ඉන්දීය සාගරය ඔස්සේ ඉන්දු ෆැසිපික් කලාපයට ගිය මෝදි චාරිකාව…
- Editor
- July 24, 2026
- දේශපාලන, පුවත්
- india, narendra-modi
- 0 Comments
නූතන මෝදි ඉන්දියාව ලෝකයේ ගමන් කරන්නේ තමන්ට ආවේණික වූ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ගමන් තාලයකට. ඒ පාද චලනයන් තුළ ගැබ් වුණ දේශපාලන රිද්ම රටා හඳුනා ගැනීම කෞටිල්‍ය පන්නයේ දේශපාලන ප්රහේලිකාවකි. සමහර රටවල් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමේ දී මූලිකත්වය දෙන්නේ ආර්ථික යුදමය වැනි අති සංවේදී විෂයයන් කෙරෙහි වෙත් දි ඉන්දියාවේ මෝදිකරණය ලෝකයේ සහෘදයන් සොයා යන්නේ සංස්කෘතික පසුබිම් වටිනාකම්වලට ද ඉහල ලන්සුවක් තබමින්ය.
පසුගිය දිනවල අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියානු සාගර කලාපය ඔස්සේ දිග හරිනු ලැබූ රාජ්‍යතාන්ත්‍රික සංචාරය තුළ ඉන්දියානු යුද සිතියමට දී තිබුණේ දශම මූලිකත්වයකි.
ඉන්දියාවෙන් ඉදුනීසියාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යනු ඉන්දියානු සාගරයේ එක පෙළට පිහිටි දූපත් රාජ්‍ය තුනකි.මේ දුප්පත් රාජ්‍ය තුන සමඟ ඉන්දියාව ගොඩනගා ගන්නා සෙනෙහෙබර රාජ්‍ය තාන්ත්රිකත්වයේ කැපී පෙනෙන ලකුණ වන්නේ එම මහා සාගරය තව කෙනෙකුට වෙනත් කෙනෙකුට එරෙහිව පාවිච්චි කිරීමට ඇති අයිතිය අනුලංඝණීයත්වයට පත් කිරීම බව මෙම ලියුම්කරුගේ අදහසයි.එහි යටි පෙළ වන්නේ ඉන්දියානු බලය ඉංදීය සාගරය පුරා අතුරා දැමීම නොවේ.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන ත්රෛරාජ්යයික සංචාරය තුළ බලශක්තිවල පැවැත්ම,සමුද්‍රා හා රාජ්‍ය ආරක්ෂාව වෙළඳාම, තාක්ෂණය,ඛනිජ ලවන, ඩිජිටල් නවෝත්පාදනය මෙන්ම මෙම රටවල්වල ජනතාව අතර සංස්කෘතික සහ සමාජීය සබඳතා ඔස්සේ එම සංස්කෘතික සංස්ථා දෙකටම ගැඹුරු සංයුක්ත ප්‍රතිඵල ලබා දීමේ අරමුණු දැකිය හැක.
එසේම මෙම සංචාරය ඉන්දියානු සාගරය පුරා දිගහැරුණු සුහදත්වයේ දැලක ලියවුන ඉන්දු ෆැසිපික් කලාපයේ වර්ධනය වන ඉන්දියාවේ ශක්තිමත් භූමිකාවේ නොනිල ප්‍රකාශයක් ලෙස ද දැකිය හැක.
මෙම සාගර කලාපය දෙස දිගු දුර බැල්මක් හෙලමින් ,මෙම ත්රෛරාජ්යයික සංචාරය දෙස බලන විට, බස්නාහිරින් සී ෂෙල්ස් දූපත්වල සිට නැගෙනහිරින් පිහිටි ඉන්දුනීසියාව දක්වා ඉන්දියානු සාගරය කලාපය පුරා විහිදුණු නව ඉන්දියානු සබඳතාවයක ජව සම්පන්න ලක්ෂණ පෙන්වමින්, ඉන්දු ෆැසිපික් කලාපයේ පිහිටි ශක්තිමත් රාජ්‍ය දෙකක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ ශක්තිමත් හවුල්කාරීත්වයක් ඉංදියාව නිර්මාණය කර ඇත. එම හවුල්කාරීත්වයේ පදනම වී ඇත්තේ, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සිය බෙදාගත් අවශ්‍යතාවන්ය යන්න නොරහසකි. මෙම උපාය මාර්ගික පරිවර්තනය ඉන්දියාවේ නව ජාත්‍යන්තර සබඳතා ප්රවේශයේ සාර්ථකත්වයට කදිම සාක්ෂියකි.
අපේ අසල්වැසි ඉන්දියාවේ මේ චලනයන් අපේ දේශපාලන සංජානනීය නහර තුළට නිවැරදිව අවශෝෂණය කරගන්න අපිට නොහැකි වුවහොත් ඉන් පාඩු වන්නේ අපට මිසක් ඉන්දියාවට නොව. ඉන්දියාව අපේ සමීපතම දීර්ඝ කාලීන සංස්කෘතික ඥාතියාය.ඒ ඥාතිත්වය නොසලකා හැර කටයුතු කිරීමට කල්පනා කිරීම තමන්ගේ පවුල් ඉතිහාසය අත්හැර දැමීමට සමානය.
ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය මේ ජාත්‍යන්තර දේශපාලන නාඩිය නිවැරදිව අල්ලා ගෙන ඇති බව නරේන්ද්‍ර මෝදිගේ සංචාරය තුළින් ඔවුන් ගොඩනගා ගත් ජාතින් අතර බැඳීම් හා සුහදතාවයන් තුළින් පැහැදිලි වේ.

ජූලි හය වැනිදා සිට අට වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ගෞරවනීය සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමා ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සිබියන්ටෝ මැතිතුමා සහ දෙරටේ රාජ්‍ය බලධාරීන් එහි දී,ආරක්ෂක හා ආරක්ෂාව,සමුද්‍ර සහයෝගීතාවය, ආර්ථික,වෙළඳ සහ ඩිජිටල් සහයෝගීතාවය,සංස්කෘතික සහ උරුමයන් පිළිබඳ,සෞඛ්‍ය,ආහාර හා බලශක්තිය ආරක්ෂාව,ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය,විද්‍යා තාක්ෂණ, සංස්කෘතික සංචාරක සහ මහජන සහයෝගීතාවයන්,කලාපීය සහ බහු පාර්ශවික සහයෝගීතාවය වැනි විෂයයන් රැසක් පදනම් කරගත් සාකච්ඡා සහ සහයෝගීතා, එකඟතා සහ ගිවිසුම් රැසකට දෙරට එක් වී ඇත.
ඒ යටතේ ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත් සහ ඉන්දුනීසියාවේ සුමාත්‍රා අතර නව සම්බන්ධතා අවස්ථා නිර්මාණය වෙමින්,ඒ තුළින් වෙළඳාම, ආයෝජන සහ කලාපීය අභිවෘද්ධියට නව පහසුකම් එක්කාසු කරමින් සබාන් වරායේ ඒකාබද්ධ සංවර්ධනය සඳහා ඉන්දියාවේ සංවර්ධන සහභාගිත්වය ඉන්දුනීසියාව පිළිගෙන ඇත.
ඉන්දියාව සහ ඉන්දුනීසියාව අත්සන් කළ ද්විපාර්ශ්වික ගිවිසුම් අතර, බ්‍රහ්මෝස් සුපර් සොනික් කෘෘස් මිසයිල පද්ධතිය ( BrahMos Supersonic Cruise Missile ) පුළුල් කිරීමට අදාළ ගිවිසුම ඉතාමත් පළල් ජාත්‍යන්තර දේශපාලන අර්ථයක් ජනනය කරයි. ඉන්දියාවේ දේශීය නිෂ්පාදනයක් වන ඇස්ට්‍රා මිසයිලය කෙරෙහි උනන්දුවක් දක්වන ඉන්දුනිසියාව විශ්වාසදායක ආරක්ෂක නිෂ්පාදන හවුල්කරුවෙකු ලෙස ඉන්දියාවේ මතුවීම ඉන් අවධාරණය කෙරේ.
ඉන්දුනීසියාවේ නිකල් සංචිත ඔස්සේ විදුලි වාහන බැටරි සහ බලශක්ති නිෂ්පාදනය සඳහා ඉන්දියාව සිය සහයෝගීතාවය එහි දී ප්‍රකට කළ අතර,ඉන්දියාව පසුගිය වසර දෙක ඇතුළත තීරණාත්මක ඛනිජ හවුල්කාරීත්වයන් පිළිබඳ ගිවිසුම් රටවල් විසි හතරක් සමග අත්සන් තබා ඇත.
ඉන්දියාව එළාගෙන යනු ලබන ඩිජිටල් නවෝත්පාදනයන් ජාත්යන්තරණය කිරීමේ සිතියම යටතේ,ඉන්දුනීසියාව ඉන්දියාවේ ඩිජිටල් වානිජ්‍ය සඳහා වූ විවෘත ජාලයේ (ONDC) ගොඩනගා ඇති ඉන්දුනීසියානු විවෘත ජාලය (ION) ආරම්භ කරමින්,රටවල් දෙකම UPI පදනම් කරගත් දේශසීමා QR ගෙවීම් ඒකාබද්ධ කිරීම් පෙරමුණට ගෙන ඇත. එමගින් රටවල් දෙක අතර ඩිජිටල් ගණුදෙනු කිරීම ඉතා පහසු තැනකට පත් කර ඇත.
බැංගලෝර් IIM විශ්ව විද්‍යාලයේ අභිනව මණ්ඩපයක් ඉන්දුනීසියාවේ පිහිටුවීමට ද මෙහි දී මුල පිරිණ. බැංගලෝර් IIM විශ්ව විද්‍යාලය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන අතර ඉන්දියාවේ අධ්‍යාපනික ව්‍යවසායකත්ව ක්ෂේත්රයෙහි සංවර්ධනීය පියවරක් ලෙස මෙය සැලකිය හැක.
ඉන්දියාවේ පුරාවිද්‍යා විශිෂ්ටයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්දුනීසියාවේ යෝග්යාකර්තා හි ප්රම්බානන් (Prambanan Temple) හ යුනෙස්කෝ ලෝක උරුම හින්දු කෝවිල් සංකීර්ණයේ ඒකාබද්ධ ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ ව්‍යාපෘතියේ සමාරම්භක සලකුණ මෙහි දී අගමැති මෝදී සහ ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ ගෞරවනීය ලෙස සටහන් කරනු ලැබීය.එම අවස්ථාව ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර සියවස් ගණනාවකට එහා ඇදී ගිය ශිෂ්ටාචාර සබඳතාවන් නැවත තහවුරු කිරීමක් ලෙස සැලකේ.
ඉන්දුනීසියාවේ ඉහළම සිවිල් ගෞරව සම්මානය වන ” ඉන්දුනීසියානු ජනරජයේ බින්ටැන් ආදීපූර්ණ ” (Star of Indonesia) සම්මානය ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ (Prabowo Subianto) විසින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත පිරිනැමීම මෙම සංචාරයේ උත්තම සලකුණ ලෙස ගණනය කළ හැක.
මෙම චාරිකාව තුළ දී ඉන්දුනීසියානු සන්නද්ධ හමුදාවන්ට බ්‍රහ්මෝස් සුපර් සොනික් මිසයිල සැපයීම,ඛනිජ කෘෂිකර්ම ඇතුළු ගිවිසුම් දාහතරකට ඉන්දියාව සහ ඉන්දුනීසියාව අත්සන් තබනු ලැබූහ. රාජ්‍ය නායකයන්ගේ ඒකාබද්ධ ප්රකාශනයට අනුව,ඉන්දියාව එවැනිම ඉදිරි ගමනකට ඉන්දුනීසියාව සමග ද අත්වැල් බැඳ ගත්තේය.ඒ අනුව ඉන්දුනීසියාව සතු අති විශාල නිකල් සංචිත විදුලි වාහන බැටරි සහ ඊට අනුශාංගික බලශක්ති නිෂ්පාදන සඳහා උපයෝගී කර ගැනීමට අදාල ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර වන සහයෝගීතාවය තවදුරටත් මෙම චාරිකාවේ දී පුළුල් කර ඇත.
(ගෙවී ගිය වසර දෙකක් ඇතුළත ඉන්දියාව රටවල් විසි හතරක් සමග මෙවැනි ඛනිජ පිළිබඳ හවුල්කාරීත්වයන් ගොඩනගාගෙන ඇති අතර තවත් රටවල් එකොලහක් සමග ඒ පිළිබඳ සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ).ඉන්දියාව විසින් අත තබා ඇති මෙම අනාගතවාදී ප්රවේශයන් තුළින් අනාගත නව තාක්ෂණයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම්දාම සුරක්ෂිත කිරීම ඉන්දියාව ලද අසාමාන්‍ය ජයග්‍රහණයකි.
ඉන්දියාවේ ඩිජිටල් නවෝත්පාදනයන් ජාත්‍යන්තරයට මුදා හැරීමේ තවත් ඉතිහාසගත සටහනක් තබමින්, “ඉන්දියාවේ ඩිජිටල් වානිජ්‍ය සඳහා වූ විවෘත ජාලය” (ONDC) මත සම්පූර්ණයෙන්ම ගොඩනගා ඇති “ඉන්දුනීසියානු විවෘත ජාලය” (ION) දියත් කළේය.එසේම UPI මත පදනම් වූ දේශසීමා QR ගෙවීම් ඒකාබද්ධ කිරීම සඳහා රටවල් දෙකම කටයුතු ඉදිරියට ගෙන යන අතර එමගින් බාධාවකින් තොරව ඩිජිටල් ගනුදෙනු සිදුකිරීම ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ක්‍රියාත්මක වනු ඇත.

එසේම ඉන්දියාව ඔස්ට්‍රේලියාව සමග ප්‍රකාශයට පත් කළ ආරක්ෂක සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ නිවේදනය තුළින්,ඉන්දීය සාගර ආරක්ෂක සහයෝගිතා මාර්ග සිතියමක්, පුළුල් බුද්ධි තොරතුරු හුවමාරුවක්,ඒකාබද්ධ මුර සංචාරක ක්ෂේත්‍ර, නාවික සේවා සැපයීමේ ගිවිසුමක් වැනි කටයුතුවලින් මෙම උපාය මාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ස්ට්‍රේලියාව සහ ඉන්දියාව ශක්තිමත් කර ඇත.
ලොව තීරණාත්මක ඛනිජ සහ බල ශක්ති ආරක්ෂාව පිළිබඳ සැලකිය යුතු ශක්තිමත්භාවයක් මෙම සංචාරයේ දී ඉන්දියාවට ලැබී ඇත.ඒ අනුව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ලිතියම් කොබොල්ට් සහ දුර්ලභ පාංශු ආවරණය වන ඛනිජ කොරිඩෝවක් ස්ථාපිත කිරීම මෙම චාරිකාවේ සිදු වූ විශේෂ සිදුවීමකි.එම ද්‍රව්‍ය ආනයනයන්ට අමතරව සැකසුම් සහ අගය එකතු කිරීමේ ඒකාබද්ධ ආයෝජන සහයෝගීතාවය වෙත ද එම කොරිඩෝ ක්‍රියාත්මක වනු ඇත.

මෙම චාරිකාවේ දී ඉන්දියාව ලබාගත් සුවිශේෂ ජයග්‍රහණය වන්නේ ඔස්ට්‍රේලියාව ඉන්දියාවේ දිගු කාලීන යුරේනියම් සැපයුම්කරු ලෙස කටයුතු කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමයි.ලෝකයේ පවතින යුරේනියම් සංචිතවලින් තුනෙන් එකක් ඇත්තේ ඔස්ට්‍රේලියාව සතුවය. 2047 වන විට ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති ධාරිතාව ගිගාවෝට් සියයක් (G.V 100) දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයට යෑමේ දී ඔස්ට්‍රේලියාව සමග වන මෙම හවුල්කාරීත්වය තීරණාත්මක ජයග්‍රාහී සාධකයකි.එසේම මෙම චාරිකාවේ දී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව නව විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුමක් සඳහා ඔවුන්ගේ වන අභිලාෂයන් තහවුරු කර ඇත.
ඔස්ට්‍රේලියාව අතීතයේ තමිල්නාඩුවෙන් අත්කර ගත් මිල කළ නොහැකි ඉන්දියානු කෞතුක වස්තු තුනක් (නන්දි ගව ප්‍රතිමාව,ශුභ කාලි සහිත ත්‍රිශූලය,හිස් හයක් සහිත කාර්තිකය ප්‍රතිමාව) නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීම මෙම චාරිකාව අතර දී නිවේදනය කළේය. ඊට අමතරව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ක්‍රිකට්, ක්‍රීඩා විද්‍යාව ,තරුණ හුවමාරු සහ අදාල තාක්ෂණය යන විෂයන්ට අදාල ක්‍රීඩා සහයෝගිතා මාර්ග සිතියමක් මෙල්බන් ක්‍රිකට් පිටියේ දී එළි දක්වනු ලැබීය.එසේම ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ලීගේ ආරම්භක තරගය මේ වසර අග දී චෙන්නායි හි පැවැත්වෙන බව නිවේදනය කිරීම ද සුවිශේෂ සිද්ධියකි.
ජූලි අට වැනි දා සිට දහ වැනි දා දක්වා ඔස්ට්‍රේලියාවේ ඉංදීය අග්‍රාමාත්‍ය මොදි කළ සංචාරයේ දී රටවල් දෙක අතර ද්වී පාර්ශ්වික ගිවිසුම් දහ නවයක් අත්සන් තබනු ලැබීය.අධ්‍යාපනික,සිනමා,ඩිජිටල්,භූ විද්‍යා,තාක්ෂණ හා නවෝත්පාදනය, පුරාවිද්‍යා හා කෞතුක වස්තු,පතල් ක්ෂේත්රය,ආරක්ෂක,ක්‍රීඩා,න්‍යෂ්ටික විද්‍යා,බලශක්ති යන ක්ෂේත්‍ර රාශ්රිතව මෙම ගිවිසුම් සහ එකඟතාවයන් වලට දෙරට එළඹියේය.

ජූලි දහ වැනිදා නවසීලන්තයට ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සොන් මහතා ( Christopher Luxon) අතර නිල හමුව සිදුවූයේ ඕක්ලන්ඩ්වලදීය.
එහි දී ඉන්දියාව සහ නවසීලන්තය අතර දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයන්,ආරක්ෂක සහ ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ,වෙළඳ සහ ආර්ථික සහයෝගීතාවය,මහජනතාව සංස්කෘත සහ ක්‍රීඩා,අධ්‍යාපන පර්යේෂණ විද්‍යා තාක්ෂණ සහ ආපදා කළමනාකරණය,කලාපීය සහ බහු පාර්ශවික සහයෝගීතාව වැනි ක්ෂේත්‍ර රැසක් අරභයා ගිවිසුම් සහ සහයෝගිතා එකඟතාවයන් ප්‍රකාශයට පත් කෙරින. ඊට අදාළ
ද්වීපාර්ශික සබඳතා පිළිබඳ උපාය මාර්ගය හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නැංවීමට අදාළ 2013 සඳහා වන මාර්ග සිතියමක් ද මෙම සංචාරයේ දී අනුමත වී එම ක්ෂේත්රවල සහයෝගයතාවය සඳහා අදාල ව්‍යුහගත රාමුව සකසනු ලැබීය.මෙහි දී ආරක්ෂක සහයෝගීතාවයේ ද ප්‍රධාන ජයග්‍රහණ අත්කර ගත් බව වාර්තා වේ.
එසේම ඉන්දියාව සහ නවසීලන්තය රටවල් දෙක අතර සැපයුම් සහාය විධි විධාන සහ සමුද්‍රීය සහයෝගිතා ගිවිසුම් තුළින් සමුද්‍රීය ආරක්ෂක සංවාදයක් ස්ථාපිත කර ඇත.ඒ තුළින් නවසීලන්තය ඉන්දියාවේ ඉන්දු ෆැසිපික් සාගර සමුද්‍රීය ආරක්ෂක බලකුළුණට එක් වී ඇත.
එසේම නවසීලන්තය ඉන්දියාව ප්රමුඛ ගෝලීය ජෛව ඉන්ධන සන්ධානයට සම්බන්ධ වී තිරසර බලශක්තිය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ බව මාධ්‍ය වාර්තා කරයි.2030 වන විට ද්වීපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන හත දක්වා දෙගුණ කිරීමට සහ 2026 මුලදී අත්සන් කරන ලදඉන්දියා නවසීලන්ත නිදහස් වෙළඳ ගිවිසුමේ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට ද ඉන්දියාව සහ නවසීලන්තය කැපවී කටයුතු කරති.
රග්බි, ඔරුපැදීම, මළල ක්‍රීඩා, ගොල්ෆ් හා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ පුහුණුව ඇතුළත් ක්‍රීඩාවට අදාළ ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් ඉන්දියාව සහ නවසීලන්තය විසින් මෙහිදී පිළිගනු ලැබීය.
ඉන්දියාවේ මෙම ත්රෛරාජ්යයික සංචාරය තුළින් එම රටවල්වලට ද යුක්ති සහගත පංගුවක් ලබාදෙමින් හා වෙළඳාම,ආයෝජන සහ ආර්ථික සහයෝගීතාවය පිළිබඳ ආර්ථික හවුල්කාරීත්වයන්ට විශාල තෙරපුමක් ඇති වූ බව ඒකාබද්ධ ප්‍රකාශයන් ගෙන් ගම්‍ය වේ.එසේම මෙම චාරිකාව තුළින් ගොඩනගා ගත් ද්වීපාර්ශික විශ්වාසනීය සබඳතා වර්ධනයන් ඔස්සේ ඉන්දියාවේ ආර්ථික ප්‍රවේගය සහ ආයෝජන හිතකාමී පරිසරය කෙරෙහි ගෝලීය විශ්වාසය තවදුරටත් ශක්තිමත් කෙරේ.
මෙම ත්රෛරාජ්යයික චාරිකාවේ කැපී පෙනුන සිදුවීම් අතරින් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පෞද්ගලිකවම ගොස් අගමැති මෝදි පිළිගැනීම ද නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් මහතා ද අග්‍රාමාත්‍ය මෝදි පෞද්ගලිකව පිළිගනිමින් සිය හෘදයාංගම බව දැක්වීම ද මාධ්‍ය අවධාරණය කරයි.එසේම නවසීලන්තයේ ඔක්ලන්ඩ් ස්කයි කුළුණ ඉන්දීය ධජයේ ත්රිවර්ණාවෙන් ආලෝකමත් කිරීම සුවිශේෂීය.
රටවල් තුනේම රජයේ ප්‍රධානීන් ඉන්දීය ඩයස්පොරා හමුවීම් වලට සම්බන්ධවීම ද රාජ්‍යතාන්ත්‍රික චාරිකාවකදී දක්නට ලැබෙන අසාමාන්‍ය සිද්ධියක් ලෙස සැලකේ. රටවල් තුන ප්‍රකට කරන ලද ප්‍රතිචාර තුළින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව කෙරෙහි ලෝකය තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කෙරෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
| පුණ්‍යසිරි ජයසිංහ

