පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සේවා නැවතත් බරපතල බිඳවැටීමක්
මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සිදුකරන ලියනියර් ඇක්සලරේට යන්ත්‍රය අගෝස්තු 03 වැනිදා සිට බිඳවැටීම සිදුවී ඇති අතර මේ හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 60 ට ආසන්න ප්‍රමාණයක විකිරණ ප්‍රතිකාර සිදුකිරීම නවතා දමා ඇත.
මඩකලපුව ශික්ෂණ රෝහල වෙත මෙසේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් කොළඹ, ගාල්ල, මහනුවර, බදුල්ල ,මාතර, මොනරාගල ආදී ප්‍රදේශවලින් යොමුුවී ඇති අතර එම රෝගීන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව ඇත. පිළිකා රෝගියෙකුගේ විකිරණ ප්‍රතිකාරය දින 5 සිට 35 දක්වා සිදුකළ යුතු අතර අතරමගදී ප්‍රතිකාරය බිඳවැටීම බරපතල තත්ත්වයක් වේ. පුද්ගලික රෝහල්වලින් මෙම ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5 ත් 20ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙයි.
මීට අමතරව පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවේ මරමස්ථානය වන මහරගම අපේක්ෂා රෝහලේ තිබෙන ලීණියර් ඇක්සලරේට යන්ත්‍රර 4 න් 1 ක් ජුලි 30 වැනිදා සිට ප්‍රතිකාර කටයුතු වූ නවතාදමා ඇත. එම ප්‍රතිකාර නවතා දැමූ යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 75 ට වැඩි ප්‍රමාණයකගේ ප්‍රතිකාර සිදුකළ අතර මේ වන විට එම රෝගීන්ගේ ප්‍රතිකාරය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මෙලෙස ප්‍රතිකාර නවතා දැමීමට හේතු වී ඇත්තේ එම යන්ත්‍රය පිහිටි ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතියේ බිඳවැටීමයි. මේ හේතුවෙන් එම ගොඩනැගිල්ලේම පිහිටා තිබෙන ගැබ්ගෙල පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර සිදුකරනු ලබන බ්‍රැකීතෙරපි – Brachytherapy යන්ත්‍ර ද තර්ජනයට ලක් වී ඇත. මේ හේතුවෙන් සෙනසුරාදා දිනයේ සිට බ්‍රැකිතෙරපි යන්ත්‍රයේ ද ප්‍රතිකාර කටයුතු වූ නවතා දැමීමට සිදුවීඇත.
මේ අනුව අපේක්‍ෂා රෝහලේ දැනට ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන්නේ ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 3 ක් පමණක් වන අතර එම යන්ත්‍ර තුන සඳහාද අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා අවශ්‍ය වන ජෙනරේටරයක් ලබා නොදීම මගින් හදිසි විදුලිය බිඳවැටීමකදී අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇත.
මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවස්ථා ගණනාවකදීම හෙළිදරව් කිරීම් සිදුකළත් මේ වනතුරුත් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට හෝ අවස්ථාවක් ලබා දී නොමැති බව පෙන්වා දෙයි.. සෞඛ්‍ය ඇමතිවරයාගේ කඩිනම් අවධානය සහ මැදිහත්වීම මේ සම්බන්ධයෙන් ලබා දෙන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටි.
සභාපති
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

