“අතුරු හානි”: නූතන යුද සන්දර්භය තුළ සංවේදී වචන යොදා සමූහ ඝාතන පිරිසුදු කරන අන්දම: ලේඛන ගත කල රටා සහ නිහඬ වීමේ පිරිවැය – ලයනල් බෝපගේ
සිරියාව සහ ඉරාකය: රෝහල් ඉලක්ක ලෙස
වෛද්‍ය යටිතල පහසුකම් ඉලක්ක කිරීම නූතන ගැටුම් බොහොමයක ලේඛන ගත කර තිබෙන ලක්ෂණයක් බවට පත්ව ඇත. එය සමපාත වීමක් නොව, උපාය මාර්ගයකි.
සිරියාවේ මානව හිමිකම් සඳහා වූ වෛද්‍යවරු (PHR) නමැති සංවිධානය අසාද් ආණ්ඩුව සහ සභාග හමුදා විසින් සෞඛ්‍ය පහසුකම් වෙත නොනවත්වා එල්ල කරන ලද ප්‍රහාර ලේඛනගත කළේය. රෝහල් ආසන්නයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිවිල් ජන කොටස් බියක් ඇති කර ගත්හ. එම බිය ම උපාය මාර්ගික ප්‍රතිඵලයක් විය. සෞඛ්‍ය සේවාවන් ට ප්‍රවේශ විය නොහැකි ජනගහනයක් අවතැන් කරන්නට, අධෛර්යමත් කරන්නට සහ පාලනය කරන්නට පහසු බවට පත් වේ.
ඉරාකයේ, 2003 ආක්‍රමණය සහ පසුව කරන ලද නාගරික මෙහෙයුම් අතරතුර, සමාන රටාවන් ඉස්මතු විය. සභාග හමුදා නාගරික ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම්වලට පහර දුන් බව බටහිර නිරීක්ෂකයෝ වාර්තා කළහ. PHR සංවිධානය එහි ප්‍රතිඵල ලේඛනගත කළේය. සෑම සිද්ධියක් ම හමුදා අවශ්‍යතාවය වෙත ආරෝපණය කරන ලදී. සංයුක්ත බලපෑම වූයේ සිවිල් ජනයාගේ දිවි පැවැත්මට අවශ්‍ය කරන යටිතල පහසුකම්වල ක්රමානුකූල පරිහානිය යි.
සිරියාව, ඉරාකය, ගාසා තීරය සහ ශ්‍රී ලංකාව පුරාම රටාව එකිනෙකට ගැළපෙයි. රෝහල්වලට පහර දෙන්නේ ස්ථානවල පිහිටීම (ඛණ්ඩාංක) හමුදා නිලධාරීන්ට ඉදිරිපත් කිරීමෙන් පසුව යි. වෛද්‍ය සේවකයින් මරා දමනු ලැබේ. ප්‍රහාර ලේඛනගත කරන මාධ්‍යවේදීන් බිය ගැන්වීමට, පැහැර ගැනීමට හෝ ඝාතනය කිරීමට ලක් වේ. මෙම රටාවේ සෑම අංගයක් ම ලේඛනගත කර ඇති අතර ඒ කිසිවක් අහම්බ නොවේ.
තොරතුරු යුද්ධය: හිතාමතා කරන දේ සැඟවීම
භාෂාව, සැඟවීමේ එකම මෙවලම නොවේ. නූතන යුද්ධය සමඟ සමගාමීව, වගවීම වැළැක්වීම සඳහා සැලසුම් කරන ලද සංකීර්ණ තොරතුරු මෙහෙයුම් ද යොදා ගැනේ.
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් (psychological operations — PSYOP), සමකාලීන යුද උපාය මාර්ගවල ප්‍රධාන කුලුණු බවට පත්ව ඇත. ඩිජිටල් යුගයේ දී, ඒවා සංජානන යුද්ධ හෝ තොරතුරු යුද්ධ වශයෙන් වර්ග කර ඇත. ඒවායේ අරමුණ වන්නේ යථාර්ථය කඩා බිඳ දැමීම යි; සත්‍යය වෙත ප්‍රවේශ විය නොහැකි වන තෙක් පරස්පර විරෝධී වෘත්තාන්ත මගින් තොරතුරු අවකාශය පිරවීම යි.
යොදා ගන්නා ලද සුවිශේෂ ශිල්පීය ක්‍රම ලේඛනගත කර ඇත. කෲරත්වය ප්‍රචාරණය කිරීම, ප්‍රහාර සාධාරණය කිරීමට සහ විරුද්ධවාදීන් බිහිසුණු බව පෙන්වන්නට සතුරාගේ කෲරත්වය පිළිබඳ වාර්තා ප්‍රබන්ධ කරයි. අත්‍යන්ත ව්‍යාජ තාක්ෂණය (deepfake technology), යුද සිදුවීම් පිළිබඳව ඒත්තු ගන්වන එහෙත් ව්‍යාජ දර්ශන නිපදවයි. විරුද්ධවාදීන් සිදු කල බව පෙන්වන අන්දමට ව්‍යාජ ධජ මෙහෙයුම් (false flag operations) ඔස්සේ ප්‍රහාර හෝ සිදුවීම් දියත් කරයි.
ශ්‍රී ලංකාවේ මෙම උපක්‍රමය හා සම්බන්ධ දේශීය පූර්වාදර්ශවලට උදාහරණ වශයෙන්, 1971 මාර්තු 10 වන දින මාඕවාදී තරුණ පෙරමුණේ සාමාජිකයින් විසින් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට එල්ල කරන ලද ප්රචණ්ඩ ප්‍රහාරය සහ 1983 ජූලි මාසයේ දෙමළ විරෝධී සංහාරය දැක්විය හැකිය. එවකට රාජ්‍ය සහ පාලන තන්ත්ර නායකයින් විසින් ඒ සිද්ධීන් දෙකම, ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) වගකිව යුතු බවට චෝදනා එල්ල කිරීම සඳහා රහසිගතව සංවිධානය කරන ලදී. රටේ පැවති විවිධ ගැටුම් අතරතුර, රජය සැලසුම් කර ක්‍රියාත්මක කල මෙවැනි ව්‍යාජ ධජ මෙහෙයුම් කොපමණ ද යන්න තවමත් අපැහැදිලි ව පවතින අතර, ඒ පිළිබඳ තොරතුරු තවමත් මුළුමණින් හෙළිදරව් වී නැත.
2019 පාස්කු ඉරිදා සිදු කරන ලද ප්‍රහාර වටා ඇති චෝදනාවලින් පෙනී යන්නේ ඒවා දේශපාලන අරමුණු සහිතව ව්‍යාජ ධජ මෙහෙයුමක් විය හැකි බව යි. ආණ්ඩුවේ පරීක්ෂණ එම ප්‍රහාර ISIS ආභාෂය ලද දේශීය රැඩිකල්වාදීන් සමඟ සම්බන්ධ කර තිබුණේ වුවත්, 2023 වාර්තා චිත්‍රපටයක හෙළි කර ඇත්තේ ආරක්ෂක අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරීන් ප්‍රහාරකයින් සමඟ කලින් හමු වූ බවත්, එමඟින් ඉදිරි මැතිවරණවලට බලපෑම් කිරීම සඳහා ජාතික ආරක්ෂක න්‍යාය පත්‍රයක් ශක්තිමත් කළ බවත් ය.
සාමාන්‍ය සමාජ මාධ්‍ය භාවිතා කරන්නෝ, සත්‍යාපනය නොකළ යුද දර්ශන යලි යලිත් හුවමාරු කිරීමෙන්, නොදැනුවත්වම රාජ්‍ය හෝ නිල මට්ටමේ අසත්‍ය ප්‍රචාරණ ව්‍යාපාර තවදුරටත් ශක්තිමත් කරති. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ, තොරතුරු ක්ෂේත්රය තුළ හිතාමතාම යුද්ධය පිළිබඳ ව්‍යාකූල තත්ත්වයක් (මීදුමක්) ඇති කිරීමයි. ඒ ව්‍යාකූල තත්ත්වය (යුද මීදුම) තුළ, හිතාමතා එල්ල කළ ප්‍රහාරවලින් සැබෑ ‘‘අතුරු හානි” වෙන් කර හඳුනා ගැනීම බාහිර නිරීක්ෂකයින්ට තාක්ෂණික ව දුෂ්කර බවට පත් වේ; එය අපරාධ කරන රාජ්‍යයන් සඳහා උපායමාර්ගිකව යෝග්‍ය වේ.
2009 වසරේ, සිවිල් යුද්ධය අවසාන අදියරට එළඹෙන්නට බොහෝ කලකට පෙර සිටම ශ්‍රී ලංකාව තුළ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි. 1971 අප්‍රේල් කැරැල්ල සමයේ දී සභාග දේශපාලකයෝ සහ රාජ්‍ය විකාශන ආයතන, කැරලිකරුවන් වයස අවුරුදු පහට අඩු දරුවන් සහ පනස් පහට වැඩි වැඩිහිටියන් මරා දමන බවටත්, කැරලිකරුවන්ගේ ආණ්ඩුවක් දිවයිනේ වැවිලි ආර්ථිකය උදුරා දමා ඒ වෙනුවට මඤ්ඤොක්කා වගා කරනු ඇති බවටත් ව්‍යාජ වාර්තා ප්‍රචාරය කළහ. මෙම විකාශනයන් සකස් කර තිබුණේ පවතින සමාජ බෙදීම් අයුතු ලෙස යොදා ගැනීමට යි. ඔවුන්ගේ අරමුණ වූයේ තොරතුරු සැපයීම නොව, තරුණ සටන්කාමී පරම්පරාව සහ ඔවුන් යැපුණු ඔවුන්ගේ දෙමාපිය පරම්පරාව අතර පරතරය පුළුල් කිරීමයි. සටන්කාමීන් ඔවුන්ගේ ප්රජාවන්ගෙන් හුදකලා කිරීමට භාවිතා කරන ලද මෙවලම වූයේ බලයට වඩා භීතිය ජනිත කිරීම යි.
දේශීය මාධ්‍ය උදාසීන කර දැමීම මෙම යුද උපාය මාර්ගයේ ප්‍රධාන අංගයක් විය. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට, විශේෂයෙන්ම දෙමළ සිවිල් වැසියන්ගේ ජීවිත හානි සහ රජයේ දූෂණ පිළිබඳව වාර්තා කරන මාධ්‍යවේදීන්ට, එල්ල කරන ලද ඉහළ මට්ටමේ බිය ගැන්වීම්, පැහැර ගැනීම් සහ ඝාතනය කිරීම් පිළිබඳව ක්ෂමා ජාත්‍යන්තරය ලේඛන පවත්වා ගත්තේය. මාධ්‍යවේදීන්ගෙන් තොරව, සාක්ෂිකරුවෝ නොසිටිති. සාක්ෂිකරුවන් නොමැතිව, වින්දිතයෝ නොසිටිති; පවතිනු ඇත්තේ කරන ලද හානිය පමණි.
සඟවා තිබෙන කරුණුවල විශාලත්වය
සංඛ්‍යාලේඛන, අසම්පූර්ණ විට දී පවා, යම් අවබෝධයක් ලබා දෙයි. 2001 සිට ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, යේමනය සහ පකිස්ථානය යන රටවල කරන ලද හමුදා මෙහෙයුම්වලින් සිවිල් වැසියන් 363,000 ත් 387,000 ත් අතර සංඛ්‍යාවක් මරා දමනු ලැබ ඇත. 2003 ආක්රමණයේ මුල් මාස නවය තුළ ඉරාකයේ පමණක් සිවිල් වැසියන් 12,000 කට වැඩි පිරිසක් මරා දැමුණි. මෙම ගණන් හිලව්වල ඇතුළත් වන්නේ සෘජු ඝාතන පමණකි. ජලය, ආහාර, වෛද්‍ය සහ විදුලි යටිතල පහසුකම් විනාශ කිරීමෙන් ඇති කරන ලද අනියම් හානි ඒ ගණන් හිලව්වල ඇතුළත් නොවේ.
එක් විශ්ලේෂණයකට අනුව, අනියම් මරණ ඇතුළත් කළ විට, සැබෑ මරණ සංඛ්‍යාව සෘජු ලෙස වාර්තා කර ඇති සංඛ්‍යාව මෙන් හතර හෝ පස් ගුණයක් වේ. නූතන සන්නද්ධ ගැටුම්වල දී සිවිල් මරණ සංඛ්‍යාව දැන් සැලකිය යුතු ලෙස සටන් කරුවන්ගේ මරණ සංඛ්‍යාව ඉක්මවා යයි. ‘‘අතුරු හානි” රීතිය සැලසුම් කර ඇත්තේ සිවිල් හානි සීමා කිරීම සඳහා ය. ප්‍රායෝගික වාර්තාව පෙන්නුම් කරන්නේ එය එසේ කිරීමට අපොහොසත් වී ඇති බවයි.
පහත දැක්වෙන ප්රශ්නය අපහසු එකකි. රීතියක්, හානි සිදු කරන අයගේ වාග්ලංකාර අවශ්‍යතා වෙනුවෙන් විශ්වාසදායක ලෙස සේවය කරන අතරම, එය ආරක්ෂා කිරීමට සැලසුම් කරන ලද අයව ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් අපොහොසත් වූ විට, එම රීතිය නීතියක් ලෙස ක්‍රියාත්මක වීම නැවතී ඇත. ඒ වෙනුවට, එය වගවීම කළමනාකරණය කිරීම සඳහා නීතිමය මෙවලමක් ලෙස නොව භාෂාමය මෙවලමක් ලෙස පමණක් කටයුතු කරයි.
නිගමනය: සිදු වන දේ නම් කිරීම
‘‘අතුරු හානිය” යන පදය උදාසීන විස්තර කිරීමක් නොව, දේශපාලන මෙවලමකි. එය හිතාමතාම කරන ලද ක්‍රියාවක සිට සදාචාරාත්මක වගකීම පුද්ගල නොවන ක්‍රියාවලියක් වෙත පවරයි. එය, මිනිසුන් ඝාතනය කිරීම ඉලක්ක කිරීමේ ජ්‍යාමිතිය පිළිබඳ තාක්ෂණික ගැටළුවක් බවට පරිවර්තනය කරයි. එය ප්‍රහාර එල්ල කරන්නට නියෝග කළ අයට අභිප්‍රාය පිළි නොගෙන කනගාටුව ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි.
දේශපාලනික භාෂාවේ අරමුණ අසත්‍යය, සත්‍යවාදී බවට පත් කිරීම සහ මිනීමැරුම් නම්බුකාර බවට පත් කිරීම බව ජෝර්ජ් ඕවල් ලිවීය. ‘‘අතුරු හානිය” ඔහු හැඳින්වූ සංසිද්ධිය පිළිබඳ නිශ්චිත උදාහරණයක් වේ. මෙමගින් සමූහ ඝාතනයක්, සාමාන්‍ය නීත්‍යානුකූල මෙහෙයුමක සිදු වන සුළු අත් වැරදීමක් (margin of error) ලෙස හුවා දක්වයි.
ගාසා තීරය, යුක්රේනය, සිරියාව, ඉරාකය සහ ශ්‍රී ලංකාව යන රටවල සිදු වන ගැටුම් ව්‍යුහාත්මක ලෙස සමාන කමක් උසුළයි. සෑම අවස්ථාවක දීම, විනාශ කිරීමේ රටාව – එනම්, රෝහල් නැවත නැවතත් ඉලක්ක කිරීම, ජලය සහ ආහාර යටිතල පහසුකම් හිතාමතාම විනාශ කිරීම, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, සිවිල් ජනතාව සමූහ වශයෙන් අවතැන් කිරීම – අහම්බෙන් සිදු වන හානියක් ලෙස පිළිගත හැකි ඕනෑම අර්ථ දැක්වීමක් ඉක්මවා යයි. සෑම අවස්ථාවක දීම, එම නිගමනයට එළඹීම වැළැක්වීම සඳහා ‘‘අතුරු හානි” යන භාෂාව යොදවා ගෙන ඇත.
වගවීම ආරම්භ වන්නේ භාෂාවෙනි. පුරෝකථනය කළ හැකි, ලේඛනගත, නැවත නැවත සිදු වන පරිසරයක් තුළ දස දහස් ගණනක් සිවිල් වැසියන්ගේ මරණ, නීත්‍යානුකූල මෙහෙයුම්වල අවාසනාවන්ත ප්‍රතිවිපාක පමණක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් මෙය ආරම්භ වේ. එම ක්‍රියාව එහි නමින් ම හැඳින්වීම අවශ්‍ය වේ.
සිවිල් වැසියන් හිතාමතා ඉලක්ක කිරීම යුද අපරාධයකි. එය වසන් කිරීමට භාවිතා කරන භාෂාව අර්ථකථනය පිළිබඳ ගැටලුවක් නොව සදාචාරාත්මක ගැටලුවකි. එම භාෂාව ප්‍රශ්න කිරීමෙන් තොරව පිළිගැනීමේ වන්දිය ගෙවනු ලබන්නේ සුන්බුන් යට වැළලී සිටින අය විසිනි; එනම්, පාරිභාෂික ශබ්ද මාලාව දැනටමත් ඔවුන් ‘හානියක්’ (damage) ලෙස නම් කර ඇති බැවින්, කිසිදාක වින්දිතයන් ලෙස ගණන් නොගනු ලබන ජනයා විසිනි.
මූලාශ්‍ර: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තා; ක්ෂමා ජාත්‍යන්තරය; මානව හිමිකම් සඳහා වෛද්‍යවරු; ගැටුම් සහ ආරක්ෂක නීතිය පිළිබඳ ඔක්ස්ෆර්ඩ් සඟරාව; ගෝලීය ප්‍රතිපත්ති සඟරාව; වෙස්ට් පොයින්ට් ලීබර් ආයතනය; විකිපීඩියා (අතුරු හානි).
(අවසානය)

2026 අප්‍රේල් 10 වන දා

