කිතුල් මලෙන් උපන් යුනෙස්කෝ බුහුමන

ඍජු කඳැති බණ්ඩි කිතුල් ගස් මුදුනට හැර බැඳුනු දසුන් ඔබ නෙත ගැටී නැත්නම් ලාංකිකයෙකු ලෙස ලැජ්ජාවට පත් විය යුතුය. ගැට සහිත දිගු හා ශක්තිමත් කෙළින් වැඩුණු කහ උණ ගස් දෙකක් එක්ව ගෙන කිතුල් ගසට හැර බැඳීම සිදු කෙරෙයි.  උණ ගස් දෙකෙහි ගැට නැගී ඇත්නම් කදිමය. ඒවා අසළින් කිතුල් ගසෙහි බඳ වට යවා බැඳෙන කොහු ලණු බැමි වඩා ශක්තිමත් වේ. ගැට මත පා දවටමින් කිතුලට නැගීමද පහසු වේ.

කිතුල අසබඩ නැගීමට පහසු අන් ගසක් වෙත්නම් උණ දඩු සොයා ගෙනැවිත් හැර බැඳීමට වුවමනා නැත. මේ හැර බැඳිල්ල ඉතා සැළකිල්ලෙන් කළ යුතු වන්නේ ශක්තිමත් නොවන බැමි අඩි හැට හැත්තෑවකින් පහළට ඇද හෙළන මිනිසෙකුගේ මරණයට හේතු වන බැවිනි. තෙලිදිය හෝ ඇල් රා මුට්ටි සොරුන්ගෙන් බේරා ගන්නට අපහසු වන අවස්ථාවල හැර බැමි බුරුල් කර තැබූ අවස්ථා ගැනද ගම්බදව අසන්නට ලැබේ.

ගැමියා හැර බැඳ කිතුලට ගොඩවන්නේ ජනප්‍රවාදයේ එන හාස්‍ය කතාවක පරිදි තණකොළ කපන්නට නොවේ. කිතුලේ මල කපන්නට හෙවත් මල මදින්නටය. මේ මල් මැදිල්ලෙන් උපදින ප්‍රණීත දියරයට තෙලිජ්ජ යැයි වහරනු ලැබේ. ඇල් තෙලිජ්ජ කියා ගැමියාගේ වහරෙහි ඇගයෙන මේ දියරය පැසවා කිතුල් රා හෙවත් මදිරාවද උණු කර පැණිද නිපදවනු ලැබේ. පැණි වඩා උණු කර ඝන වීමට සැළැස්වීමේ  කෙළවර උපදින්නේ හකුරුය.

පැණි හකුරෙන් ජීවත්වන මිනිස්සු..

ලංකාවේ ඉතා ශුෂ්ක කලාපවල හැර ඕනෑම දෙසක කිතුල් ගස (Caryota urens) ඉබේ වැවේ.  තල්ගසට ඇති සුවිශේෂී බැඳීම නිසාදෝ උතුරේ කිතුල් ගස් හා ඒ ආශ්‍රිත ජන සංස්කෘතික කර්මාන්තයක් නැත. විශේෂයෙන් සමනල අඩවිය, සිංහරාජය, කන්නෙලිය, ලංකාගම ආදී ප්‍රදේශ ආශ්‍රිතව කිතුල් කර්මාන්තය ප්‍රකටය. තෙත් කලාපයේ මේ ගම් අතර දෙනියාය, ලංකාගම, කලවාන, වැනි සිංහරාජය ආශ්‍රිත ගම් සේම තෙත් කලාපයේම කොත්මලේද, දුම්බරද, අතරමැදි කලාපයේ මස්පන්න බඹරපාන, වියළි කලාපයේ මරගල බඩල්කුඹුර සියඹලාගුණය වැනි ගම්මානද කිතුලෙන් පැණි හකුරු තැනීමට ප්‍රකටය.  බලංගොඩ හරහා ගලන වළවේ ගඟ දෙබඩ එගොඩ වලේබොඩ හා මෙගොඩ වලේබොඩද කිතුල් රා මෙන්ම පැණි හකුරු සඳහා ප්‍රසිද්ධය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද එගොඩ වලේබොඩ කිතුල්කරුවන් හමුවන්නට ගොස් සිනා සාගරයක ගිලෙන්නට අවස්ථාවක් රටවැසියාට ලබා දුන්නේය. කිතුල් ගසක් මනාව මැද පදම් කරගත්තොත් පවුලක මාසික ආදායමට එයම ප්‍රමාණවත්ය. ලැබිය හැකි ආදායම රජයේ මාස් පඩිකාරයෙකුගේ පඩිපත ඉක්මවයි.

යුනෙස්කෝ ලෝක උරුමයක් වූ කිතුල් මැදිල්ල.

කිතුල් මැදිල්ලේදී මල සකස් කර ගැනීම සඳහා සිදුවන බේත් තැබිල්ල නමැති කාරියකි. ඒ සඳහා අද කැස්පර් භාවිතය යැයි වහරන පහසු ක්‍රම පැවතියද ගැමියා කැමති පාරම්පරික රහස් වට්ටෝරු භාවිතා කරමින් මල් මදින්නටය. මලට බේත් තබා පදම් වූ පසුව මල පල්ලේ එල්ලන ලද මුට්ටියට තෙලිදිය කඳුළු වැටෙන්නට දිනපතා උදය සවස මලෙන් සියුම් පෙත්තක් කැපිය යුතුය. ඒ මල් කැපිල්ලට ගන්නේ ඉතා තියුණු මල් පිහියයි. මල් පිහි තැනීම පවා කම්මල්වලට පැවරෙන ඉසියුම් හා වෙනමම රාජකාරියකි. ඒ අනුව කිතුල් මල් කැපිල්ල ලාංකීය ජනසංස්කෘතියේ අඩංගු වෙනමම ජන කර්මාන්තයකි. යුනෙස්කෝව එය ලෝක උරුමයක් ලෙස පිළිගන්නට ඇත්තේද එනිසාය.

“මනුෂ්‍යත්වයේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ නියෝජිත ලැයිස්තුවට” ශ්‍රී ලංකාවේ කිතුල් මල් මැදීමේ කර්මාන්තය ඇතුළත් කිරීමට යුනෙස්කෝව පියවර ගත්තේ 2025 දෙසැම්බර් 11 වැනිදාය. එවැන්නක් හඳුනා ගත යුත්තේ භෞතික ලෝක උරුම ස්ථානයක් ලෙස නොවේ. මනුෂ්‍යයා පරම්පරාවෙන් පරම්පරාවට රැ⁣ගෙන ආ ජීවමාන තාක්ෂණයක් හා දැනුම් පද්ධතියක් ලෙසය.

මෙරට කිතුල් කර්මාන්තය එලෙස ගෝලීය  බුහුමනට ලක්කිරී⁣මේදී යුනෙස්කෝව සළකා බලන ලද කරුණු කිහිපයකි.

ඉන් ප්‍රමුඛ වන්නේ කිතුල් කර්මාන්තයට අදාළ දේශීය පරම්පරාගත අවිච්ඡින්න තාක්ෂණයයි. හැර බැඳීමේ සිට මල වෙලා පුහුණු කිරීම මල් පිහිය භාවිතය ආදී සියල්ල මේ කර්මාන්තයටම අනන්‍ය තාක්ෂණයයි.

එමෙන්ම කිතුල් මල් මැදීම අඛණ්ඩ ජීවනෝපාය උරුමයකි. එය සිදු කරන්නේ ආහාර නිපදවීම පමණක් නොවේ. සජීවි උරුමයක් ලෙස පරපුරෙන් පරපුරට දැනුම ගලා යාමට සැළැස්වීමක් ඒ තුළ දැකීමට පුලුවන. සැබැවින්ම එය ජීවන මෝස්තරයකි. මානව විද්‍යාව තුළ අවධානයට ලක් විය යුත්තකි.

සංස්කෘතිකමය වශයෙන්ද ලාංකික ජනසමාජය හා කිතුල් ගස අතර බැඳීමක් ඇත. කිතුල් හකුරු පැණි ආදිය අපේ ජන ආගම ඇදහිලි හා වත්පිළිවෙත් සමග සම්බන්ධය. බලංගොඩ අලුත්නුවර දේවාලයේ රාජකාරි ගොදුරු ගම් අතර පැණි පංගුව සහ සුදු හකුරු පංගුව යැයි වහරන ගම් දෙකකි. ඔවුන් වසර සිය ගණනක් තිස්සේ දේවරාජකාරියට කැපව සිටිති. ඒ රාජකාරිය දෙවොලට හා ප්‍රභූන්ට කිතුල් පැණිත් සුදු හකුරුත් සැපයීමයි.

කිතුල් හකුරු පැණි ආදිය ලංකාවේ ජනයාට ලැබිය හැකි රසායනයෙන් තොර උසස්ම කාබනික ආහාරයකි. කිතුල් රා මදිරාවද කෘත්‍රිම නොවේ. එයද කිතුල් බුහුමනට ලක්වීමට හේතුවකි.

|
|

කිතුල් කර්මාන්තයේ අනාගත අබග්ග උරුමය.

යුනෙස්කෝවේ පිළිගැනීමට ලක්වුවද, දිවයිනට පා තබන සංචාරකයින්ගේ අවධානය දිනා ගත්තද, විදෙස් විනිමය දිනා දුන්නද කිතුල් කර්මාන්තයේ අනාගතය කනගාටුදායක විය හැකිය. තරුණ පෙළ ගස් බඩගාන කිතුල් රස්සාවට මනාප නැත. එය අභිමානයට හේතුවන රැකියාවක් නොවේ. හකුරුකාර රස්සාව කුලය මත පදනම් වෙමින් දීර්ඝකාලීන සමාජ අවනම්බුවේ හංවඩුව ගැමියාගේ නළලේ කොටා ඇත. මේ සියල්ලට විසඳුම් සෙවිය යුතුය. ප්‍රමුඛ වන්නේ තාක්ෂණය හඳුන්වා දීම, වැඩ පහසු කිරීම හා ආකල්ප වෙනස් කිරීමයි. නව වෙළඳපොල අවස්ථා හඳුන්වා දීමද, අපනයන පහසුකම් සමීප කිරීම හා සරල කිරීමද කළ හැකි සෙසු රාජ්‍ය මැදිහත්වීම් අතර තිබේ. මල් වරා මියෙන කිතුල් ගස් කඳෙන් පිටි ලබා ගන්නටද, ටයිල් හා වෙනත් දැව නිපැයුම් සඳහා අවස්ථාව සළසා දෙන්නටද කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව වැනි ආයතන පියවර ගත යුතුය.

එමෙන්ම වඩා වැදගත් හා අත්‍යවශ්‍ය  තවත් කටයුත්තක් තිබේ. ඒ කිතුල් නැවත වගා කිරීමයි. එය අනිවාර්යයෙන් රාජ්‍ය මැදිහත් වීම ඇතිව සිදු විය යුත්තකි. පියතිස්ස රණසිංහ මහතා සබරගමුවේ ප්‍රධාන ලේකම් ධූරය දරන සමයේ විශාල තෙත් කලාපික ඉඩමක් කිතුල් නැවත වගාවට යෙදවීම සඳහා උනන්දු විය. එහෙත් දේශපාලන අතපෙවීම්වලින් එහි කටයුතු සිදු නොවිණි. දැන් එතැන ඇත්තේ වන්දනා ගමනාන්තයක් වූ අනුකාරක ආගමික තිප්පලකි.

| ලසන්ත ද සිල්වා.

(ඡායාරූප අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුවන්ට ප්‍රණාමය)

(newscentre)

Leave A Comment