වාග් චිකිත්සක වෘත්තිකයින් 52ක් බඳවා ගනියි

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ අනුව වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සහ විකිරණ ශිල්පී අනුස්ථාපන සමායෝජන පුහුණුවට 64 දෙනෙකු බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ඊට අදාළ පත්වීම් ප්‍රදානය හා දැනුවත් කිරීමේ වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් (හෙට) අගෝස්තු මස 13 වන දින පෙරවරු 11.00 ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

රෝහල් පද්ධතිය තුළ පවතින කාර්ය මණ්ඩල හිඟය අවම කරමින් රෝගී සත්කාරක සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමත්, විධිමත් පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමත් මෙම නව බඳවා ගැනීම්වල මූලික අරමුණ වේ.

දීර්ඝ කාලයකට පසු මෙරට  සෞඛ්‍ය සේවාවේ මානව සම්පත සංවර්ධන කටයුතු මේ අනුව සිදුවන අතර, පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ සෞඛ්‍ය වෘත්තීය කාණ්ඩ රැසක නව බඳවා ගැනීම් සහ පුහුණුවට බඳවා ගැනීම් සිදු කෙරුණි.

Leave A Comment