Sri Lanka Expo 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “Sri Lanka Expo 2026″ නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දියත් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද ( ජනවාරි 9 ) නිල වශයෙන් දැනුම් දෙන ලදී. ප්‍රදර්ශනයට අදාළ නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk දියත් කිරීමද මෙහිදී සිදු කළ අතර දේශීය ප්‍රදර්ශකයින් සහ විදේශීය ගැනුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇත.

2026 ජුනි 18 සිට 21 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ජාත්‍යන්තරය වෙත ප්‍රදර්ශනය කරනු ඇත.

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026″ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, City of Dreams හි Cinnamon Life හිදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා බලශක්ති හා බල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමිකා උඩුගමසූරිය මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්, බැංකු සහ වාණිජ මණ්ඩල නියෝජිතයන්, ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සමඟ සහයෝගී ආයතනවල ප්‍රධානීන්, අපනයනකරුවන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් ඇතුළු රැසක් එක්ව සිටියහ.

“ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 හුදු සිදුවීමක් පමණක් නොව, අපගේ අපනයනකරුවන්ට නව වෙළඳපොළවලට ළඟා වීමට, ජාත්‍යන්තර ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ හොඳම දේ ප්‍රදර්ශනය කිරීමට උපායමාර්ගික වේදිකාවකි. එය අපගේ ප්‍රතිපත්ති, අපගේ නිෂ්පාදන සහ අපගේ ජනතාව එක්ව ජාත්‍යන්තර වෙළඳපොළවල සැබෑ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරන වේදිකාවකි,” කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

“අපනයනකරුවන් සඳහා, මෙම ප්‍රදර්ශනය නව වෙළඳපොළවලට ව්‍යාප්ත වීමට, උපායමාර්ගික හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීමට සහ වටිනාකම් දාමයේ ඉහළට යාමට අවස්ථාවකි. ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සඳහා, එය ශ්‍රී ලංකාවේ ගුණාත්මක නිෂ්පාදන සහ ව්‍යාපාරික පරිසරය සමග සම්බන්ධ වීමට අවස්ථාවකි,” ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.

දේශීය අපනයනකරුවන් 750ක් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්, ආයෝජකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු 1,500ක් පමණ Sri Lanka Expo 2026 ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 හි ප්‍රධාන අරමුණු අතර ශ්‍රී ලංකාවේ විවිධ අපනයන කර්මාන්ත ගෝලීය වෙළඳපොළවලට ප්‍රදර්ශනය කිරීම, ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාවේ හැකියාවන් කෙරෙහි ගැනුම්කරුවන්ගේ සහ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීම, දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳ හා ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක ජාතික අපනයන ඉලක්කය ළඟා කර ගැනීමට මාර්ග පහසුකම් සැලසීම ඇතුළත් වේ.

කාර්මික අපනයන අංශය යටතේ ඇඟලුම්, රෙදිපිළි සහ විලාසිතා, මැණික් සහ ස්වර්ණාභරණ, යාත්‍රා තැනීම, ඉංජිනේරු සහ මෝටර් රථ සංරචක, රබර් හා පොලිමර් නිෂ්පාදන, විදුලි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, ජීවන රටාව සහ හස්ත කර්මාන්ත නිෂ්පාදන, ඖෂධ නිෂ්පාදන සහ ඛනිජ හා ඛනිජ පදනම් කරගත් නිෂ්පාදන ඇතුළත් වේ.

කෘෂිකාර්මික අපනයන අංශය යටතේ තේ, කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ධීවර නිෂ්පාදන, සැකසූ ආහාර සහ බීම, ආයුර්වේද සහ ශාකසාර නිෂ්පාදන, කැපූ මල් සහ කොළ, විසිතුරු මත්ස්‍යයින්, පලතුරු සහ එළවළු ප්‍රදර්ශනය වනු ඇත.

අපනයන සේවා යටතේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සමුද්‍ර හා අක්වෙරළ සේවා, ලොජිස්ටික්ස්, ඉදිකිරීම් සහ පුනර්ජනනීය බලශක්තිය, සුවතා සහ සෞඛ්‍ය සේවා සහ අනෙකුත් සේවා ප්‍රදර්ශනය වනු ඇත.

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 හි ආයෝජක සංසද, කර්මාන්ත-විශේෂිත සැසි, ව්‍යුහගත ව්‍යාපාර අතර හමුවීම් (B2B), ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් ප්‍රදර්ශනය කරන විලාසිතා සංදර්ශන, සංස්කෘතික ප්‍රසංග දේශීය ආහාර වලින් සැකසූ සූපශාස්ත්‍ර සංදර්ශන සහ නවෝත්පාදන ප්‍රදර්ශන ද ඇතුළත් වනු ඇත.

Sri Lanka Expo 2026 පාර්ශවකරුවන් ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ ශ්‍රී ලංකා ගුවන් සේවය කටයුතු කරන අතර ප්‍රදර්ශනයට අදාල ලියාපදිංචිය සහ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.srilankaexpo.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Leave A Comment