‘නැහැ, ඉතාම ක්ෂණිකව මේක සිදු වෙන්නේ නැහැ. ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා’ – ධනනාත් ප්‍රනාන්දු – විධායක අධ්‍යක්ෂ, Advocata Institute

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනිකව ද දැඩි සංවාදයක් නිර්මාණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම හරහා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත නො හැකි බවයි. එසේම ඉහළ යන තෙල් මිල, ආනයන ඉහළ යාම සහ මැදපෙරදිග ගැටුමට සම්බන්ධ අවිනිශ්චිතතාවය හේතුවෙන් රුපියල පීඩනයට ලක්වන බැවින්, විනිමය අනුපාතය ස්ථාවර කිරීම සඳහා අතිරේක උත්තේජනයක් සැපයීම සඳහා බහුපාර්ශ්වික ආයතනවලින් ඩොලර් බිලියනයකට ආසන්න ගලා ඒමක් ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පැවසුවේය.

“අවශ්‍ය විටෙක අපි මැදිහත් වී වේදනාකාරී ගැළපීම් වළක්වා ගැනීම සඳහා අපි ඉදිරි සැලසුම් කරමින් සිටිනවා. එබැවින් අපට ස්ථාවර සංචිත සහ විදේශ විනිමය වෙළඳපොළේ ඉහළ අස්ථාවරත්වය පාලනය කිරීමට ක්‍රම තිබෙනවා” ඔහු පැවසුවේය.

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල 4.8%කින් අවප්‍රමාණය වී ඇති අතර, අනෙකුත් රටවල් තියුණු අවප්‍රමාණයක් අත්විඳිමින් සිටින බවත්, ඉන්දියාව 6%කට වඩා අත්විඳිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

මෙම පසුබිම තුළ රුපියල අවප්‍රමාණය සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ සමාජ – ආර්ථික පර්යේෂණ ආයතනයක් Advocata Institute හි විධායක අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු මහතාගේ ද අදහස් විමසීමක් 

රුපියල අවප්‍රමාණය වෙමින් යනවා. පසුගිය දා මහ බැංකුවේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මේ ගැන බලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. ඇත්තටම රුපියලට මේ මොකක්ද වෙන්නේ ?

සමහරු මේ ගැන පැති කිහිපයකින් හිතනවා. සමහරු කියනවා මැදපෙරදිග අර්බුදයක් තිබෙනවා, ඒ නිසා ඉන්ධන මිල වැඩි වෙලා කියලා. ඒ නිසා ඉන්ධන ආනයනය කිරීමට වෙනදාට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් යන නිසා රුපියල අවප්‍රමාණය වෙනවා කියලා ඔවුන් තර්ක කරනවා. තවත් සමහරු මේක වෙනත් රටවල් සමඟ පටලවා ගන්න හදනවා. ඉන්දියාව තමයි වැඩියෙන්ම උපුටා දක්වන්නේ. අගමැති මෝදි පසුගිය දා රත්‍රං මිලදී ගැනීම සීමා කරන මෙන් ඉන්දීය ජනතාවගෙන් කළ ඉල්ලීම ඔවුන් විශේෂයෙන් උපුටා දක්වනවා. ඒ වගේම ඉන්දියාවේ කොටස් වෙළෙඳපොළ අර්බුදයක් ගැනත් කියනවා. මේ සියලු තර්ක – විතර්ක හරහා අපි මුහුණ දෙන ප්‍රශ්නයත් ගෝලීය අර්බුදයක් කියලා ඔවුන් හිතනවා.

ඔබ මේ ගැන හිතන්නේ කුමක් ද ?

අපි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවණතා සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පර්යේෂණ කරන ආයතනයක්. ඒ නිසා අපි පසුගිය කාලය පුරාම රුපියල අධි ප්‍රමාණය වීම සහ අව ප්‍රමාණය වීම ගැන පැහැදිලි අනාවැකි පළ කළා. අපේ අදහසේ හැටියට මෙහි දී මූලික කොටස් තුනක් ගැන අවධානය යොමු කළ යුතුයි. අංක එක, රුපියල සහ ඩොලරය අතර හුවමාරු අනුපාතය නැතහොත් ‘විනිමය අනුපාතය’, අංක දෙක, පොලී අනුපාතය, අංක තුන, ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය. දැන් සිදුවෙමින් තිබෙන්නේ පසුගිය අවුරුදු කිහිපයේ ම, විශේෂයෙන් පසුගිය මාස කිහිපය ගත්තත් ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ සංචිත ගොඩනගනවා.

සංචිත ගොඩනගනවා කියලා කියන්නේ කුමක් ද ?

සංචිත ගොඩනගනවා කියලා කියන්නේ, විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවේ බැංකුවලට තමන්ගේ මුදල් (Remittances) එවනවා, ඒ වගේම සංචාරකයෝ මේ රටට ඩොලර් ගේනවා, ඒ වගේම අපනයනකරුවොත් ඩොලර් ගේනවා. මේ ඩොලර් අපේ වාණිජ බැංකුවලට තමයි එවන්නේ. මේ ආකාරයට අපේ වාණිජ බැංකුවල ඩොලර් එකතු වෙනවා. මහ බැංකුවේ භූමිකාව, එසේ නොමැති නම් සංචිත ගොඩනැගීම ආරම්භ වෙන්නේ මෙතැනින්. මහ බැංකුව මේ ඩොලර් ශ්‍රී ලංකා රුපියල් දීලා මිල දී ගන්නවා. නමුත් වාණිජ බැංකුවලට වාගේ මහ බැංකුවට මුදල් නැහැ. අපි දන්නවා වාණිජ බැංකුවලට මුදල් ලැබෙන්නේ තැන්පතුකරුවෝ පොළියක් අපේක්ෂාවෙන් තමන් සතු මුදල් බංකුවල තැන්පත් කරන නිසා. ඒ මුදල් තමයි වාණිජ බැංකු ණයට දෙනවා වාගේ වැඩවලට දෙන්නේ. නමුත් මහ බැංකුව වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගන්න මුදල් සොයා ගන්නේ කොහොම ද ?. මහ බැංකුව මුදල් සොයා ගන්නේ මුදල් මුද්‍රණය කිරීමෙන්. මහ බැංකුව අලුතින් මුදල් මුද්‍රණය කරලා, ඒ මුදල් වාණිජ බැංකුවලට දීලා ඩොලර් මිලදී ගන්නවා. ඒ හරහා විදේශ සංචිත ගොඩනගනවා. මේ හරහා පද්ධතියෙන් ඩොලර් ඉවතට යාමක් සිදුවෙනවා.

මේ මුදල් වලින් වාණිජ බැංකු මොකද කරන්නේ ?

බැංකුවලට වැඩිපුර රුපියල් තිබුණොත් දෙයාකාරකින් කටයුතු කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි වාණිජ බැංකුවලට පුළුවන් තමන් සතු අතිරිත්ත රුපියල් යළිත් මහ බැංකුවේ තැන්පත් කරන්න. මේක ටිකක් තේරුම් ගන්න අමාරු ක්‍රමයක් විය හැකියි. නමුත් මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාත නියම කරන්නේ මේ මුදල් තැන්පත් ලබා ගන්නයි. වාණිජ බැංකු මේ ආකාරයෙන් මහ බැංකුවේ තැන්පත් කරන මුදල්වලට මහ බැංකුව පොලියක් ගෙවනවා. මේකට Overnight Policy Rate කියලා කියනවා. මේක දෛනිකව ගෙවන පොළියක්. ඒ වගේම වාණිජ බැංකු තමන් සතු තැන්පතු මුදල් විවිධාකරයෙන්, විවිධාකාර අරමුණුවලට ‘බැංකු ණය’ වශයෙන් පාරිභෝගිකයින්ට ලබා දෙනවා. ‍මේ හරහා මහ බැංකුවේ තැන්පත් කරනවාට වඩා වැඩි පොළියක් ලබා ගන්න පුළුවන්. මේ අවස්ථාවේ දී වාණිජ බැංකු වැඩි වැඩියෙන් ණය ලබා දෙනවා. මෙසේ ණය වශයෙන් ලබා ගන්න මුදල් වාහන මිලදී ගැනීම, නිවාස ඉදිකිරීමට ආදි වශයෙන් විවිධ ආකාරයෙන් ජනතාව වියදම් කරනවා.

ජනතාව කරන වියදම් මේ ආකාරයෙන් රුපියල අවප්‍රමාණය වීමට හේතු වෙන්නේ කොහොම ද ?

ක්‍රම කිහිපයකින් එය සිදුවෙනවා. මෝටර් රථවල සිට ජංගම දුරකථන, පරිගණක දක්වාත්, ඉදිකිරීම් ද්‍රව්‍ය, ආනයනික පාරිභෝජන භාණ්ඩ දක්වා බොහෝ දේවල් ආනයනය කිරීමට සිදුවෙනවා. මේ ආකාරයෙන් ආනයනික භාණ්ඩ ඉල්ලුම වැඩි වන විට ඒවා ආනයනය කිරීමට වැඩි පුර ඩොලර් අවශ්‍ය වෙනවා, ඒ කියන්නේ ඩොලර්වලට තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. ජනතාව අතරින් ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාරීව අදාළ භාණ්ඩ ආනයනය කිරීමට වැඩි පුර ඩොලර් ඉල්ලුමක් ඇති වුණත් ඒ ඉල්ලුමට ලබා දීමට ප්‍රමාණවත් තරම් ඩොලර් නැතිනම් කුමක් ද වෙන්නේ ?, අනිවාර්යයෙන්ම ඩොලර් එකේ මිල, එසේ නොමැති නම් විනිමය අනුපාතය ඉහළ යනවා. මේ ආකාරයෙන් ඩොලරයට ඇති වන ඉහළ ඉල්ලුමට ප්‍රමාණවත් ඩොලර් සැපයුමක් රට තුළ නොමැති තත්ත්වයක් තුළ තමයි රුපියල අවප්‍රමාණය වෙන්නේ, නැතිනම් රුපියල බාල්දු වෙන්නේ, ඩොලර් එකක් මිල දී ගැනීමට වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙන්නේ.

ඔබ කියන්නේ මහ බැංකුව විදේශ සංචිත ගොඩනැගීම සහ ආනයනවලට ඇති වන ඉල්ලුම ඉහළ යාම සමඟ කෙටි කාලීනව රුපියල බාල්දු වීමක් සිදු වෙනවා කියල ද ?

නැහැ, ඉතාම ක්ෂණිකව මේක සිදු වෙන්නේ නැහැ. ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඇතැම් විට අවුරුද්දක් හෝ මාස 18ක පමණ කාලයක් ගත වෙනවා. මහ බැංකුව පසුගිය කාලයේ විදේශ සංචිත ගොඩනැගීමේ ප්‍රතිඵල දැන් තමයි ආර්ථිකයට දැනෙන්නේ, ඒ වගේම බැංකු පද්ධතිය හරහා ජනතාව අතට ගලා ගිය මුදල් නිසා හේතුවෙන් ආනයන වියදම ලෙස නිර්මාණය වුණ ඩොලර් ඉල්ලුම දැන් තමයි බලපෑම් කරන්නේ. අද රුපියල අවප්‍රමාණය වෙන්නේ මහ බැංකුව මාස ගණනාවක සිට ගොඩනැගුව සංචිත හරහා පද්ධතියේ තිබෙන වැඩි පුර මුදල් (Liquidity) තමයි ආනයන ඉල්ලුම බවට පත්වෙන්නේ. එවිට තමයි රුපියල අවප්‍රමාණය වෙන්නේ.

මේ තත්ත්වයෙන් ගොඩඒමට, නැතිනම් මුහුණ දීමට කුමක් කළ යුතුයි කියල ද ඔබ කියන්නේ ?

ජනප්‍රියම පියවර වන්නේ ආනයන තහනම් කිරීම හෝ පාලනය කිරීමයි. නමුත් පද්ධතිය තුළ රුපියල් තිබෙන තාක් කල් වෙනත් ආකාරයක ආනයන ලෙස ඉල්ලුමක් ඇති වෙලා මේ ඩොලර් ප්‍රමාණය පිටට යනවා. මගේ අදහස අනුව මෙහි දී කළ හැකි දේවල් දෙකක් තිබෙනවා. එකක් තමයි මහ බැංකුව පද්ධතියට දාපු ඩොලර් ටික නැවත පද්ධතියට අවශෝෂණය කර ගන්න පුළුවන්. මහ බැංකුවට ඒක කරන්න ක්‍රම කිහිපයක් තිබෙනවා. එක ක්‍රමයක් තමයි, ශ්‍රී ලංකා මහ බැංකුව සතුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේවා නැවත බැංකුවලට විකුණන්න පුළුවන්. එවිට වාණිජ බැංකුවලට තමන් සතුව තිබෙනවා මුදල් වලින් මේවා මිල දී ගන්න වෙනවා. ඒ හරහා පද්ධතියේ තිබෙන මුදල් යළි ඇතුළට එනවා. එසේ නොමැති නම් පොළි අනුපාත ඉහළ දැමීමට මහ බැංකුවට පුළුවන්. ඒ හරහා ණය ගැනීම් අඩු කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ හරහා පාරිභෝජනය අඩු වීම ආනයනය අඩු වීම සිදු වෙනවා. ඒ හරහා ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩු වෙන අතර රුපියල අවප්‍රමාණය වීම පාලනය වෙනවා. නමුත් පොළී අනුපාත ඉහළ දැමීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු බොහෝ පාර්ශ්ව වලට සැලකිය යුතු බලපෑමක් කරන බව අපි අමතක නොකළ යුතුයි.

ඔබ කියන්නේ මැදපෙරදිග යුද්ධය රුපියල අවප්‍රමාණය වීමට බලපෑමක් කළේ නැහැ කියල ද ?

රුපියල අවප්‍රමාණය වීමත් එක්ක මැදපෙරදිග යුද්ධයත් කට්ටිය පටලවා ගන්නවා. ඔව්, මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගිහින් තිබෙනවා. නමුත් මේක පටලවා ගන්න එපා. අපි මීට කලින් කිව්වා පෙට්‍රල් ලීටරයක් රුපියල් 600කට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා. නමුත් ජනාධිපතිතුමා පසුගිය දා කිව්වා ( ඛනිජ තෙල් සංස්ථාව කියන ලෙස) ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් වෙනවා කියලා. ඒ එක්ක ඩීසල් වලට රුපියල් 100ක සහ පෙට්‍රල් වලට රුපියල් 20ක සහනාධාරයක් දෙනවා කියලා ජනාධිපතිතුමා කිව්වා. සහනාධාරයක් ලබා දුන්න ගමන් කුමක් ද වෙන්නේ ?, ඉන්ධනවල ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. මිනිස්සු ඉන්ධන පාරිභෝජනය ඉහළ මට්ටමක පවත්වා ගෙන යනවා. අන්න ඒ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ ‘මාසෙන් මාසේ ඉන්ධන ආනයන වියදම ඉහළ යනවා, ඩොලර් මිලියන 300ක තිබුණ ආනයන වියදම මේ වන විට ඩොලර් මිලියන 500 දක්වා ඉහළ ගිහින් කියලා. මේ තත්ත්වය අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි, පද්ධතිය තුළ (රට තුළ) අවශ්‍ය තරම් රුපියල් තිබෙනවා. ඒ රුපියල් හරහා ඉල්ලුම වර්ධනය වෙනවා. මේ ඉල්ලුම ඉන්ධනවලටත් අදාළ වෙනවා. ඉන්ධන ඉල්ලුම ඉහළ යන විට ඒවා ආනයනය කරන ප්‍රමාණය ඉහළ දැමීමට සිදුවෙනවා. ඒ කියන්නේ යළි යළිත් ඉන්ධන ආනයන විදයම ඉහළ යාම තුළින් ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. මේ ඉල්ලුමට ප්‍රමාණවත් ඩොලර් සැපයුමක් නැති විට ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වෙනවා.

ඔබ කියන්නේ තව දුරටත් මේ තත්ත්වය පවතින්න පුළුවන් කියල ද ?

ඔව්, ඉදිරියටත් මේ තත්ත්වය තිබුණොත් ඩොලර් වලට ඇති ඉල්ලුම වර්ධනය වෙලා රුපියල අවප්‍රමාණය වීමට නියමිතයි. රුපියල අවප්‍රමාණය වීම නැවත ඉන්ධන මිලට බලපානවා, ඉන්ධන මිල යළිත් ඉහළ දැමීමට සිදුවෙනවා. මේක අවසානයේ අවසන් වෙන්නේ පොළී අනුපාතත් වැඩි කරලා, රුපියලත් අවප්‍රමාණය කර ගෙන, විදේශ සංචිත ටිකත් දියකර ගෙනයි. අන්න ඒ නිසා තමයි මහ බැංකුව පසුගිය මාසේ ඩොලර් විකුණලා තිබුණේ. ඒ හරහා රුපියල අවප්‍රමාණය වීම පාලනය කර ගැනීමට මහ බැංකුව බලාපොරොත්තු වුණා.

ඔබ හිතන්නේ මේ ආකාරයෙන් මහ බැංකුව සතු ඩොලර් විකුණා දැමීම හරහා රුපියල අවප්‍රමාණය වීම පාලනය කර ගන්න පුළුවන් කියල ද ?

රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා මහ බැංකුව සතු ඩොලර් අලෙවි කිරීම කාලයක් පුරා සිදු වන විට මහ බැංකුව සතු සංචිත ක්‍රමිකව අඩු වෙනවා. තව දුරටත් ඩොලර් එළියට දාලා රුපියල පාලනය කර ගන්න නොහැකි අවස්ථාවක් උදා වෙනවා. එවැනි තත්ත්වයක දී අවසන් විසඳුම බවට ‘රුපියල පාවෙන්න’ ඉඩ හැරීමට සිදු වන අවස්ථාවක් උදා වෙනවා.

ඔබ කියන ආකාරයට යම්කිසි අවස්ථාවක රුපියල පාවීමට ඉඩ හැරියොත් ඒ හරහා ආර්ථිකයට සිදු වන බලපෑම කුමක් ද ?

යම්කිසි අවස්ථාවක සරුංගලයක් වාගේ රුපියල පාවෙන්න ඉඩ හරිනවා කියන්නේ රුපියල අවප්‍රමාණය වීම තව දුරටත් පාලනයෙන් තොරව සිදුවීමයි. මේ තත්ත්වය තුළ ඉන්ධන ද ඇතුළුව ආනයනික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් උද්ධමනය ඇති වෙනවා. ඉහළ උද්ධමනයක් ඉතාම පැහැදිලිව ජනතාව මත, විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල් මත දැඩි බලපෑමක් ඇති කරනවා. එවැනි අවස්ථාවක කළ යුතු දේ තමයි යළි පොළී අනුපාත ඉහළ දැමීමට සිදුවීම. මේ සින්දුවම තමයි 2020,21 සහ 22 කාලයේ දී මහ බැංකුව ගයනා කළේ, රට තුළ සිදු වුණේ. මේ ආර්ථික අර්බුදය පසුපස කොවිඩ් -19 වසංගතය ආවා, වසංගතයෙන් පීඩාවට පත් වුණ පවුල්වලට රුපියල් 5000 බැගින් බෙදන්න සිද්ධ වුණා. ඉන්ධන සහ විදුලි මිල ඉහළ නොදමා සිටින්න හැකි සෑම දෙයක්ම කළා. ඒකට ප්‍රතිචාරීව මුදල් මුද්‍රණය කළා, කෘත්‍රිමව පොළී අනුපාත පහළ මට්ටමක පවත්වා ගෙන ගියා. මේ සෙල්ලමම කාලයක් කළා. අවසානයේ ණය ගෙවා ගන්නත් සල්ලි නැති වුණා.

මේ අර්බුදය හමුවේ ඔබේ යෝජනාව කුමක් ද ?

මෙවැනි තත්ත්වයක් තුළ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. මේ අර්බුදය ක්ෂණිකව ඇති වුණ දෙයක් නෙමෙයි. ප්‍රකට ඉංග්‍රීසි කියමනක් තිබෙනවා, රටවල් බංකලොත් වෙන ගමන යන්නේ සෙමින්, නමුත් ඉතාම කුඩා බාහිර කම්පනයකින් පවා මේ පද්ධතිය ඉදිරියට ගමන් නොකරන තත්ත්වයක් උදා වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ රුපියල අවප්‍රමාණය වීම කිසිසේත් සුළු කොට නොතැකිය යුතුයි. ඒ ගැන වඩාත් වැඩි අවධානයකින්, සීරියස් ලෙස කල්පනා කළ යුතුයි. ජනාධිපතිවරයා, ආණ්ඩුව නිසි අවස්ථාවේ නිවැරදි ප්‍රතිපත්ති තීරණ නොගත්තතොත් අපි අමාරුවේ වැටෙනවා.

සටහන – භාතිය බරුකන්ද

(රතුඉර පුවත්පතේ 2026 මැයි 24 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.)

Leave A Comment