මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීමට කැබිනට් අනුමැතිය
ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ වාර්තා වන මාර්ග අනතුරු හේතුවෙන් අහිමි වන ජීවිත සංඛ්‍යාව හා දේපල හානි ඉහළ යමින් පවතින අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන ග්‍රාමීය හා ප්‍රාදේශීය මාර්ගවල සිදුවන අනතුරු බව නිරීක්ෂණය කරනු ලැබ ඇත.
එහෙත්, එම අනතුරුදායක තත්ත්වයන් ඉවත් කරමින් මාර්ග ආරක්ෂාව සුරක්ෂිත කිරීම පිණිස ප්රාදේශීයව පවතින ආයතන ව්‍යුහයන් තුළ ප්‍රමාණවත් මුල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තත්ත්වය දිගින් දිගටම පවතින බව හඳුනා ගනු ලැබ තිබේ.
එබැවින්, ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ග පද්ධතිය තුළ පවතින අනාරක්ෂිත සහ අවදානම් සහිත ස්ථාන සුරක්ෂිත බවට පත් කිරීම පිණිස මාර්ග සංඥා ස්ථාපිත කිරීම, ආරක්ෂක වැටවල් ඉදිකිරීම, මාර්ග සළකුණු යෙදීම, වේගය සීමා කරන බාධක යෙදීම ආදී පියවර ගැනීම සඳහා අදාළ යෝජනා දිස්ත්‍රික් මට්ටමින් හඳුනා ගෙන, පළාත් සභාවල ද අදහස් හා යෝජනා ලබා ගනිමින්, 2026 වර්ෂයට අදාළව ජාතික අයවැය මඟින් මාර්ග ආරක්ෂාව සහ රථවාහන කළමනාකරණය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන එකී මාර්ග සංවර්ධන කටයුතු සඳහා යෙදවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය මිහිව තිබේ.

