ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය කැෆේ සංවිධානය හෙලා දකී

2017 සිට මේ දක්වා ජනාධිපතිවරු තිදෙනෙක් යටතේ යහපාලන රජයේ මෛත්‍රීපාල සිරිසේන, ඊට පසුව 2019 ගෝඨාභය රාජපක්ෂ සහ ඉන් අනතුරුව අන්තර් වාර රජයේ සිටි රනිල් වික්‍රමසිංහ යන තිදෙනාටම එම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන එය නිසි කාලයට පවත්වන්න බැරිවුණ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් පවසයි. 

එසේම පවතින රජයද බලයට පත්වීමට ජනතාවට දුන්න ඡන්ද පොරොන්දුවක් වන්නේ මේ  පළාත් සභා මැතිවරණය යළි පැවැත්වීම. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එය සඳහන් වෙනවා රජය පත් වෙලා අවුරුද්දක් ඇතුළත මැතිවරණය පවත්වනවා කියලා. එතකොට බිලියන 10ක් වෙන් කරලා තියෙනවා කියලත් අයවැය විවාදයේදී ජනාධිපතිතුමා කිව්වා. නමුත් දැන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දැන් කියනවා “මේ අවුරුද්දේ මැතිවරණය තියන්න බෑ. ඒකට සල්ලි ටික පසුගිය දිත්වා ව්‍යසනයට පාවිච්චි කළා” කියලා. නමුත් ජනතාවාදී ආණ්ඩුවක් යැයි පවසමින් ජනතාව ඉදිරියේ දෙන ලද පොරොන්දුවක් මෙතරම් ලේසියෙන් වෙනස් කිරීම එතරම් සුදුසු දෙයක් නොවන බව විධායක අධ්‍යක්‍ෂවරයා පෙන්වා දෙයි.

“2023 දී පළාත් පාලන මැතිවරණය ඒවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල් දැම්මේ සල්ලි නොමැති බව පවසමින්. සල්ලි තියෙනවා නම් ඡන්දය තියෙන්න පුළුවන් කියලාත් ඔහු පැවසුවා. නමුත් එවකට විපක්‍ෂයේ සිටි වර්තමාන රජය ඊට දැඩි  විරෝධයක් පල කළා එය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී බව පවසමින්. කොහොමවුනත් දැන් ආණ්ඩුවත් කරන්නේ ඒ දෙයම තමයි. සල්ලි වෙන් කරනවා කියලා පාර්ලිමේන්තුවේ කියලා ඒ සල්ලි වෙන දෙයකට වියදම් වුණා කියන එක ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් බව අප ජනාධිපතිවරයා ඇතුළු වත්මන් අරජයට අවධාරණය කරන්න කැමතියි.

“පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියලත් මතයක් දැන් බොහෝ දෙනෙක් කතාවෙන දෙයක්. ඒ නිසා මේ රජය පළාත් සභා මැතිවරණය තියන්නේ නැතුව ඒ සඳහා වෙනත් ක්‍රමයක් යෝජනා කරනවා නම් ඒ කියන්නේ පළාත් සභා අහෝසි කරලා ඒකට විකල්ප විසඳුමක් (alternative solution) තියෙනවා නම් එයද මහජනතාවට වහාම කියන්න අවශ්‍යයි.”

“මැතිවරණ ක්‍රමය තුළ පළාත් සභා මැතිවරණය තියෙන නිසා ඒක හැකි ඉක්මනින් පවත්විය යුතුයි. එසේ නොමැතිව දවසක් හෝ එය කල් දමයි නම් එම රජය අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන රජයක් ලෙස තමයි ලෝකයේම පිළිගැනීම. මේ පිළිබඳව විවෘත සාකච්ඡාවක් පැවැත්විය යුතුයි. කතිකාව ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මූලධර්මයයි” යනුවෙන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් වැඩිදුරටත් පවසා සිටී.

Leave A Comment