අනුරාධපුර සිදුවීම සංස්කෘතික යුද්ධයක් කර නොගනු: ආවේගය වෙනුවට බුද්ධිමත් නීතිමය ප්‍රවේශයක් සහ ව්‍යූහාත්මක ළමා සුරක්ෂිතතාවයක් – MDDR
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක වන අපරාධ විමර්ශනය මුල් කරගනිමින්, සමාජය පුරා පැතිර යන ආවේගශීලී ගෝත්‍රික මතවාද, සමාජ මාධ්ය හරහා සිදුකරන පූර්ව විනිශ්චයන් සහ විවිධ දේශපාලන කණ්ඩායම්වල අවස්ථාවාදී හැසිරීම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්යාපාරය (MDDR) තම දැඩි කනස්සල්ල පළ කර සිටියි.
මෙවැනි සංවේදී සහ බරපතළ චෝදනාවලදී වගකිවයුතු සමාජයක් ක්‍රියා කළ යුත්තේ ආගමික හෝ දේශපාලන කෝණයකින් එකිනෙකාට පහර ගසමින් නොව, ව්‍යවස්ථාපිත නීතිමය රාමුවට ගරු කරමින් පමණක් බව අප සංවිධානය අවධාරණය කරයි. මෙම ජාතික සංවාදය හුදු ආන්දෝලනාත්මක පුවතකට හෝ දේශපාලන සටන් පාඨයකට සීමා නොකර, දිගුකාලීන ව්යුහාත්මක ප්රතිසංස්කරණයක් කරා යොමු කිරීම වෙනුවෙන් අප ප්රධාන කරුණු තුනක් කෙරෙහි සමාජයේ අවධානය යොමු කරවමු.
1. පුද්ගල වගවීම සහ ශාසනික ගෞරවය වෙන්කර හඳුනා ගැනීම
ත්‍රිපිටකයේ විනය පිටකය පුරාම පැහැදිලිවම පෙන්වා දී ඇත්තේ යම් භික්ෂුවකට හෝ භික්ෂුණියකට එරෙහිව එල්ල වූ බරපතළ වැරදි මෙන්ම අසත්ය චෝදනා ද කිසිවිටෙකත් සමාජයෙන් සඟවා තැබුවේ නැති බවයි. ඒවා විවෘතව සාකච්ඡා කර, විමර්ශනය කර, සාක්ෂි මත පදනම්ව විසඳන ලදී. එම උදාර පූර්වාදර්ශය තුළ, පුද්ගලයකුගේ ක්‍රියාව සමස්ත බුද්ධ ශාසනයේ පැවැත්ම සමඟ පටලවා ගත්තේ නැත. එබැවින් වත්මන් සමාජය ද පුද්ගල වගවීම යනු සමස්ත සංස්කෘතියටම එල්ල කරන ප්‍රහාරයක් ලෙස අර්ථකථනය කරමින් කරුණු යටපත් කිරීමට හෝ අනෙක් අතට සමාජ මාධ්ය හරහා හිංසනය මුදාහරිමින් චූදිතයා පූර්ව විනිශ්චය කිරීමට තැත් කිරීම වහාම නැවැත්විය යුතුය
2. සාක්ෂි කුමක් වුවත් දැරිය වැඩිහිටි පද්ධතියක ගොදුරක් වී ඇති බව පිළිගැනීම
මානව හිමිකම් සහ ළමා අයිතිවාසිකම් රාමුවක් තුළ, අවසන් අධිකරණ තීන්දුව කුමක් වුවත්, මෙම 15 හැවිරිදි බාලවයස්කාර දැරිය අවසානයේදී වැඩිහිටි පද්ධතියක බිහිසුණු ගොදුරක් වී ඇති බව අප පිළිගත යුතුය:
චෝදනා සත්ය නම්: ඇය සමාජීය සහ ආයතනික බලයක් සහිත වැඩිහිටියකුගේ සෘජු ලිංගික අපයෝජනයකට ලක්ව ඇත.
චෝදනා අසත්ය නම්: ඇය කිසියම් බාහිර වැඩිහිටි කල්ලියක් හෝ දේශපාලන වුවමනාවක් විසින් උසස් සමාජ තලයක සිටින පුද්ගලයකු කොටු කිරීම සඳහා දේශපාලන ඉත්තකු ලෙස ක්‍රමානුකූලව හසුරුවා පාවිච්චි කර ඇත.
මෙම අවස්ථා දෙකෙන් කුමන එකක් සත්ය වුවද, වැඩිහිටි ලෝකයේ කුරිරු වුවමනාවන් වෙනුවෙන් මෙම දැරියගේ ළමා කාලය, පෞද්ගලිකත්වය සහ මානසික සුවය බරපතළ ලෙස අපයෝජනය කරනු ලැබ ඇත.
3. පැමිණිලි කිරීමේ අයිතිය සහ විත්තිවාදියාගේ නීතිමය ආරක්ෂාව එකසේ සුරැකීම
නීතිය ඉදිරියේ සියල්ලෝම සමානය. පරිණත ප්රජාතන්ත්රවාදයක් තුළ, වින්දිතයකුට කිසිදු බියකින් තොරව පැමිණිලි කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කරන අතරම, චූදිතයකුට අධිකරණයකින් වරදකරු වන තෙක් පවතින ‘නිවැරදිකරු වීමේ පූර්j නිගමනය’ (Presumption of Innocence) සහ බාහිර බලපෑම්වලින් තොරව තම විත්තිවාචකය ඉදිරිපත් කිරීමේ අයිතිය ද සුරැකිය යුතුය. සමාජ මාධ්ය හරහා සිදුවන නඩු තීන්දු දීම් සහ දේශපාලන කුලප්පුකම් මඟින් යුක්තියේ ගමන විකෘති කරනවා පමණක් නොව, දෙපාර්ශවයම යළි යළිත් පීඩාවට පත් කරයි.
ව්‍යවස්ථාපිත රික්තය පිරවීම සඳහා වන ව්යුව්‍යත්මක විසඳුම් හතරක්
මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් පවතින නීතිමය කටයුතු අවසන් වන තෙක් පූජ්ය හේමරතන හිමියන්ගේ තනතුරු අත්හිටුවීමට ගත් පියවර අප අගය කරන නමුත්, ව්යුහාත්මක ළමා සුරක්ෂිතතාවය සහ ආයතනික විනිවිදභාවය අධිකරණ තීන්දුවක් එනතෙක් බලා සිටිය යුතු නැත. මෙම අර්බුදය රට තුළ පවතින දැවැන්ත නීතිමය රික්තයක් පෙන්වා දෙන කදිම ‘ඇස් අරවන්නකි’.
එබැවින්, දේශපාලන පක්ෂ පාraමේන්තුවේ කෑකෝ ගැසීම නවත්වා, සිදුවිය හැකි සෑම විභවතාවක්ම (Possibilities) ආවරණය වන පරිදි වහාම ක්රියාත්මක විය හැකි මෙම ව්යුහාත්මක විසඳුම් හතර නීතිගත කිරීමට වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුය:
- ආයතන සඳහා වන අනිවාර්ය වාර්තාකරණ නීති (Mandatory Reporting): පාසල්, උපකාරක පන්ති, සිවිල් හෝ ආගමික සියලු ආයතනයක පරිපාලකයකුට ළමා අපයෝජන චෝදනාවක් වාර්තා වූ සැනින්, පැය 24ක් ඇතුළත එය සිවිල් පොලීසියට වාර්;d කිරීම නීතිමය වශයෙන් අනිවාර්ය කළ යුතුය. ආයතනික ක්‍රියාවලිය රැකීමට අභ්‍යන්තරව කරුණු යටපත් කරන අයට සෘජු සාපරාධී දඬුවම් නියම විය යුතුය.
- ස්වාධීන අධිකරණ වෛද්ය හා මනෝවිද්යාත්මක විමර්ශන ආරක්ෂණ: බාලවයස්කාර දැරියන් වැඩිහිටියන්ගේ හෝ දේශපාලන බලවේගවල බලපෑම්වලට සහ පුහුණු කිරීම්වලට (Adult coaching) ලක්වීම වැළැක්වීම සඳහා, මුල්ම පැයේ සිටම ස්වාධීන ළමා මනෝවිද්යාඥයින් ඉදිරියේ පමණක් සාක්ෂි සටහන් කරගන්නා විද්යාත්මක සහ ස්වාධීන විමර්ශන ක්රමවේද නීතිගත කිරීම.
- භික්ෂුන් වහන්සේලා සහ ආයතන ප්රධානීන් සාවද්ය චෝදනාවලින් ආරක්ෂා කිරීමේ මාraf.damදේශ (Protective Guidelines for Clergy): බාලවයස්කාර දරුවන්ව පාවිච්චි කරමින් භික්ෂුන් වහන්සේලා ඉලක්ක කර සාවද්ය චෝදනා (False accusations) එල්ල කිරීමේ ප්රවණතාව වැළැක්වීමට ද වහාම පියවර ගත යුතුය. ඒ සඳහා, මහා සංඝරත්නයේ ද උපදෙස් මත, බාලවයස්කාර දරුවන් සමඟ ආගමික, අධ්යාපනික හෝ උපදේශන කටයුතුවලදී පිළිගත යුතු විනිවිදභාවයකින් යුත් ආයතනික මාraf.damදේශ සකස් කර නීතිගත කළ යුතුය. එසේම, චෝදනාවක් සාවද්ය හෝ දේශපාලන වුවමනාවකින් ගොතන ලද්දක් බව ඔප්පු වුවහොත්, එම කුමන්ත්රණය මෙහෙයවූ වැඩිහිටි පාර්ශවයන්ට එරෙහිව දැඩි සාපරාධී දඬුවම් සහ වන්දි අයකර ගැනීමේ ක්රමවේද නීතියට ඇතුළත් කළ යුතුය.
- ස්වයංක්රීය ඩිජිටල් පෞද්ගලිකත්ව ආරක්ෂණ නීති: විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා (TRCSL) නීති යාවත්කාලීන කරමින්, අධිකරණ ක්රියාවලියක පවතින නඩුවක වින්දිත මෙන්ම චූදිත පාර්ශවයන්ගේ අනන්යතාවය හෙළි කරන, හෝ සමාජයීය හිංසනය උසිගන්වන ඕනෑම ඩිජිටල් අන්තර්ගතයක් (YouTube හෝ TikTok පිටුවක්) වහාම අවහිර කිරීමේ සහ දැඩි දඬුවම් පැමිණවීමේ නීති හඳුන්වා දීම.
අවසාන ඉල්ලීම:
පූර්ව නිගමනවලින් සහ ගෝත්රික මානසිකත්වයෙන් මිදෙන ලෙස ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්යාපාරය (MDDR) සිවිල් සමාජයෙන් ඉල්ලා සිටියයි. අප ඉල්ලා සිටිය යුත්තේ වීදි කෝලාහල හෝ සමාජ මාධ්‍ය මඟින් සිදුකරන ප්‍රසිද්ධ දඬුවම් දීමක් නොව, සාක්ෂි මත පදනම්ව අධිකරණ ශාලාවක් තුළ පිරිසිදුව ඉටුවන යුක්තියක් සහ අනාගතය සුරක්ෂිත කරන නීතිමය පද්ධතියක් පමණි.

