ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ පිළිබඳ වෘත්තීය විද්‍යාලවල නියෝජිතයින් දැනුවත් කෙරේ
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය විද්‍යාල (Professional Colleges) නියෝජනය කරන විද්වතුන් සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ උපදේශන හමුවක් (Advocacy Meeting with Representatives of Professional Colleges on Primary Health Care Reform in Sri Lanka) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ (Waters Edge Hotel) දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පරිවර්තනය උදෙසා වෘත්තීය මට්ටමින් ජාතික හවුල්කාරිත්වයක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙහිදී මෙරට වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය විද්‍යාල සහ ආයතනවල ප්‍රධානීන් අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ප්‍රාථමික සෞඛ්‍යසේවා පද්ධතියේ ඓතිහාසික සහ දැවැන්ත පරිවර්තනයක් සඳහා එක්වන ලෙස විවෘත ආරාධනයක් සිදු කළේය. ශ්‍රී ලංකාව සතු සුවිශේෂී සෞඛ්‍ය උරුමය ඉදිරියට ගෙන යමින්, වර්තමාන සහ අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි සුවිශේෂී “ශ්‍රී ලාංකීය ප්‍රාථමික සෞඛ්‍ය ආකෘතියක්” (Primary Health Care Model) රජය හඳුන්වා දී ඇති බව අවධාරණය කළේය.
1926 වසරේදී සංවිධානාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වූ බව සිහිපත් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා, වසර සියයකට ආසන්න කාලයක් පුරා සීමිත සම්පත් මධ්‍යයේ වුවද රටක් ලෙස අප අත්පත් කරගත් සෞඛ්‍ය ජයග්‍රහණ අගය කළේය. කෙසේ වුවද, වේගයෙන් වයස්ගත වන ජනගහනය, බෝ නොවන රෝග (NCDs) බහුල වීම, මානසික සෞඛ්‍ය, වයස්ගත ජනගහන (Palliative Care) සත්කාර සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන සෞඛ්‍ය තර්ජන හමුවේ වත්මන් සෞඛ්‍ය පද්ධතියේ කඩිනම් සහ පරිවර්තනීය වෙනසක් සිදුවිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

