ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව: අභියෝග, සාම්ප්‍රදායික ප්‍රඥාව සහ නවීන විද්‍යාවේ සුසංයෝගය
- Editor
- April 9, 2026
- දේශපාලන, පුවත්
- food-security
- 0 Comments
ආහාර සුරක්ෂිතතාවය යනු හුදු සංකල්පයක් පමණක් නොව, ජාතියක පැවැත්ම තීරණය කරන ප්‍රබල සාධකයකි. ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායකයන්ට අනුව ආහාර සුරක්ෂිතතාවය ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ අර්ථ දැක්වේ. එනම්; පුරවැසියෙකුට ආහාර ලබා ගැනීමට ඇති හැකියාව, ආහාර වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව, ආහාර පරිභෝජනය කිරීමට ඇති හැකියාව සහ මෙම ක්‍රියාවලියේ පවතින ස්ථාවරභාවයයි. මේ වන විට ශ්‍රී ලංකා රජය ද, සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත, සෞඛ්යාරක්ෂිත සහ තිරසර ආහාර වේලක් සඳහා ඇති අයිතිවාසිකම තහවුරු කිරීමේ අරමුණින් ආහාර සුරක්ෂිතතාවය සඳහා වන ජාතික කමිටුවක් හරහා ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබේ.
කෙසේ වෙතත්, සාර්ථක ප්‍රතිපත්ති සම්පාදනයක් සඳහා නිවැරදි තොරතුරු සහ දත්ත අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද, අපගේ කෘෂිකාර්මික දත්ත පද්ධතියේ පවතින යම් යම් ගැටලුකාරී ස්වභාවයන් හේතුවෙන් ප්‍රතිපත්තිමය තීරණ වැරදි දිශාවකට යොමු වීමේ අවදානමක් පවතී. ගොවිතැන යනු ස්වභාවධර්මය හා දැඩිව බැඳුණු ක්‍රියාවලියකි. එබැවින්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මූලික වී, සමස්ත රටේ ආහාර නිෂ්පාදනය සහ පරිභෝජන රටාවන් පිළිබඳව පැහැදිලි දත්ත පදනමක් ගොඩනැගීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
දේශගුණික, කාලගුණික, නාගරික, ග්‍රාමීය සහ ආගමික වටපිටාවන් මත පදනම්ව විවිධාංගීකරණය වූ ආහාර පරිභෝජන රටාවන් ශ්‍රී ලාංකික සමාජය තුළ දක්නට ලැබේ. සැබෑ ආහාර සුරක්ෂිතතාවයක් කරා ළඟා වීමට නම්, මෙම සියලු සාධක පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කළ යුතුමය.
පශ්චාත් අස්වනු හානිය සහ මිල පාලනය
රටක ආහාර සුරක්ෂිතතාවයට එල්ල වී ඇති ප්‍රබලම තර්ජනයක් වන්නේ ආහාර නාස්තියයි. වර්තමාන දත්ත වලට අනුව, ගොවියාගේ අස්වැන්නෙන් ආසන්න වශයෙන් 35%ක පමණ ප්‍රමාණයක් පාරිභෝගිකයා අතට පත්වීමට පෙර විනාශ වී යයි. විශේෂයෙන්ම නුවරඑළිය, බදුල්ල සහ බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවල සිට කොළඹ දක්වා එළවළු ප්‍රවාහනය කිරීමේදී මෙම හානිය බහුලව සිදුවේ. සාමාන්‍ය ලොරි රථ මගින් සිදුකරන ප්‍රවාහනය වෙනුවට, දුම්රිය ප්‍රවාහනය සහ ශීතාගාර (Cold Rooms) පහසුකම් සහිත වාහන භාවිතය වැනි නවීන ක්‍රමවේදයන් ජාතික ප්‍රතිපත්තියක් ලෙස හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ.
එමෙන්ම, නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර පවතින අතිවිශාල මිල පරතරය නිර්මාණය වී ඇත්තේ අතරමැදියන්ගේ අනවශ්‍ය මැදිහත්වීම නිසාවෙනි. මෙම අසාධාරණ මිල උච්චාවචනයන් පාලනය කිරීම සඳහා රජයේ සෘජු මැදිහත්වීමක් අවශ්‍ය වන අතර, එසේ නොමැති වුවහොත් අධික මිල හේතුවෙන් ජනතාවට පෝෂ්‍යදායී ආහාර පරිභෝජනයෙන් ඈත් වීමට සිදුවනු ඇත.
දේශගුණික විපර්යාස සඳහා පූර්ව සූදානම
ලෝකයේ පවතින ව්‍යසනකාරී තත්ත්වයන් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවය අද වන විට කඩිනම් මාතෘකාවක් බවට පත්ව ඇත. මැදපෙරදිග අර්බුද වැනි ගෝලීය තත්ත්වයන් මෙන්ම, මෑතකදී අප මුහුණ දුන් කිසිවෙකුත් අපේක්ෂා නොකළ හදිසි සුළි කුණාටු තත්ත්වයන් අපගේ ආහාර සැපයුමට දැඩි බලපෑමක් එල්ල කළේය. ආසියාතික රටක් ලෙස අපට දේශගුණික විපර්යාසයන්ට ක්ෂණිකව මුහුණ දීමේ පූර්ව සූදානමක් නොමැත. එබැවින්, හදිසි දේශගුණික බලපෑම් අධ්‍යයනය කර කඩිනම් තීරණ ගැනීම සඳහාම වෙන්වූ විශේෂිත ආයතනයක් හෝ ඒකකයක් ජාතික මට්ටමින් ස්ථාපිත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.
සාම්ප්‍රදායික ප්‍රඥාව සහ තාක්ෂණයේ භාවිතය
අතීතයේ සිටම ශ්‍රී ලාංකික ගොවියා යල-මහ කන්න පදනම් කරගනිමින් සාර්ථකව කෘෂිකර්මාන්තයේ නියළුණේය. ‘කන්න රැස්වීම’ යනු එහි ඇති විශිෂ්ටතම ප්රජාතන්ත්රවාදී සහ විද්‍යාත්මක ලක්ෂණයකි. ගමක හෝ වසමක සිටින සියලුම ඉඩම් හිමියන් සහ භුක්තිකරුවන් එක්ව, වගා කළ යුතු බෝග, බීජ වර්ග, ජල කළමනාකරණය සහ දින වකවානු තීරණය කිරීම මෙහිදී සිදුවේ. මෙම සාම්ප්‍රදායික ක්‍රමවේදය නවීන තාක්ෂණය සමඟ බද්ධ විය යුතුය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අතීතයේදී හඳුන්වා දුන් දේශගුණික කලාපකරණය (තෙත්, වියළි, අතරමැදි ආදී වශයෙන්) සහ ඊට අදාළ බෝග වගා දින දර්ශන අදටත් වලංගුය. සුළු ඉඩ ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා හරිතාගාර (Greenhouses) තුළ වගා කිරීම වැනි නවීන ක්‍රමවේදයන් දේශීය කෘෂිකර්මාන්තයට හඳුන්වා දීමෙන් අඛණ්ඩ සහ තිරසර ආහාර සැපයුමක් සහතික කළ හැකිය.
ගෘහස්ථ ආහාර නාස්තිය සහ පෝෂණ දැනුවත්භාවය
ආහාර සුරක්ෂිතතාවය ආරම්භ විය යුත්තේ නිවසෙනි. අද වන විට රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය හරහා කැලරි සහ ප්‍රෝටීන් ප්‍රමාණ පිළිබඳව වෛද්‍යවරුන් විසින් විවිධ උපදෙස් ලබා දුන්නද, බහුතරයක් ගෘහණියන්ගේ ප්‍රමුඛතාවය වී ඇත්තේ “බඩ පිරෙන” සේ බත් පදනම් කරගත් ආහාර වේලක් සකස් කිරීමයි. මේ හේතුවෙන් නිවෙස් තුළ විශාල ආහාර නාස්තියක් සිදුවේ. එබැවින් කාන්තාවන්, ගොවි ප්‍රජාව සහ සාමාන්‍ය ජනතාව වෙත ශරීරයට අවශ්‍ය නිවැරදි පෝෂණ ප්‍රමාණයන් සහ ආහාර වල සැබෑ වටිනාකම පිළිබඳව ප්‍රායෝගික දැනුවත් කිරීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, අර්බුද කාලවලදී අනවශ්‍ය බියක් ඇති කරගනිමින් ආහාර රැස් කර තබා ගැනීම සහ සඟවා තබා ගැනීම වැනි සමාජීය පුරුදු ද පාලනය කළ යුතු වේ.
ගොවිජන නීතිය සහ සංස්කෘතික බැඳීම
රටක ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා නීතිමය රාමුවක් ද පවතී. 1958 කුඹුරු පනතේ සිට 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත දක්වා විකාශනය වූ ගොවිජන නීතිය මගින් පෙන්වා දෙන්නේ, කෘෂිකාර්මික ඉඩමක අයිතිය හෝ භුක්තිය දරන ඕනෑම අයෙකු රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව එයින් උපරිම ඵලදායී අස්වැන්නක් ලබා ගැනීම ඔහුගේ පරම වගකීම සහ යුතුකම බවයි. නීති සම්පාදකයන් එදා සිටම මෙම වගන්තිය ඇතුළත් කර ඇත්තේ රටේ ආහාර සුරක්ෂිතතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණෙනි.
අපේ ගොවියා කෘෂිකර්මාන්තය හුදු ජීවනෝපායක් ලෙස පමණක් නොව, ඉර, හඳ, මහපොළොව සහ ස්වභාවධර්මයට කෘතවේදීත්වය දක්වන සංස්කෘතික අංගයක් ලෙස ද සලකයි. මහ කන්නයේ අස්වැන්න නෙළා ගත් පසු එහි අග්‍ර භාගය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන ‘අලුත් සහල් මංගල්‍යය’ එහි කදිම නිදසුනකි.
සමස්තයක් ලෙස ගත් කල, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කළ හැක්කේ රජයේ නිවැරදි දත්ත පාදක කරගත් ප්‍රතිපත්ති, නාස්තිය අවම කරන නවීන තාක්ෂණය, පෝෂණය පිළිබඳ ජනතා දැනුවත්භාවය සහ අපේ පැරණි කෘෂිකාර්මික සංස්කෘතියේ ඇති හර පද්ධතීන් ඒකාබද්ධ වූ පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් පමණි.
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ‘කතිකාව’ සංවාදයේදී “ලෝකය මුහුණ දෙමින් සිටින නව තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි යොමු කළ යුතුව ඇති අවධානය’” සම්පත්දායකයකු ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස් පුෂ්පා වීරසේකර මැණිකේ දක්වන ලද අදහස් ඇසුරින් වූ ලිපියකි.)


