ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ශත වර්ෂයක උරුමය ඉදිරියට ගෙන යමින් අනාගත පරපුරේ සෞඛ්‍යය සුරක්ෂිත කරනවා – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් සංවිධානය කරන ලද “Public Health Summit 2026” සහ 31 වන වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරය 2026 (31st Annual Academic Sessions 2026) පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
“Shaping Well-being through the Life Course Approach” (ජීවන චක්‍රය පුරා යහපැවැත්ම ගොඩනැඟීම) යන තේමාව යටතේ ජූලි 22 සිට 24 දක්වා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව, ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් ගමන් මඟ ඇගයීමට ලක් කිරීමත්, ඉදිරි සියවස සඳහා මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ නව දැක්මක් නිර්මාණය කිරීමත් අරමුණු කර ගනිමින් සංවිධානය කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ශත වර්ෂයක උරුමය මත පදනම්ව, අනාගත පරපුර සඳහා වඩාත් ශක්තිමත්, ගුණාත්මක හා ජනතා කේන්ද්‍රීය මහජන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීම සඳහා රජය කැපවී සිටින බව පැවසීය.
මෙම සමුළුව සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික හා මූල්‍යමය වශයෙන් දායක වූ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය ඇතුළු සියලු පාර්ශ්ව වෙත සිය කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය පද්ධතිය වසර සියයකට අධික කාලයක් පුරා රෝග වැළැක්වීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග පාලනය, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා සහ ප්‍රජා මූලික සත්කාර සේවා ඔස්සේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇති බව සඳහන් කළේය.
වර්තමානයේ සෞඛ්‍ය අභියෝගයන් වෙනස් වෙමින් පවතින බවත්, එම අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අඛණ්ඩ නවෝත්පාදන, ශක්තිමත් සහයෝගීතාව සහ දීර්ඝකාලීන දැක්මක් අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.
සෞඛ්‍යය යනු හුදෙක් රෝග නොමැති තත්ත්වයක් පමණක් නොවන බවත්, එය අධ්‍යාපනය, ආර්ථික ඵලදායීතාව, සමාජ ස්ථාවරත්වය සහ ජාතික සංවර්ධනය ගොඩනැගීමේ මූලික පදනමක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

