරවයා දක්වා යන්න පුළුවන් වෙයි’ කියලා විශ්වාසය ඇතිව. මතක තියා ගන්න අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63යි, මහාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 61යි. එතකොට අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තනතුරු පුරවන්නේ නැතිව තිබෙන කොට සමහර විනිසුරුවරුන්ට මහාධිකරණයට පැමිණ අවුරුදු 61 වන විට විශ්‍රාම යන්න සිද්ධ වෙනවා. අවුරුදු 30ක්, 40ක් අධිකරණ පද්ධතිය තුළ අත්දැකීම්, පළපුරුද්ද ලබා ගත් විනිසුරුවරුන් මහාධිකරණයට ඇවිත්ලා, ඇහැට පේන තැන පුරප්පාඩු  තිබිය දී හැට එකේ දී ගෙදර යනවා” ඉහළ අධිකරණවල පවතින පුරප්පාඩු  නොපිරවීමේ තවත් අඳුරු පැතිකඩක් පැහැදිලි කරමින් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60කි. මෙම විනිසුරුවරුන් ද දීර්ඝ කාලයක අත්දැකීම් ඇති සහ වෘත්තීය පළපුරුද්ද ඇති විනිසුරුවරුන් වේ. ඔවුන් ද වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු, ඉහළ අධිකරණවල පුරප්පාඩු තිබිය දී විශ්‍රාම යා යුතුය. මෙය බරපතළ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.

“මේ ගැන කතා කිරීම මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. අවුරුදු පනහක් මේ ක්ෂේත්‍රයේ කටයුතු කළ කෙනෙක් හැටියට මට තේරෙණ දේ තමයි, අපට නොපෙනෙන මොකක් හරි යටි අරමුණක් ඉෂ්ඨකර ගැනීමේ අරමුණින් තමයි මේ ආණ්ඩුව මේ පුරප්පාඩු පිරවීම මේ ආකාරයෙන් කල් දාන්නේ. ඒ වගේම, එවැනිම යටි අරමුණක් ඇතිව විය යුතුයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කරන්න හදන්නේ. මේ රටට අවංකව ආදරය කරන, මේ රටේ ඉපදිලා, මේ රටේම මිය යන්න ඉන්න පුරවැසියෙක් ලෙස මම කියනවා ‘මේ ක්‍රියාවලියට එරෙහිව අපි එකතු විය යුතුයි,

සැලසුම පරාජය කරමු

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු පිරීම පමා කිරීම සහ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීමට රජය ගන්නා උත්සාහය දැඩි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා රජයේ මෙම වෑයම පරාජය කිරීමට එක්වන ලෙස ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය.

“මේ ගැන කතා කිරීම මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. අවුරුදු පනහක් මේ ක්ෂේත්‍රයේ කටයුතු කළ කෙනෙක් හැටියට මට තේරෙණ දේ තමයි, අපට නොපෙනෙන මොකක් හරි යටි අරමුණක් ඉෂ්ඨකර ගැනීමේ අරමුණින් තමයි මේ ආණ්ඩුව මේ පුරප්පාඩු පිරවීම මේ ආකාරයෙන් කල් දාන්නේ. ඒ වගේම, එවැනිම යටි අරමුණක් ඇතිව විය යුතුයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කරන්න හදන්නේ. මේ රටට අවංකව ආදරය කරන, මේ රටේ ඉපදිලා, මේ රටේම මිය යන්න ඉන්න පුරවැසියෙක් ලෙස මම කියනවා ‘මේ ක්‍රියාවලියට එරෙහිව අපි එකතු විය යුතුයි, ඒකට විරුද්ධව හඬක් නැඟිය යුතුයි.  අපි ඒ හඬ අවධි කළේ නැතිනම් ආණ්ඩු තමන්ගේ යටි අරමුණු ඉෂ්ඨ කර ගැනීමේ අරමුණෙන් මේ ක්‍රියාවලියේ දිගටම යෙදෙන්න පුළුවන්. එහෙම වුණොත් සමහර විට අපට යළි හැරෙන්න බැරි තැනකට යන්න පුළුවන්. ඒ නිසා නීතිඥ වෘත්තියේ අවුරුදු 50කට වඩා අත්දැකීමක් තිබෙන නීතිඥයෙක් ලෙස මම රජයෙන් සහ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. තමන්ගේ යටි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට වෑයම් නොකර මේ කාරණා දෙක  කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න කියලා මම රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ රටට ආදාරය පුරවැසියන්ගෙන් ඉල්ලනවා ‘ආණ්ඩුවේ මේ යෝජනාවට කොන්දේසි විරහිතව විරුද්ධ වෙන්න’ කියලා” ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අවධාරණය කළේය.

සමාජ සංවාදයකින් තොර ව්‍යවස්ථා සංශෝධනයක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම ගැන යෝජනාවක් මාළිමාව විසින් පසුගිය ජනාධිපතිවණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නොවන අතර එ් සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව අතර හෝ සිවිල් සමාජය තුළ ද අවධානයක් නැත. මෙවැනි තත්ත්වයක් තුළ රජය කඩිනම් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා අදාළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ දැමීමට ඇති හැකියාව ‘කතිකාව’ මොහෙය වූ හරේන්ද්‍ර බී. දසානායක ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරාගෙන් ප්‍රශ්න කළේය.

හරේන්ද්‍රගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ අධිකරණ පද්ධතිය තුළ ‘බරපතළ’ ප්‍රශ්න පවතින බවත් ඒ කෙරෙහි සියලු පාර්ශ්වයන් අවධානය යොමු කළ යුතු බවයි.

“පහළ අධිකරණවල වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු විශාල ප්‍රමාණයක් හිර වෙලා තිබෙනවා. නමුත් අනිත් පැත්තෙන් පුරප්පාඩු අටක් තියෙනවා, ඒ පුරප්පාඩු පුරවන්නේ නැහැ. රජයේ අරමුණ මේ නඩු කඩිනමින් විසඳන එක නම් කළ යුත්තේ කඩිනමින් මේ පුරප්පාඩු පිරවීම. එසේ කළොත් කඩිනමින් මේ නඩු විභාගයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ පවතින නඩුවලින් 30%කට වැඩි ප්‍රමාණයක් ‘සමථයට’ පත්කරලා අවසන් කළ හැකි නඩු. නමුත් ඒවා ඒසේ සමථයට පත් නොකර ඇද ගෙන යනවා. ආණ්ඩුව කළ යුත්තේ මේ අනවශ්‍ය ප්‍රශ්න ගැන අවධානය යොමු කිරීම වෙනුවට, මේ නඩු අතරින් සමථයට පත් කළ හැකි නඩු සමථයට පත් කිරීම සඳහා ගත හැකි පියවර හෝ විසඳුම් පිළිබඳ කතිකාවක් නිර්මාණය කිරීමයි. සමථයට පත්කර ගත හැකි නඩු සමථයට පත්කර ගැනීම සඳහා පිළියම් යෙදීම තමයි වැදගත්. ඒ වගේම තමයි ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීමේ උත්සාහය ඉතාම පැහැදිලිව රජයේ යම් යටි අරමුණක් ඉටුකර ගැනීමේ අරමුණනින් කරන ක්‍රියාවලියක  කොටසක් ලෙස තමයි මම දකින්නේ” ශ්‍රීනාත් පෙරේරා පැවසුවේය.

කෙටි කාලයකින් විශ්‍රාම යාම

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ලෙස, විශේෂයෙන් අග්‍රවිනිශ්චයකාරවරුන් ලෙස පත්වන බොහෝ දෙනෙක් සිය පත්වීමෙන් ඉතා කෙටි කාලයක් තුළ  විශ්‍රාම යන ආකාරය පසුගිය කාලය පුරා සුලභව දැකගත හැකි විය. නමුත් එක්සත් ජනපදය වැනි රටවල අගවිනිසුරුවරුන්ට විශ්‍රාම යාමේ නිශ්චිත කාලයක් දක්වා නැත. මේ සම්බන්ධයෙන් ආචාර සුජාතා ගමගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ වර්තමාන අගවිනිසුරුතුමා මේ වන විට මාස 18ක පමණ කාලයක් තම තනතුරේ සේවය කර ඇති බවයි. වත්මන් අගවිනිසුරුවරයාට තවත් මාස හයක පමණ කාලයක් සේවය කිරීමට ද අවස්ථාව ඇති බවත් ඒ අනුව වත්මන් අගවිනිසුරුතමා වසර දෙකක පමණ කාලයක් සේවය කරනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

“මෙතන දී ඇති වන ප්‍රශ්නය සංකීර්ණයි. ආණ්ඩුව සැලසුම් කරන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම කළොත් වත්මන් අගවිනිසුරුතුමාට තවත් අවුරුද්දක පමණ කාලයක් ලැබෙනවා. නමුත් එතුමා තවත් අවුරුද්දකින් විශ්‍රාම යන විට එම තනතුරුට සුදුසුකම් ලබන  ඊළඟ ජ්‍යෙෂ්ඨතම විනිසුරුතුමාත් විශ්‍රාම යාමේ වයසට ළං වෙලා. මේකට පිළියම් ලෙස (ඔබ කියන ආකාරයට)  දිගින් දිගටම අගවිනිසුරුවරයාගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට සිදුවෙනවා. මේක සීමාවක් නැති කාරණයක් බවට පත්වෙනවා” ශ්‍රීනාත් පෙරේරා පැවසුවේය.

මෙහි දී ජනාධිපති නීතිඥවරයා දැඩිව අවධාරණය කළේ අගවිනිසුරු ධුරයේ සැලකිය යුතු කාලයක් සේවය කිරීමට අවස්ථාව නොලැබීම (ධුරයට පත්ව ඉතා කෙටි කාලයකින් විශ්‍රාම යාමට සිදුවීම) සම්බන්ධ කාරණයට තමා ‘කිසිසේත් එකඟ නොවන’ බවයි.

තම අදහස තව දුරටත් පැහැදිලි කරමින් ඔහු පැවසුවේ තරුණ පුද්ගලයින් වෙනුවට අත්දැකීම් බහුල, පුළුල් පළපුරුද්දක් ඇති විනිසුරුවරයෙකු අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත් කිරීම ඉතාම වැදගත් බවයි.

“එකම විනිසුරුවරයෙක් වසර ගණනාවක් අග්‍ර විනිශ්චයකාරවරයෙක් ලෙස කටයුතු කළා කියලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ. යම්කිසි ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැම්මොත් වත්මන් අගවිනිසුරුතුමාගේ ගැටලුව විස‌දෙයි, නමුත් තවත් කෙටි කාලයකින් ඒ ගැටලුවම එනවා” ශ්‍රීනාත් පෙරේරා වැඩි දුරටත් පැහැදිලි කළේය.

මෙහිදී ශ්‍රීනාත් පෙරේරා දිගින් දිගටම තර්ක කළේ ඇමෙරිකාවේ මෙන් නිශ්චිත විශ්‍රාම වයසක් සඳහන් නොකරන තත්ත්වයක් තුළ බරපතළ ගැටලු සහ දුෂ්කරතා මතු වීමේ පැහැදිලි අවධානමක් පවතින බවයි.

ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරවරයා ද අවුරුදු 65 දී විශ්‍රාම යුතු අතර මහා බ්‍රිතාන්‍යයේ වයස් සීමාවක් දක්වා නොමැති වුව ද යම්කිසි වයස් සීමාවක දී ඔවුන් ‘පැත්තකට කර’ අනෙක් විනිසුරුවරුන් ඉදිරියට ගෙන කටයුතු කරන බව ශ්‍රීනාත් පෙරේරා පෙන්වා දුන්නේය.

අධිකරණ ප්‍රතිසංස්කරණ

‘අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තමාට ආවේණික යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අගවිනිසුරුවරයාට යම්කිසි කාලයක් තිබිය යුතු නොවේදැයි’ මෙහි දී හරීන්ද්‍ර ශ්‍රීනාත් පෙරේරාගෙන් ප්‍රශ්න කළ අතර, ඔහුගේ ඍජු පිළිතුර වූයේ ‘අධිකරණයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අගවිනිසුරුවරයා වීම ම අනවශ්‍ය බව’යි.

“මම තදින් විශ්වාස කරනවා, ශ්‍රේෂ්ඨාධිකරණයේ මට්ටමෙන් ගනිද්දී යම් යම් වෙනස්කම් කළ යුතු නම් ඒක තනි පුද්ගලයෙකුගේ කැමැත්තට කරන දෙයක් නෙමෙයි, ඒක සාමූහිකව සාකච්ඡා කර කළ යුතු දෙයක්. සාමූහිකව සාකච්ඡා කරලා, අනෙකුත් විනිසුරුවරුන්ගේ මතයත් විමසා බලලා ඒක කළ යුතුයි. තනි පුද්ගලයෙකුගේ කැමැත්තට පමණක් වැඩ කිරීමට මම විරුද්ධයි, ඒක භයානකයි” ශ්‍රීනාත් පෙරේරා යළි අවධාරණය කළේය.

සංවාදයක් අවශ්‍යයි

මෙහිදී ජනාධිපති නීතිඥවරයා යළි පැවසුවේ ඉහළ අධිකරණවල විනිසුරුරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමිමට ආණ්ඩුවට අවශ්‍ය නම් එය ද පුළුල් සමාජ සංවාදයක් තුළ සිදුකළ යුතු බවයි.

“මේ සම්බන්ධයෙන් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා, නීති ක්ෂේත්‍රයේ සහ වෙනත් අංශවල ප්‍රවීණයින් සමඟ සංවාදයක් කරලා තමයි මෙවැනි වැදගත් පියවරක් ගත යුතු වන්නේ. එසේ නොකර හදිසියේ, කඩිමුඩියේ මේවා කරන්න ගියොත්, කළොත් අවසානයේ සිද්ධ වෙන්නේ අපට හැරෙන්න බැරි තැනකට ගිහිල්ලා අතිෂය අසීරු තත්ත්වයකට පත්වීම පමණයි. මම මේක කියන්නේ වයෝවෘද්ධ, අවුරුදු 50ක අත්දැකීම් තිබෙන නීතිඥවරයෙක් විදිහටයි. මම නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 22ක් කටයුතු කරලා තිබෙනවා. ඉතිරි කාලය මම පෞද්ගලික අංශයේ කටයුතු කරලා තිබනවා. මේවා බොහොම සද්භාවයෙන් ඉදිරිපත් කරන කරුණු” ශ්‍රීනාත් පෙරේරා වැඩි දුරටත් පැවසුවේය.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ‘අධිකරණයේ පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවළියට එල්ලවන අභියෝග’යන තේමාව යටතේ සංවිධානය කළ ‘කතිකාව’ වැඩසටහනේ දී ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා විසින් දක්වන ලද අදහස් අසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත ලිපියකි. සංවාදය මෙහෙයවනු ලැබුවේ හරේන්ද්‍ර දසනායක විසිනි)

Leave A Comment