වෙස් මුහුණු ද සැබෑ මුහුණුද: ශිෂ්ටාචාරමය අර්බූදය තුළ පංසල සහ සරසවිය!

දැනට අධිකරණයෙන් ඇප ලබා සිටින අටමස්ථානාධිපති වැනි ආගමික චරිත හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුට එල්ලවන ලිංගික අල්ලස්, බලය භාවිතය, හෝ ශිෂ්‍ය ස්ත්‍රී ශරීරය ග්‍රහණයට ගැනීම පිළිබඳ චෝදනා හෝ වෙනත් පිරිමි බලය සමග ගැටගසුණු ආයතනික බලය හරහා අපචාර කිරීම ආදී මේවා එකිනෙකට වෙනස් සිදුවීම් ලෙස පෙනුණත් ඒවා එකම ගැඹුරු අර්බුදයක විවිධ වෙනස් පැතිමාන බව පෙනේ.

ආයතන හෝ අධ්‍යාත්මික බලය වෙස් මුහුණක් ලෙස යොදා ගෙන බලය අවභාවිතා කිරීමක් ලෙසද එය හැඳින්විය හැක. එසේම, දාර්ශනික අර්ථයකින් එම තත්වයන් අපට සිහි කර දෙන්නේ කුමක්ද? එය සමාජීය තත්වයන්, අධ්‍යාත්මික විශ්වාස, ශාස්ත්‍රීය ප්‍රබුද්ධත්වය ආදිය පිළිබඳ අස්ථිත්වමානීය (existential) ගැටුලු රැසක් අපට ඉදිරිපත් කරයි.

එනම්, ‘ආයතන’, ‘සදාචාරය’, ‘මනුෂ්‍යත්වය’, ‘ශිෂ්ටත්වය’, ‘ආධ්‍යාත්මිකත්වය’, ‘ශාස්ත්‍රීය උසස්භාවය’ යන සියලුම වචන තවදුරටත් ජීවමාන අර්ථයන් සහිත ඒවා නොව, බොහෝවිට බලය සඟවන වෙස් මුහුණු  බවට පත්වී ඇති බව එවැනි බොහෝ අවස්ථා අපට පෙන්වා දෙයි

හනා අරෙන්ට් සිය The Human Condition නැමැති කෘතිය තුළ මනුෂ්‍යයාගේ පොදු ලෝකය (public world) පිළිබඳ සිදුකරන කතාබහ මෙහිදී අපට යම් දාර්ශනික කවුළුවක් සපයයි. ඇයට අනුව, මිනිසුන් අතර සත්‍යය කථා කළ හැකි, වගකීම් සහිතව ක්‍රියා කළ හැකි, නිදහස්ව පෙනී සිටිය හැකි අවකාශයක් නොමැති විට, දේශපාලනය මෙන්ම සදාචාරයද කඩාවැටීමට ලක්වෙයි. එවිට  පිටතින් ‘ගෞරවනීය’ ලෙස පෙනුණත් ආයතන ඇතුළත පවතින්නේ (silent coercion) ‘නිහඬ බලහත්කාරය’ ක් බව පෙනෙයි.

විශ්වවිද්‍යාලය, පන්සල, අධිකරණය, පාර්ලිමේන්තුව, මාධ්‍ය, NGO, ”මානව හිමිකම්’ සංවිධාන — මේ සියල්ලම ‘මනුෂ්‍යත්වය’ නියෝජනය කරන ආයතන බව පෙන්වයි. නමුත් අරෙන්ට් කියන විදියට, එම ආයතන චින්තනයට ඉඩ නොදී යාන්ත්‍රික ( institutions without thinking become machines ) ආයතන බවට පත්වීම යනු, නීතිමය සදාචාරාත්මක ආකෘති තිබුණත්, ඇතුළත සදාචාරාත්මක හිස්කමක් සහිත නීතියක් නැති පද්ධති බවට පත්වීමකි. පංසල්වල ප්‍රතිමා, පූජාසන වැඩි වුණත් ඒවා තුළ අධ්‍යාත්මික සත්‍ය ගවේෂණය පිරිහෙමින් පවතී. අටමස්ථානයම එයට නිදර්ශන සපයන බව පෙනෙයි. එසේම විශ්ව විද්‍යාල තුළ ඥාන ගවේෂණය යාන්ත්‍රික වී ප්‍රබුද්ධත්වය වෙනුවට භෞතික අරමුණු, පූද්ගල බද්ධ විනිශ්චය ඉහළ ගිය බවක් පේරාදෙණිය නඩු තීන්දුව පෙන්වා දෙයි.

පේරාදෙණිය මහාචාර්යවරයාගේ සිද්ධිය මෙහිදී තනි ‘අශිෂ්ට පුද්ගලයෙකුගේ’ ගැටලුවක් පමණක් නොවේ. එය දැනුම සහ බලය අතර පවතින සබඳතාවය (knowledge-power relationship) තුළ පවතින අර්බුදයක් ද වෙයි. ගුරුවරයා යනු සම්ප්‍රදායිකව  ‘ප්‍රඥාව ලබාදෙන’ චරිතයකි. නමුත් නූතන විශ්වවිද්‍යාලය තුළ දැනුමද පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වෙද්දී, ශිෂ්‍යයාගේ

අනාගතය  සඳහා ලබාදෙන ‘ලකුණු, නිර්දේශ ලිපි, ශිෂ්‍යත්ව, අධීක්ෂණය’ ආදී  සියල්ල කේවල් කිරීමේ උපකරණ (bargaining tools)  බවට පත්වේ. එවිට ලිංගිකත්වය ද බලය සහ පරිපාලනය පිළිබඳ උපකරණයක් බවට පත්වෙයි (sexuality itself becomes administrative power).

මහාචාර්යවරයා ‘මානවවාදය’, ‘ස්ත්‍රීවාදය’, ‘ප්‍රගතිශීලීත්වය’, ‘සමාජ සාධාරණත්වය’ ගැන දේශන පවත්වන අතරම, පුද්ගලිකව ශිෂ්‍යාවකගෙන් sexual අල්ලසක් ඉල්ලන්නේ නම්, එය දෙබිඩිතාවක් hypocrisy පමණක් නොවේ; එය නූතන මනුෂ්‍යත්වය බිඳ වැටීම (modern humanism collapse) පිළිබඳ සිද්ධියකි. ‘මනුෂ්‍යත්වය’ පවා සංදර්ශනක් (performance) බවට පත් වී ඇත. ශ්‍රාස්ත්‍රීය ප්‍රොෆයිල්, දේශන ශාලා, සමාජ මාධ්‍ය පලකිරීම්, හෝ සමාජය ඉදිරියේ පෙනෙන ජනහිතකාමී ප්‍රතිරූපයට යටින්, බලාධිකාරය, ජාගර ආශා සංතර්පණයට ස්ත්‍රී සිරුරු දඩයම, දැඩි නෂ්ට කාමය (narcissism) සහ සූරාකෑම  (exploitation) ක්‍රියාත්මක විය හැකිය.

අරෙන්ට්ගේ දුෂ්ටත්වය සාමාන්‍යකරණය “banality of evil” පිළිබඳ අදහස මෙහිදී අතිශයින් වැදගත් වේ. අයහපත සෑමවිටම කෝපයෙන්, වෛරයෙන් හෝ මෘගත්වයෙන් පමණක් පවතින්නේ නැත. සමහරවිට එය අතිශය සුභාවිත භාෂාව භාවිතා කිරීම සමග (refined language) එයි. අතිශය ශාස්ත්‍රීය, ප්‍රජාතන්ත්‍රවාදී වචන සමග එය සැරිසරයි. ප්‍රගතිශීලී ‘Progressive’ දේශපාලනය  ලෙස සමහරවිට පවතී. සංස්කෘතිය, කලාව, දේශපාලනය, පරිත්‍යාග ශීලීත්වය,සියලු දෙනා එකතු කිරීම, චිත්ත සමාධිය ආදි සියලු කථනයන්

සියල්ල යටින් සූරාකෑම (exploitation) පැවතිය හැකිය. එම නිසා දුෂ්ටයන් සහ දුෂ්ටත්වය ශිෂ්ට ලෙස පෙනීයයි (Evil wears civilized clothing).

අස්තිත්වවාදීව බලන විට මෙය නිර්ව්‍යාජත්වය (authenticity) පිළිබඳ අර්බුදය (crisis) කි. සාත්‍රේ ‘නරක විශ්වාස’ (bad faith) ලෙස හැඳින්වූයේ, මිනිසා තමන්ගේ නිදහස හා වගකීමෙන් පලා යමින්, කිසියම් භූමිකාවක් තුළ සැඟවීමයි (විපක්ෂ නායක, කථිකාචාර්ය, නීතීඥ, හාමුදුරුවෝ වැනි භූමිකා දෙස බලන්න). භික්ෂුව හැම විටම  ‘ශාසනය’ තුළ සැඟවෙයි. මහාචාර්යවරයා තමන් ‘විද්වත් ප්‍රගතිශීලී පුද්ගලයෙක්’ ලෙස පෙන්වා දෙයි. එම භාෂාව තුළ සැගවෙයි. දේශපාලනඥයා ඔහු ‘ජනතාවගේ සේවකයා’ නැමැති වෙස් මූණ පැළද සිටී. NGO ක්‍රියාධරයා ‘පීඩිත ජනයාගේ හඩ’ (oppressed voices) වෙනුවෙන් කතා කර ඒ  තුළ සැඟවෙයි. නමුත් මේ සියල්ලම හුදු රගපෑම් නැතිනම් භූමිකා (roles) පමණක් නම් සිදු වන්නේ කුමක්ද? ඇතුළත ඇත්තේ බලය සඳහා හුදු නිර්වස්ත්‍රීය කාමයක්/අභිලාසයක්  (naked will to power) පමණක් නම් එහි පවතින සත්‍ය කුමක්ද?

නීට්ෂේ නම් දාර්ශනිකයා මෙය බොහෝ කලකට පෙර දුටුවේය. ඔහුට අනුව, සදාචාරය යනුම බලය සදහා පවතින වෙස් මුහුණකි (morality itself can become a mask for power). යහපත්කම පවා අනෙකා යට කරගැනීමට ගන්නා උපායක් (domination strategy) විය හැකිය. අද අප දකින ව්‍යාජ මානුෂවාදය (pseudo-humanism) බොහෝවිට එවැනි එකකි. සමාජ මාධ්‍යවල අනුකම්පාව ලබන පළකිරීම් කරමින් (empathy posts), ස්ත්‍රීවාදී ලෙස පෙනී සිටින, ළමා අපචාර වලට එරෙහිව පෙනී සිටින, සමානාත්මතාව දේශනාකරන  පුද්ගලයන්ම පුද්ගලිකව එවැනි අපචාරමය ව්‍යූහ වල (abusive structures) කොටස්කරුවන් විය හැකිය.

‘ව්‍යාජ මනුෂ්‍යත්වය’ යනු මෛත්‍රීය සහ යහපත් කම පිළිබඳ රංගනයකි (පසුගිය ජනාධිපතිවරු ප්‍රසිද්ධියට දරුවන් වඩාගැනීම) (compassion performance) එකකි. එය අනෙකාගේ වේදනාව, දුක, සංතාපය, දරිද්‍රතාවය ඇත්තටම අත්විඳීමක් නොව, සදාචාරාත්මක ප්‍රතිබිම්බය පුම්බා ගැනීමකි (moral branding). තමන් ‘හොඳ මිනිසෙක්’ ලෙස පෙනී සිටීම සඳහා කරන සංඛේතීය උපායකි (symbolic gestures). ඒ නිසාම අද සමාජයේ ආචාරධර්ම භාෂාව (ethical language) භාවිතාව වැඩි වන තරමට, සමහරවිට ආචාරධාර්මික හිස් බව (ethical emptiness) වැඩි වෙයි.

පන්සලේ පිංකම්, විශ්වවිද්‍යාල දේශන, පාර්ලිමේන්තු විවාද, රූපවාහිනී සංවාද ආදී සියල්ලම නාටකීය සදාචාරමය අවකාශ ( theatrical morality spaces) බවට පත්විය හැකිය. අරෙන්ට්ට අනුව, මහජන කක්ෂය (public sphere) යනුම සංදර්ශනකි (spectacle). එවිට සත්‍ය අතුරුදහන් වී රංගනය ඉතිරි වෙයි (truth disappears behind performance). අද “රත්තරං” ලා සහ බලයේ හිටපු දූෂීත  සහ රට බංකොළොත් කල අයම අපට නැවත “සත්‍ය දින වීමට” කතාකිරීම ඒ සදහා හොද උදාහරණයක් වෙයි.

මෙම අර්බුදයේ භයානකම දේ වන්නේ, සමාජය තවදුරටත් ‘සත්‍යය’ මත නොව, ප්‍රතිරූප කළමණාකරණය (image management) මත ක්‍රියා කිරීමයි. පන්සල scandal එකක් manage කරයි. විශ්වවිද්‍යාලය කීර්තිය (reputation) ආරක්ෂා කරයි. දේශපාලන පක්ෂ damage control කරයි. NGO ආයතන දානපතියන්ගේ විශ්වාසය රකියි (donor confidence). සත්‍යය යනු මේ හැම තැනකම ද්විතීක දෙයක් ( secondary ) වෙයි; ආයතනයේ පැවැත්ම මුලික (institution survival) වේ. මෙය අරෙන්ට් කියූ නූතන මහජන සමාජයේ (modern mass society)  ලක්ෂණයකි, එනම් මනුෂ්‍යන් සහ මනුෂ්‍යත්වය බිල්ලට දී පද්ධතිය පවතී (where systems preserve themselves even by sacrificing human beings).

එබැවින් පල්ලේගම හිමි, සේම ලිංගික අල්ලස් චෝදනා ලබන මහාචාර්යවරයාත්, දූෂිත දේශපාලනඥයාත්, රංගනයකට  පමණක් සීමාවූ සියලු සුචරිතවත් චරිතත් ආදී මේ සියලූ දෙනා වෙනස් පුද්ගලයන් නොව, ශිෂ්ටාචාරමය අර්බූදයක (civilization crisis) එකම ප්‍රතිරූපයන්ය. බුද්ධ චීවරය (Sacred robe), ශාස්ත්‍රීය ලෝගුව (academic gown), ජාතික කොඩිය, මානව හිමිකම් කතිකාව — මේ සියල්ල මනුෂ්‍ය නිදහස හා සදාචාරාත්මක වගකීම සහ ශාස්ත්‍රීය සාරය අහිමි වූ විට, හිස් සංකේත (empty symbols ) බවට පත්වේ.

අවසානයේ ප්‍රශ්නය වන්නේ “කවුද වැරදි?” යන්න පමණක් නොවේ. ප්‍රශ්නය වන්නේ, “අපේ සමාජය තුළ පෙනීසිටීම (appearance) සත්‍යයට වඩා වැදගත් වූයේ කෙසේද?” යන්නයි. අරෙන්ට්ගේ ගැඹුරු අවවාදය වන්නේ, සමාජයක් කඩා වැටෙන්නේ අයහපත් මිනිසුන් නිසා පමණක් නොව, සත්‍යය වෙනුවට වෙස් මුහුණු වලට (masks) ආදරය කරන මිනිසුන් නිසා බවයි.

| ආචාර්ය අතුලසිරි සමරකෝන්

(මුහුණ පොතින්)

Leave A Comment