දිට්වාවෙන් හානි වූ වතු අශ්‍රිත පවුල් වෙනුවෙන් නව නිවාස
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හෝ අර්ධ වශයෙන් නිවාස හානි වූ සහ නාය යාමේ අධිඅවදානම් ස්ථානවල පදිංචි වතු ආශ්රිත පවුල් වෙනුවෙන් නිවාස ඉදි කර දීමේ වැඩසටහනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ උපදෙස් අනුව නිවාස හානි වූ පවුල් සඳහා නිවාස ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසා ඇති නමුත්, එම චක්‍රලේඛ උපදෙස් අනුව වතු ශ්‍රමිකයින්ගේ නිවාසයන්ට සිදු වී ඇති හානි සඳහා සහන සැලසීම පිළිබඳව විශේෂිත විධිවිධාන එම චක්‍රලේඛ මඟින් සැලසී නොමැත.
එබැවින්, වතු සමාගම් යටතේ පාලනය වන වත්තක සේවයේ නියුතු ශ්‍රමිකයින්ගේ නිවාස දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ගං වතුර, නාය යාම් හා වෙනත් ස්වභාවික ආපදාවන් හේතුවෙන් පූර්ණ හානියට පත් වීම/නායයෑමේ අධිඅවදානමට ලක් වීම/අර්ධ ලෙස හානි වී ජීව කාලය අවසන් බව තහවුරු වීම යන අවස්ථාවන්හිදී, ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති මාර්ගෝපදේශ සහ නිවාස සැලසුම් අනුව වර්ගඅඩි 650ක නිවසක් ඉදිකිරීම සඳහා අදියරගතව රුපියල් මිලියන 05ක මුදලක් රජය විසින් ලබා දී එවැනි ශ්‍රමිකයින් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අදාළ ශ්‍රමිකයෙකු සඳහා ඔහු පදිංචි වත්තේ සුරක්ෂිත ස්ථානයකින් පර්චස් 10ක ඉඩම් කොටසක් අදාළ වතු සමාගම විසින් ලබා දීමටත්, වතු ශ්‍රමිකයාගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බවට වතු සමාගම විසින් තීරණය කරනු ලැබ ඇති අවස්ථාවක ශ්‍රමිකයා සතු ඉඩමක හෝ ලබා දෙන රුපියල් මිලියන 05ක මුදලින් ඉඩමක් මිල දී ගෙන හෝ අදාළ නිවස ඉදිකිරීමටත් යෝජිත වැඩසටහන මඟින් පහසුකම් සලසා දෙනු ලබයි.
ඒ අනුව, එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

