ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයක්
- Editor
- May 11, 2026
- ආයෝජන, ව්‍යාපාරික පුවත්
- edbsrilanka
- 0 Comments
ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලම් මහතාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයට සමගාමීව, ශ්‍රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය 2026 මැයි 8 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. වියට්නාම වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (VCCI) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙම සංසදය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වීමෙන් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත්කම සහ ආර්ථික සහයෝගීතාව මැනවින් පිළිඹිබු කෙරිණ.
මෙම සංසදයේදී දෙරට අතර සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් වූ අතර, එහිදී වියට්නාම් එයාර්ලයින්ස් (Vietnam Airlines) සහ වියට්ජෙට් එයාර් (VietJet Air) මගින් ක්‍රියාත්මක වන කොළඹ – හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙම ගුවන් ගමන් සේවාව ක්‍රියාත්මක වීම හරහා දෙරට අතර පවතින ආර්ථික සම්බන්ධතාවය සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සන්නිවේදනය වැඩිදියුණු කිරීමටත් ඉවහල් වනු ඇත.
මෙම සංසදයේදී ද්විපාර්ශ්වික සහයෝගීතාවයට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි නව අවබෝධතා ගිවිසුම් (MoUs) හයකට අත්සන් තබන ලද අතර, එය දෙරට අතර ආර්ථික සබඳතාවල තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙම සංසදයේදී ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) යටතේ ශ්‍රී ලංකා – වියට්නාම ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීම තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වූ අතර, එමගින් දෙරටේ ව්‍යාපාරිකයන් අතර සෘජු ව්‍යාපාරික සබඳතා (B2B) වර්ධනය කිරීමටත්, තිරසාර වාණිජමය මැදිහත්වීමක් ඇති කරමින් වෙළඳාම සහ ආයෝජන සඳහා පවතින නව අවස්ථා විවෘත කිරීමටත් අපේක්ෂා කෙරේ.

මීට අමතරව, නිෂ්පාදන, කෘෂිකර්මාන්තය, තාක්ෂණය සහ සේවා වැනි අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවීම් හරහා ශ්‍රී ලාංකික සහ වියට්නාම ව්‍යවසායකයින්ට සෘජුව අදහස් හුවමාරු කර ගැනීමටත්, නව සැපයුම් දාමයන් ඇති කර ගැනීමටත් අවස්ථාව සැලසුණි.

